දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්‍දිමා
සන්නද්ධො ඛත්තියො තපති ඣායී තපති බ්‍රාහ්මණො
අථ සබ්බමහොරත්තිං බුද්ධො තපති තෙජසා.
හිරු දහවල්හි දිලිසෙයි. සඳු රැයෙහි දිලිසෙයි. රජ තෙම අබරණින් සැරැහී සිවුරඟ සෙනඟින් පිරිවැරුනේ ම දිලිසෙයි. (හොබනේයි). බමුණු තෙම (හෙවත් රහත් තෙම) සමවතට සමවන්නේ දිලිසෙයි (හොබනේයි). නැවැත සියලු දිවා රෑ දෙක්හි සම්‍යක්සම්බුද්ධ තෙම (චරණ ගුණ ඥාන පුණ්‍ය ධර්‍ම යැ යි පස්වැදෑරුම් වූ) තේජසින් දිලිසෙයි.
"දිවා තපති" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ මාතු ප්‍රාසාදයේ වැඩ සිටියදී ආනන්ද තෙරුන්ට දේශනා කළහ.
පසේ නදී කොසොල් රජු වස් පවාරණය කරන දිනයේදි සියළු අබරණවලින් සැරසී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියේය. එකෙනෙහි කාළුදායි තෙරුන් ධ්‍යානයට සම වැදී පිරිස කෙළවර වැඩ සිටියේ වෙයි. උන්වහන්සේගේ සිරුර මනවඩන රන්වන් සිරුරක් විය. එකෙණෙහි සඳ උඩට නැගේ. සුර්යයා අවරට යයි. ආනන්ද තෙරණුවෝ - සඳ එළියත් හිරු රැසත් බලා රජුගේ ද- කාළුදායි තෙරුන්ගේ හා තථාගතයන් වහන්සේගේ ද ශරිර ශෝභාව බලා විහිදි සියළු ශෝභාවන් පරදවා බුද්ධ ශරිරය ශෝභාවත් බව දැක තෙරුන් බුදුන් වැද ස්වාමීනි මම අද ආලෝකය බලද්දි ඒ සියළු ආලෝකයන්ට වඩා ඔබ වහන්සේගේ ශෝභාව රුචි වේ. ඔබ වහන්සේගේ ශරිර ශෝභාව සියළු ශෝභාවත් පරදවා බබළයි. යනුවෙන් පැවසුහ. අනතුරුව තථාගතයන් වහන්සේ ආනන්ද හිරු දිවාකල බබළයි. සඳ රාත්‍රියේ බබළයි. රජු ආභරණවලින් හා සන්නද්ධ වූයේම බබළයි. රහතන් වහන්සේ ජන සමුහයෙන් වෙන් වී ඇතුළත සමාපත්තිය තුළින්ම ධ්‍යානයෙන්ම බබළයි බුදුවරු නම් දිවා රෑ දෙකේම පස් තේජසින් බබළයි. යනුවෙන් පවසා මෙම ගාථාව වදාළහ.
දහවල් දවස හිරු බබළයි එළිය දෙමින්
මුළු රෑ දිලෙයි පුන්සඳ ලොව සිසිල ලමින්
බබළයි මහරජු ද මිණි මුතු කිරුළු ලමින්
බුදුරජු සිටි නිතරම ලොව බබුළු වමින්
එහි දිවාතපතී දවල් කාලයේ බබළයි. රාත්‍රියෙහි ගිය මගඳ නොපෙනේ. චන්දිමා චන්ද්‍රයා ද අහසින් මිදුනේ රත්ති රාත්‍රියේම බබළයි. දවල් නොබබළයි. සන්නාද්ධො රන් රුවන් සියළු ආභරණවලින් සැරසී සිව්රග සෙනග පිරිවරා සිටියදීම රජු බබළයි. අනෙක් වෙසකින් සිටියොත් නො බබළයි. ඣායීති යනු රහතන් වහන්සේ ගණයාගෙන් වෙන් වී ධ්‍යානයෙන්ම බබළයි. තෙජසා - සම්මා සම්බුදුන් දුසිල් බව අත්හැර සිල් තෙදින්, නිර්ගූණ නැතිකොට ගුණ තෙදින්. මෝඩබව නැතිව ප්‍රඥා තේජසින්. යන පස් වැදෑරුම් "ප්‍රත්‍ය තේජසින්, අධර්මය දුරැර "ධර්ම තේජසින්. යන පස් වැදෑරුම් තේජසින් සදා කල්හිම බබළයි. යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලෙහි පිහිටියා ය.