25-12 සුමණ සාමණේර කථා පුවත

යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ

සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.

ළදරු වූ යම් මහණෙක් බුද්ධානුශාසනයෙහි (හෙවත් කමටහන්හි) යෙදේ ද, හෙ තෙම වලාපටලින් මිදුනු පුන්සඳුහු මෙන් මෙ ලොව ඒකාන්තයෙන් නුවණ එළියෙන් බබුළුවන්නේ ය.

"යො හවෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටියදී සුමණ සාමණේරයන් නිමිති කරගෙන මෙම දේශනාව කළහ. මේ එහි අනුපිළියෙල කථාවයි.

පුදුමුත්තර බුද්ධ කාලයේදී එක් කුල පුත්‍රයෙක් ශාස්තෲන් වහන්සේ සිව්පිරිස මැද එක් භික්ෂුවක් දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයේ තබනු දැක එම සම්පත්තිය තනතුර ප්‍රාර්ථනා කරමින් ආරාධනා කර දින හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී ස්වාමීනි මම ද මතු එක් බුද්ධ ශාසනයක දිවැස් ඇත්තවුන් අතර අග්‍රවෙමියි ප්‍රාර්ථනා තැබීය. බුදුහු කල්ප ලක්‍ෂයක් බලා ඔහුගේ ප්‍රාර්ථනය සමෘද්ධියට පත්වන අයුරු දැක මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම බුද්ධ ශාසනයෙහි දිවැස් ඇත්තවුන් අතර අග්‍ර වූ අනුරුද්ධ නම් තෙරනම වන්නේ යයි විවරණ දුන්හ. ඔහු එම විවරණය අසා හෙට සිදුවන දෙයක් ලෙස එම සම්පත පතන්නේ බුදුන් පිරිනිවන් පෑ පසු දිබ්බචක්ඛු පරිකර්මය විමසා යොදුන් හතක් රන් ථූපය වටකොට නොයෙක් පහන් ගස් දහසක් කරවා පහන් පුජාකොට ඉන් චුතවූයේ දෙලොව ඉපදී දෙව් මිනිසුන් අතර කල්ප ලක්‍ෂයක් සැරිසරා මේ කල්පයෙහි බරණැස දිළිඳු කුලයක ඉපිද සුමන සිටුවරයා නිසා ඔහුගේ තණ කොළ ගෙනෙනා ලෙසට ජීවිතය ගත කළේය. හේ අන්නහාර තිස්ස නමින් හැදින්වීය. සුමණ සිටුවරයා ද නිතර එම නගරයේ මහදන් දෙයි. මේ අතර දිනක් උපරිමය නම් පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයේ නිරෝධ සමාපත්තියෙන් නැගිට - කාට නම් අනුග්‍රහ කරන්නේ දැයි සිතා අද මවිසින් අන්නභාර ට (ආහාර ගෙනෙන්නාට) අනුග්‍රහ කිරීම වටී යයි දැන් ඔහු කැලයෙන් තණ අරගෙන ගෙට යන්නේ යයි දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් වැඩම කොට අන්නභාරගේ (ආහාර ගෙනෙන්නාගේ) ඉදිරියේ පෙනී සිටියහ. අන්නහාරා ඒ හිස් පාත්‍රය අතේ තිබෙනු දැක ස්වාමීනි ආහාර ලැබුවේදැයි විමසා ලබන්නේය මහපිණැතිය, පැවසූවිට එසේනම් ස්වාමීනි ටික වේලාවක් වැඩ සිටින්න තණ කොළ ද විසිකර වේගයෙන් ගෙට ගොස් සොඳුරිය මට තබන ලද ආහාර භාගය තිබේදැයි විමසා ස්වාමීනි ඇතැයි පැවසූවිට වේගයෙන් ආපසු ගොස් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙන