ඣායිං විරජමාසීනං කතකිච්චං අනාසවං
උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
ධ්‍යාන කරණ (ශමථ විදර්‍ශනා වඩන), රාගාදි රජස් නැති, හුදෙකලා වැ හුන්, සිවු මඟින් කළ සොළොස් වැදෑරුම් කිස ඇති, අනාස්‍රව වූ, උත්තමාර්‍ත්‍ථයට (රහත් පලයට) පැමිණි ඒ රහත්හු බ්‍රාහ්මණයකු කොට මම් කියමි.
"ඣායි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මෙම බ්‍රාහ්මණයා මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ නමින් පවසයි. මම ද ජාති ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙකි. එනිසා මටද එසේ ඇමතීම සුදුසුය. ඔහු බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුවේය. මම ජාති ගෝත්‍ර මාත්‍රයෙන් බ්‍රාහ්මණ යයි නො කියමි. උතුම් වූ අර්හත්වයට පත්වූ නිසාම මම මෙලෙස කියමියි පැවසු ශාස්තෲන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
ඇලී දැහැනෙහි කෙලෙස් නැතිකොට
කරන කටයුතු දුකින් මිදුම ට
පැමිණි අයහට රහත් පලයට
බමුණු යයි මම කියමි තිරකොට
ධ්‍යාන වඩන, රාගාදි රජස් නැති, වනයේ එකලාව වාසකරන කතකිච්චං මගින් කරන ලද කටයුතු ඇති, ආශ්‍රම නැත්තාවු උතුම් අර්හත්වයට පත්වු තැනැත්තා බ්‍රාහ්මණ නම් එහි ඣායි කසිණ වැඩීමෙන් ද ත්‍රිලක්ෂණ භාවනා වැඩීමෙන් ද ධ්‍යානයන්ට පැමිණි, කාම රජස්වලින් වෙන්ව විරජං මාසීනං වනයෙහි හුදෙකලාව විසීම, කතකිච්චං සිවිමගින් සොළොස් කෘත්‍යයන් පුරා ඇතිබව. අනාසවනං ආසවයගෙන් දුරුවීම, උත්තමත්ථං අර්හත්භාවයට අනුපත්තං අහං බ්‍රාහමණං පැමිණි තැනැත්තාම බ්‍රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටි පිරිසට ද දේශනාව සාර්ථක වුයේය.