26-10 ජටිල බ්‍රාහ්මණයාගේ කථා පුවත

න ජටාහි න ගොත්තෙන න ජච්චා හොති බ්‍රාහ්මණො

යම්හි සච්චඤ්ච ධම්මො ච සො සුචී සො’ව බ්‍රාහ්මණො.

බඳනා ලද ජටාවන් කරණ කොට ගෙණ බ්‍රාහ්මණ නම් නො වෙයි. ගෝත්‍ර කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. ජාතිය කරණ කොට ගෙණ ද බ්‍රාහ්මණ නම් නො වෙයි. යමකු කෙරෙහි සත්‍යඥානය ද, නවලොවුතුරු දහම් ද ඇත්තේ නම්, පිරිසිදු තැනැත්තේ හේ ම ය, බ්‍රාහ්මණ නමැත්තේත් හේ ම ය.

"නජටා භීති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක් ජටිල බ්‍රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

මේ ජටිල බ්‍රාහ්මණයා මව් පාර්ශ්වයෙන් ද පිය පාර්ශ්වයෙන් ද සුජාත වූ බ්‍රාහ්මණ කුලයක උපන් කෙනෙකි. ඉදින් භවත් ගෞතමයන් තම ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ යනුවෙන් අමතයි. මම ද එලෙස ඇමතීමට සුදුසුයයි සිතා බුදුන් වෙත ගොස් මේ කරුණ පිළිබඳව විමසුවේය. අනතුරුව තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය මම ජටා දැරූ පමණින් හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙක් වේයි නොකියමි. අවබෝධ කරගත් සත්‍ය ධර්මය ඇති නිසා බ්‍රාහ්මණ යයි කියමි.

හිස බැඳි ජටා වෙන්

දෑ කුල ගොත් නිසාවෙන්

බමුණෙක් නොවන්නේ

ඇත්ත හා බුදු දහම නැත්නම්

ජටාවෙන් ගෝත්‍රයෙන් ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. යමෙක් කෙරෙහි සත්‍යය ද ධර්මය ද අවබෝධ කරගෙන තිබේනම් ඔහු පිරිසිදුය ඔහු බ්‍රාහ්මණයෙකි.

එහි සචචං - යම් පුද්ගලයකු කෙරෙහි චතුරාර්ය සත්‍යය සොළොස් ආකාරයකින් අවබෝධ කරගෙන ඇත්තේද සත්‍ය ඤාණය මෙන්ම නව විධ ලෝකෝත්තර ධර්මය ද අවබෝධ කරගෙන තිබේ නම් ඔහු පිරිසිදුය. ඔහු බ්‍රාහ්මණයෙකි.

දේශනය අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.