මට දෙන්න කැමැත්ත ඇතිවිට දියයුතු දෙයක් නො ලබමි. දියයුතු දේත් ඇති විට ප්‍රතිග්‍රාහකයෙක් නො ලබමි. අද ප්‍රතිග්‍රාහකයෙක් දකින ලදී. දන් දීමටද දෙයක් ඇත. මට ලාභයකි. ගෙට ගොස් බත් පාත්‍රයට දමා ගෙන අවුත් පස්සේ බුදුරදුන්ගේ අත් තබා මේ දානයේ අනුහසින් මට දිළිදු බව නොවේවා නැත යන වචනය අසන්නට භවයක් පාසා ඇති නොවේවා ස්වාමීනි මෙබඳු දුක් ජීවිතයෙන් මිදෙන්නේය නැත යන වචනයද අසන්නට නොලැවේවායි ප්‍රාර්ථනා තැබීය. පසේ බුදුන් වහන්සේ එසේම වේවායි මහා පිනැතැයි පවසා අනුමෝදනා කර වැඩම කළහ. සුමන සිටුවරයාගේ ඡත්‍රයට අධිපති දෙවියාද උපරිට්ඨ පසේ බුදුන්ට අන්නභාර දුන් දානය ඉතා අගී යයි කියා තෙවරක් සාධුකාර දුන්නේය. ඉක්බිති සිටුවරයා ද. කිම මා මෙතෙක් කල් දන් දුන්නත් එය ඔබ නො දැක්කෙක්ද? මම ඔබගේ දානය සඳහා සාධුකාර නොදුන්නෙමි. අන්නභාර වනාහි උපරිමය පසේබුදුන්ට දුන් පිණ්ඩපාතය පිළිබඳව පැහැදී ම විසින් සාධුකාර පැවැත්වුවෙමි. ඔහු ආශ්චර්යකි මෙපමණ කලක් දන් දෙන්නේ දෙවියන්ගේ සාධුකාර ලබන්නට නොලැබුණි. අන්නභාර - වනාහි ජීවත්වන්නේ එකම පිණ්ඩපාත දානයෙන් සාධුකාර ලැබීය. ඔහුගේ පින්ඩපාත දානයෙහි ඔහු නුසුදුස්සෙක් කොට එම පිඬු දානයේ කුශලය මා සන්තක දෙයක් කරන්නෙමියි සිතා ඔහු කැඳවා අද ඔබ කිසිවෙකුට යමක් දුන්නේදැයි විමසුවේය. එසේය ස්වාමීනි මම අද උපරිමය පසේ බුදුරදුන්ට මගේ බත් කොටස දන් දුන්නෙමි. එම්බල නුඹ මගේ කහවණු ගෙන එම පිණ්ඩපාතය මට දෙන්න ස්වාමීනි නොදෙමි. ඔහු ගණන කහවණු දහස දක්වා වර්ධනය කළේ. අන්නභාර කහවණු දහසකට ද නොදුන්නේය. අනතුරුව පින්වත එසේ වේවා මට පිණ්ඩපාතය නොදෙන්නේ නම් දහසක් ගෙන පින මට දෙන්නැයි පැවසුවේය. ඔහු ආර්යන් සමග කථා කරගෙන දැනගන්නෙමියි. කියන්නේ පසේ බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි සුමන සිටුවරයා දහසක් දී ඔබවහන්සේට දෙන ලද දානයේ පින ඉල්ලා සිටී. කුමක් කරන්නදැයි විමසුවේ. අනතුරුව ඔහු උපමාවක් ගෙන හැර දැක්වුහ. නුවණැත්ත යම් සේ පිං කැමති කෙනෙක් තමාගේ නිවසක පහනක් දල්වමින් අනෙක් අය මේ පහනින් වැටියක් තෙමා දල්වාගන්නැයි පළමු පහනේ ප්‍රභාව ඇත්ද? ස්වාමීනි අතිරේක ප්‍රභාවක් ඇතිවේ. එමෙන්ම පින්වත බත් හැන්දක් කැඳ හැන්දක් දන් දී තමගේ පිණ්ඩපාත දානයක පිං දීමෙන් තමන්ගේ පින වැඩේමයි. ඔබ තනිවම. පිණ්ඩපාතය දුන්නේය. එහි පිං සිටුවරයාට දීමෙන් පිණ්ඩපාත දාන දෙකක් වේ. එකක් ඔබට අනෙක ඒ සිටුවරයාට ඔහු යහපති ස්වාමීනියි කියා වැඳ සිටුවරයා ළඟට ගොස් ස්වාමීනි, පින් ගන්න. යැයි කීවේය. එසේ නම් මම ශ්‍රද්ධාවෙන් ඔබට පිංදෙමි. ඔබ ශ්‍රද්ධාවෙන් දෙයි මම ද ඔබගේ ගුණයට පුජා කරමි. දරුව ගන්න මෙයින් පසුව සියතින් කර්ම නොකරන්න. වීථියේ ගෙයක් තනා වසන්න. ඔබට යම් උවමනාවක් වී නම් සියල්ල මගෙන් ලබාගන්න. