වාරි පොක්ඛරපත්තෙ’ව ආරග්ගෙරිව සාසපො
යො න ලිප්පති කාමෙසු තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් තෙම පියුම්පතෙහි (නොරැඳෙන) දිය බිඳු මෙන් ද හිදි අග (පිහිටා නොසිටින) අබ ඇට මෙන් ද කාමයන්හි නො ඇලේ ද, ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණයෙකි යී මම් කියමි.
"වාරිපොක්ඛර පත්තොවා " යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උප්පල වණ්ණා තෙරණියන් නිමිති කරගෙන දේශනා කළහ.
කථා වස්තුව මධුවා මඤ්ඤතී බාලෝ යන ගාථා වර්ණනාවේ විස්තර කෙරෙයි. ඉන් පසු කාලයේදී මහජනයා ධර්මසභාවේ දී කථාවක් ඇතිකළහ. රහතුන් වහන්සේලා ද කාම සේවනයේ යෙදෙති. ඇයි නොයෙදෙන්නෙ ඔවුහු ගස් නොවේ තුඹස් නො වේ මස් ලේ සහිත ශරීර ඇත්තෝයි. එනිසා ඔවුන්ද කාම සැපය විදගනිති. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි රහතන් වහන්සේලා කාමසුව නො විඳිති. කාම සේවනය නො කරති. යම් සේ නෙළුම් කොළයේ වැටුන ජලබිඳුව සේ නො ඇලේ. නොපිහිටයි. වැටී පෙරලී යයි. මේ ලෙසට රහතන් වහන්සේගේ සිතේ විවිධ වූ කාමයෙහි නොඇලේ. නොපිහිටයි. එකිනෙකට සම්බන්ධ කර ධර්මදේශනා කරන්නේ මෙම ගාථාව පැවසුහ.
නො ඇලෙන පරිදි අබ ඇට ඉදි කටු මුණෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
නෙළුම් කොළයේ ජලය ඉදිකටු මූණෙහි අබ ඇටයක් නොරඳන මෙන් යමෙක් කාමයන්හි නො ඇලේද ඔහු බ්‍රාහ්මණ යයි කියමි.
එහි යො න මපති මේ ලෙසට යමෙක් අභ්‍යන්තරයේ ද්විධවූ කාමයෙහි නොඇලේද යම් තැනක කාමය නොපිහිටාද ඒ විරාගී තැනැත්තා ....... බ්‍රාහ්මණ යනුවෙන් හදුන්වමි.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.