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උතුමෙකුට දෙන ලද පිණ්ඩපාත දානය එදිනම විපාක දෙයි. එනිසා රජු ද මේ පුවත අසා අන්නභාර කැඳවා පිං ලබාගෙන මහත් භෝග සම්පත් දී ඔහුට සිටු තනතුරක් පිරිනැමුවේය. ඔහු සුමන සිටුවරයාගේ සහායක වී දිවි ඇති තෙක් පිං කර ඉන් චුතවූයේ දෙලොව පහළ වී දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධොත්පාද කාලයේ කපිලවත්ථු නගරයේ අමිතෝදන ශාක්‍යයාගේ ගෙදර පිළිසිඳගෙන අනුරුද්ධ නමින් ප්‍රසිද්ධ විය. ඔහු මහානාම ශාක්‍යයාගේ කණිටු සොහොයුරා විය. බුදුරදුන්ගේ සුළු පියාගේ පුත් මේ කුමරු ඉතා සිවුමැලි මහා පිංවත් කෙනෙක් වුයේය. එක් දිනක් ක්‍ෂත්‍රියන් හයදෙනා අතර කැවුම් ඉලක්ක කර පන්දු ක්‍රීඩා කරන්නේ අනුරුද්ධ කුමරු පැරදුනි. කැවුම් ගෙන ඒමට මව වෙත යැවුනි. ඇය මහත් රන් තලියක් පුරවා කැවුම් යැවීය. කැවුම් කා නැවත ක්‍රීඩා කරන්නේ පැරදුනේ නැවත යැවීය. මෙ ලෙසට තෙවරක් කැවුම් ගෙන ආපසු හතර වැනි වාරයේදී මව දැන් කැවුම් නැතැයි කියා යැවුවාය. ඇගේ වචනය අසා නැත යන පදය නො ඇසුතිසා - නැති කැවුම් යන නම යොදා යන්න ඇති කැවුම් රැගෙන එන්නැයි යැවීය. අනතුරුව මෑණියෝ නැති කැවුම් දෙන්නැයි ඉල්ලා සිටිවිට මගේ පුතු නැත යන වචනය නොදන්නා නොඇසු නිසා නැත යන්න කෙසේ දැනුවත් කරන්නේ දැයි රන් බදුන සෝදා වෙනත් රන් බදුනකින් වසා දරුව මෙය මගේ පුතුට දෙන්නයි යැව්වාය. එකෙනෙහි නගරයට අධිගෘහිත දෙවිදුවක් අපේ ස්වාමීයා විසින් "අන්නභාර” කාලයේදී උපරිමය පසේ බුදුරදුන්ට බත් ... දන් දී නැත යන පදය අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනයක් තැබුවේය. ඉදින් අපි එම කරුණ දැනගෙනම පමුණුවන්නේ නම් මගේ සිත සත් කඩකඩ පැලෙන්නේ යයි සිතා දිව්‍ය කැවුම්වලින් භාජනය පුරවා ලුහ. ඒ සේවක පුරුෂය භාජනය ගෙන ඔහුගේ ළඟ තබා විවෘත කළේය. එහි සුවඳ නගරය පුරා පැතිරුනි. කැවුම් කටේ තැබු පමණින්ම දහසක් දහසක් රසනහර පැතිරි සිටියේය. අනුරුද්ධ කුමරුද සිතුවේය. මම මෙයට පෙර මෑණියන්ට ප්‍රිය වුයේ යයි නොසිතමි. අනෙක් දිනවලදී නැති කැවුම් නොසාදන ලදී. ඔහු ගොස් මවට මෙසේ කීවේය මෑණියනි ඔබ මට ප්‍රිය නොවේ. දරුව කුමක් කියන්නේද මගේ දෑසට වඩා මගේ හදවත් වාසයට වඩා ඔබ මට ප්‍රිය වේ. මෑණියෙනි මට එතරම් ප්‍රියනම් කුමක් හෙයින් මට මෙයට පෙර නැති කැවුම් නොසෑදුවේද? නොදුන්නේද? ඇය සේවක පුරුෂයාගෙන් විමසුවාය. දරුව භාජනයේ කිසිවක් තිබුනේද? ආර්යාවනි එසේය කැවුම් භාජනය පිරිතිබුනි. එබඳු කැවුම් මම මෙයට පෙර දැක නැත ඇය මෙසේ සිතුවාය මගේ පුතු පිංකළ කෙනෙකි. දේවතාවෝ දිව්‍යමය කැවුම් තබන්නට ඇත. දරුවාද මවට කිවේය. මෑණියනි මෙයට පෙර මෙබඳු කැවුම් කා නැත. මෙතැන් පටන් මට නැතිකැවුම එවන්න. ඇය එතැන් පටන් එම කැවුම් කෑමට කැමති බව දැන්වූ විට රන් බඳුන සෝදා අනෙක් බඳුනක් යටිකුරු කර වසා තබයි දෙවියෝ පාත්‍රය පුරවති. මෙලෙසම ඔහු ගිහිගෙයි සිටියදී නැත යන පදයේ අර්ථයද නොදැන දිව්‍ය කැවුම්ම අනුභව කළේය. බුදුරුදුන් පිරිවර සඳහා ඉකුල පිළිවෙළින් ශාක්‍ය කුමාරවරුන් පැවිදි කරද්දී මහානාම ශාක්‍යයා දරුව අපේ කුල ගෙයින් කිසිවෙක් පැවිදි නොවීය. ඔබ හෝ පැවිදි විය යුතුය. මෙම විසින් පැවිදි විය යුතුය ඔහු මෙසේ කීවේය. මම සුකුමාලය පැවිදිවීමට නොහැකිය. එසේනම් කර්මාන්තයක් ඉගෙන ගන්න මම පැවිදි වන්නෙමි. මොන කර්මාන්තයක්ද? ඔහු බත් උපදින ස්ථානය ද නොදනී කර්මාන්තයන් නම් කුමක්දැයි නොදනී. එනිසා මෙලෙස කිවේය. එක් දිනක් අනුරුද්ධ - භද්දිය - කිම්බිල - තිදෙනා බත් කොතැනින් ඇතිවේදැයි කථාකළහ. ඔවුන් ආහාර කොටුවෙන් උපදී යයි පැවසුවේය. ඔහු එක් දිනක් කොටුවෙන් වී දමනු දුටුවේය. එනිසා කොටුවෙන් ඇතැයි යයි සිතුවේය. අනතුරුව භද්දිය කුමරු ඔබ නොදන්නේ යයි පවසා බත් - සැළියෙන් ඇතිවේයයි කිවේය. ඔහු දිනක් සැළියෙන් බත් ගන්නවා දැක මෙසේ පැවසුවේ. අනුරුද්ධ කුමරු තොප දෙදෙනාම නොදනී කියා රියනක් උස කැකුළක් ඇති මහා රන් බඳු දෙක බත් උපදී යයි කීවේය. ඔහු වී කෙටීමක් හෝ බත් ඉවීමක් දැක නැත. රන් බඳුනේ පුරවා තබන ලද බත් දුටුවේය. මේ නිසා රන් බඳුනෙන්ම බත් උපදීයයි ඔවුන්ගේ හැගීමක් විය. එනිසා මෙසේ පැවසුවේය. මේ නිසා බත් උපදින ස්ථානය හෝ නොදන්නේ මහ පිනැමැති කුල පුත් කර්මාන්ත කුමක් දනීද ඔහු මෙහි එන්න අනුරුද්ධ ගිහිගෙය විසීම ඔබට කියාදෙමි. පළමුව කුඹුර බිම් හැනීම් යුතුය ආදී වශයෙන් සහෝදරවරු කරන කර්මාන්තවල කෙළවරක් නොමැති බව අසා මට ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. මවගෙන් අසා භද්දිය ප්‍රධාන ශාක්‍ය කුමාරවරුන් සමග නික්මී අනුපිය අඹ වනයේ බුදුන් වෙත එළඹ පැවිදි වුහ. පැවිදිවී මනාලෙස මහා ප්‍රතිපදාවේ නියැලුනේ පිළිවෙලින් ත්‍රිවිද්‍යා ලබා සම්මා පටි පදාවට පිළිපන්නේ දිවැසින් එක අසුන්නේ සිටියදීම අත්ලයේ තැබු නෙල්ලි ගෙඩියක් සේ දහසක් ලෝක ධාතුව බැලීමේ සමත්කම ඇතිවී.

පෙර විසූ කඳ පිළිවෙළ දනිමි දිවැස පිරිසිදු කරන ලදි. ත්‍රිවිද්‍යා ඍද්ධියට පත්වුවෙමි. (බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ලදිමි) මේ උදානය පවසා කවර නම් කුශලයක් කොට මේ සම්පත ලැබුවේදැයි බලන්නේ පියුමතුරා බුද්ධපාද මුලයේදී ප්‍රාර්ථනයක් තැබුවේ යයි. දැන් නැවත සසර සැරිසරන්නේ අසවල් කාලයේදී බරණැස සුමන සිටුවරයා නිසා ජීවත් වන්නේ " අන්නභාර නම්” වුයේ යයි දැන

එක් සමයක මම බරණැස් නුවර කදින් බර ගෙන යන අන්නභාර නම් දිළින්දෙක් වීමි. උපරිමය පසේ බුදුන්ට පිණ්ඩ දානයක් මම දුන්නෙමි. අනතුරුව ඔහුට මේ අදහස විය. එදින මම උපරිට්ඨ පසේ බුදුන්ට දෙන ලද පිණ්ඩ දානය නිසා කහවණු ගෙන පින් ලබාගත් මගේ මිත්‍ර සුමන සිටුවරයා දැන් කොහේදැයි උපන් තැන විමසා බැලීය. වින්ධ්‍යා කැලයේ පර්වත ප්‍රාන්තයේ මුණ්ඩ නම් නියම් ගමක් ඇත. එහි මහාමුණ්ඩ නම් උපාසක මහා සුමන චුල සුමන නම් පුතුන් දෙදෙනෙකි. සුමන සිටුවරයා චුල්ල සුමන නමින් ඉපදුන බව දුටුවේය. දැනද මෙසේ සිතුවේය. මා එහි ගියවිට උපකාරයක් වේදැයි සොයා බලන්නේ මෙය දුටුවේය. මම එහි ගිය විට අවුරුදු හතක් වූ චුල්ල සුමන නික්මී පැවිදි වන්නේය. හිස කෙස් කපද්දීම රහත් වන්නේය. වස් කාලය එළඹි විට ගොස් ගම් දොරම බැස්සේය. මහා මුණ්ඩ උපාසක පෙරදී තෙරුන්ගේ විශ්වාසවන්තයෙක්ව සිටියේය. ඔහු තෙරුන් පිඩු සිගා යාමට සිවුර පොරවන අතර එය දැක මහා සුමන පුතුට මෙසේ කිවේය. දරුව මගේ අනුරුද්ධ ආර්යයන් වහන්සේ වැඩම කළෝය. වෙනත් කෙනෙක් පාත්‍රය ගැනීමට පෙර පාත්‍රය ගන්න. මම අසුනක් පනවන්නෙමි. ඔහු එලෙස කළේ. උපාසක තෙමේ තෙරුන්ට ඇතුළත අසුනක් පනවා හොදින් දන් වළදවා තුන් මසක් වාසය කිරීම සඳහා ප්‍රතිඥාවක් ගත්තොත්ය. තෙරුන් ඉවසුහ. මෙලෙසට තුන් මසක් පිළිදැගුම් කොට මහා පවාරණය සඳහා තුන් සිවුරු තෙල් පහන් ආදිය ද ගෙනවුත් තෙරුන් පාමුල තබා මේවා පිළිගන්නැයි පැවසුවේය. ප්‍රයෝජනයක් නැත උපාසක මෙයින් මට ප්‍රයෝජනයක් නැත. පිළිගන්නේ නැත්තේ කුමක් නිසාද, උපාසකයා මා ළඟ කැපකරු සාමණේර නමක්ද නැත. එසේ නම් ස්වාමීනි මගේ පුත් මහා සුමන සාමණේර වන්නේය. නැත උපාසික මට මහා සුමනගෙන් වැඩක් නැත. එසේ නම් ස්වාමීනි චුල්ල සුමන පැවිදි කරන්නැයි පැවසීය. තෙරුන් යහපතැයි පිළිගෙන චුල්ල සුමන පැවිදි කළහ. ඔහු කෙස් කපද්දීම රහත් වුහ. තෙරුන් වහන්සේ ඔහු සමග අඩමසක් පමණ එහි වාසය කර බුදුන් දකිනෙමුයි ඔහුගේ ඥාතීන්ගෙන් විමසා අහසින් ගොස් හිමවත් පෙදෙසේ දී ආරණ්‍යයේ කුටියකට බැසත්හ. තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් පටන්ගත් වීර්යය ඇත්තෙකි. මෙහිදී රාත්‍රි දෙකක් සක්මන් කරන විට උදර වාතයක් ඇතිවිය. අනතුරුව කලාන්ත රූපයක් දැක සාමණේර නම විමසුහ. ස්වාමීනි කුමක්ද වේදනා සහිතද මට උදරාබාධයක් ඇති විය. වෙනත් දිනවලදී ද මෙය ඇතිවන්නේද ස්වාමීනි. එසේය ඇවැත්නි. කුමක් වැළදීම සදහා සුදුසුද? ස්වාමීනි, අනෝතත්ත විලෙන් ජලය ලබන්නේනම් සුවපත් වේ. එසේ නම් ස්වාමීනි රැගෙන එන්නෙමි. සාමණේරය ඔබට හැකිද එසේ ස්වාමීනි, එසේය ස්වාමීනි, එසේ නම් අනෝතත්ත විලේ පන්නක නම් නාග රාජයෙක් ඇත. ඔහු මා දනී ඔහුට කියා බෙහෙත් සඳහා එක් පැන් කළයක් ගෙන එන්න, ඔහු යහපතැයි උපාධ්‍යාය තෙරුන්ට වැද අහසට පැන නැගී යොදුන් පන්සියයක් දුර ස්ථානයට වැඩම කළේය. මේ දවසේදී නා රජු නාග නාටකයන් පිරිවරා ජල ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටියේය. මෙම සාමණේරයන් එන්නා වූ දැක කිපුනි. මේ මුඩු ශ්‍රමණයා තමන්ගේ පාවල පස් මගේ සිරුර මත දමමින් හැසිරේ අනෝතත්ත විලේ ජලය පානය කිරීමට ආවා විය හැකිය. දැන් මොහුට පැන් නොදෙමි. පනස් යොදුනක් පැතිරුණි අනෝතත්ත විල මහා සැලියකින් වසන්නා සේ පෙනයෙන් වසා පැතිරූය. සාමණේරයන් නාග රාජයාගේ රූපය බලා කිපුණේ යයි දැන මේ ගාථාව පැවසුවේය.

“සුනෙහි ම නාගරාජ - උගතෙජ මහබ්බල

දෙහි මෙ පාණීය ඝටං - භෙසජ්ජ ‍ත්ථමහි ආගතො”

නාග රාජය අසන්න ඔබ මහාබල උග්‍ර තේජස් ඇත්තෙකි බෙහෙත් සඳහා පැන් ගෙන යාමට ආවෙමි මට පැන් කළයක් දෙන්න.

මෙය අසා නා රජු මේ ගාථාව පැවසුවේය.

පෙරදිග ගංගා නම් මහ නදියක් ඇත මහ සමුදරට වැටෙන එම නදියෙන් ජලය ගන්න. මෙය ඇසු සාමණේරයන් වහන්සේ මේ නාගයා කැමැත්තෙන් ජලය නොදෙයි මම බලහත්කාරයෙන් මිනිස් බල පෙන්වා මොහු මැඩ පවත්වා ජලය ගන්නෙමියි සිතා මහරජ මගේ උපාධ්‍යාය තුමා මට අනෝතත්ත විලෙන් ජලය ගෙන එන ලෙසට පැවසුහ. එනිසා මම මෙයින්ම පැන් ගෙන එන්නෙමියි, ඔබට මහා කායික බලයක් ඇත. එහෙයින් අයින් වෙන්න. මාව නොවළක්වන්නැයි කියා මේ ගාථාව පැවසුහ.

නාගරාජයා මෙසේ පැවසුවේය,

සාමණේරය ඔබට පෞරුෂයක් වික්‍රමයක් තිබේනම් ඔබේ වචනයට සතුටු වෙමි. හැකිනම් මා කෝප කරගෙන ජලය ගන්න යයි පැවසුවේය.

අනතුරුව සාමණේර එසේය මහ නාග රාජය මම ගනිමියි පවසා හොඳයි හොඳින් දැනගන්න තුන් වතාවක් ප්‍රතිඥා ගෙන බුද්ධ ශාසනයේ ආනුභාවය පෙන්වා මවිසින් ජලය ගෙන යා යුතු යයි සිතා ආකාශස්ථ දෙවියන් වෙතට ගියේය. ඔවුන් පැමිණ වැඳ ස්වාමීනි කුමක්ද විමසා සිටියහ. මේ අනෝතත්ත විල පිට පන්නක නාග රාජයා සමග මගේ සටනක් ඇත. එහි ගොස් ජය පරාජය බලන්නැයි පැවසුහ. සාමණේරයන් වහන්සේ මේ අයුරින් සතර වරම් ලෝපාලක දෙවියන් ශක්‍ර දෙවිය සුයාම සන්තුසිත දෙවියන් පරනිම්මිත දෙවියන් වෙතට ද එළඹ මේ කරුණ දැනුම් දුන්නේය. අනතුරුව පිළිවෙළින් බඹලොව දක්වා ගොස් බඹලොවින් පැමිණ වැඳ සිටි විට ස්වාමීනි කුමක් දැයි විමසා සිටියේ මෙම කාරණය දැනුම් දුන්නේය. මේ ලෙසට අසඤ්ඤා අරූපී බ්‍රහ්මයන් හැර සියළු තැන මොහොතින් ඇවිද දැනුම් දුන්නේය. උන්වහන්සේගේ වචනය අසා සියළුම දෙවියෝ අනෝතත්ත විල් තෙර නළයකට දමන ලද තුඹසුණ මෙන් මුළු අහස පුරා රැස් වුහ. දෙවියන් රැස්වූ විට සාමණේරයන් අහසේ සිට නාරජුට මෙසේ පැවසුහ. "උග්‍ර තේජස් ඇති නා රජුනි, බෙහෙතක් සඳහා පැන් ගෙන යන්නට ආමි. එබැවින් පැන් ගැනීමට ඉඩ දෙව”

අනතුරුව නාගයා මෙසේ කීවේය.

ඔබගේ වචනයට මම සතුටු වෙමි. ඔබට යම්කිසි වික්‍රමයක් ඇත්නම් මා අකමැත්තෙන් පැන් ගෙන යව”

උන්වහන්සේ තෙවරක් නා රජුගෙන් ප්‍රතිඥා ගෙන අහසේ සිටියදීම දොළොස් යොදුන් ක්‍රම ආත්ම භාවයක් මවාගෙන අහසෙන් බැස නා රජුගේ පෙනය පාගා මුහුණ යටට යන සේ පෙළීය. අමු මඩ අස්සේ නා රජුන්ගේ පෙනය ඇකිලී හැන්දක් පමණට පෙණය පත්විය. නා රජුගේ පෙනය ගිලුන ගිලුන තැන්වලින් තල් කඳක් පමණ ජල ධාරා උඩට නැගුනි. සාමණේරයන් වහන්සේ අහසේ සිටම පැන් බඳුන පිරවීය. දේවතා සමූහය සාධුකාර දුන්හ. අනතුරුව නාගයා ලැජ්ජා වී සාමණේරයන්ට කිපුනි. බඳු වදමල සේ ඇස් රතු පැහැ වූහ. මෙතෙම දෙවියන් රැස්කර පෙනය මතුපිට සිට මා ලජ්ජාවට පත් කළේය. මොහු ගෙන කටට අත දමා හෘදය මාංශ පාදයෙන් අල්ලා ගෙන ගඟින් එතරට විසි කරමියි සිතා වේගයෙන් ගොස් ලුහුබඳින්නේ වුවද පැමිණීමට නොහැකිවිය. සාමණේරයන් වහන්සේ ගොස් උපාධ්‍යායන් වහන්සේගේ අත ජල භාජනය තබා ස්වාමීනි පානය කරන්නැයි පැවසුවේය. නා රජුද පසු පසින් පැමිණ ස්වාමීනි අනුරුද්ධ මේ සුමන සාමණේර මම නොදීම ජලය ගෙන ආවේය. නො බොන්නැයි කීවේය. සාමණේර මෙය සැබෑද ස්වාමීනි පානය කරන්න. මොහු විසින් දෙන ලද පැන් ගෙන ආමි තෙරුණුවෝ රහත්වූ සාමණේරයන්ට බොරු කීමක් නැතැයි දැන ජලය පානය කළහ. එකෙනෙහි උදර බාධය සංසිදුනි. නැවත නාග රාජයා මෙසේ පැවසුවේය.

ස්වාමීනි සාමණේරයන් විසින් සියලු දේ සමුහයා රැස්කරවා මා ලජ්ජාවට පත් කළේය. මම ඔහුගේ හදවත හෝ පලමි, පයින් ගෙන ගඟෙන් එතෙර විසිකරන්නෙමි. මහරජ සාමණේර මහත් ආනුභාව ඇත. ඔබට ඔහු හා සටන් කිරීමට නොහැකිය. ඔහුගෙන් සමාව ගන්න. ඔහු තමන් ද සාමණේරයන්ගේ මහත් ආනුභාවය දැන සිටියද ලජ්ජාව නිසා ලුහුබැඳ ආවේය. අනතුරුව තෙරුන්ගේ වචනයෙන් සමාව අයැද ඔහු හා මිත්‍රත්වයක් ඇතිකරගෙන මෙයින් පසු අනෝතප්ත ජලයෙන් ප්‍රයෝජනයක් ඇති විට තොපගේ පැමිණිමක් අවශ්‍ය නොවේ. මට පණිවිඩයක් එවන්න මවිසින්ම ගෙනැවිත් දෙන්නෙමියි කියා පිටත් විය. තෙරුන්ද සාමණේරයන් ගෙන පිටත්වුහ. බුදුහු තෙරුන් පැමිණි බව දැන මිගාර මාතු ප්‍රාසාදයේ තෙරුන්ගේ පැමිණීම බලමින් වාඩිවි සිටියහ. භික්ෂූන්ද තෙරුන් එන බව දැන පෙර ගමන් කර පා සිවුරු පිළිගත්හ. මේ අතර ඇතැම් භික්ෂූන් සාමණේරයන්ගේ හිසෙන් ද කන්වලින් ද අත්වලින් ද ගෙන සොලවමින් ඇයි සාමණේර පැමිණ කළකිරුනේදැයි විමසුහ.

බුදුහු ඔවුන්ගේ ක්‍රියාව දැක මෙසේ සිතූහ. මේ භික්ෂූන්ගේ ක්‍රියාව බැරැරුම් දෙයකි. දරුණු විෂ සර්පයෙක් ගෙලෙන් අල්ලා ගැනීමක් ඇත්ත මොහුගේ ආනුභාව නොදනී. අද මම සුමන සාමණේරයන්ගේ ගුණය ප්‍රකට කිරීම වටනේය. තෙරුන් පැමිණ බුදුන් වැඳ වාඩි වුහ. බුදුහු තෙරණුවන් සමග පිළිසඳර කතා කොට ආනන්ද තෙරුන්ට ඇමතූහ. ආනන්ද අනෝතප්ත විල ජලයෙන් පා සේදීමට කැමැත්තෙමි. සාමණේරයන්ට කළ දී ජලය ගෙන්වා ගන්න. තෙරුණුවෝ විහාරයේ සමග පන්සියයක් සාමණේරවරු රැස් කළහ. උන් වහන්සේලා අතර සුමන සාමණේරයෝ සියල්ලන්ට වඩා අළුත පැවිදි වූවෙකි. ආනන්ද තෙරුණුවෝ සියළු වැඩි වයස් සාමණේරයන්ට පැවසුවේ බුදුරජාණන් වහන්සේ අනෝතප්ත විල් ජලයෙන් ස්නානය කැමති නිසා කළයක් රැගෙන ගොස් පැන් ගෙන එන්න යනුවෙනි. ස්වාමීනි කළ නොහැකි යයි කැමති නොවුහ. අන් අයට පැවසූවිට එසේම ප්‍රතික්‍ෂේප කොට කැමති නොවුහ. කිම මෙහි රහත් වූ සාමණේර නමක් නැත්දැයි විමසුහ. ඇත ඔවුහු අප සමග බද්ධ වී නැත මල්ගොටු සුමන සාමණේරයන්ටම බැඳුනේ යයි නොකමැති වූහ. පෘථග්ජන අය තමන්ගේ නොහැකියාව නිසාම අකමැති වූවාහුය අවසානයේ දී සුමන සාමණේරයන්ගේ වාරයේ දී අනෝතත්ත විලෙන් ජලය ගෙන ආ හැකිදැයි විමසූවිට බුදුරජාණන් වහන්සේට නම් ගෙන එන්නෙමියි බුදුන් වැඳ මම ජලය ගෙන එන්න දැයි විමසුවිට එසේ සුමන යයි පැවසුහ. උන් වහන්සේ විශාඛාව විසින් කරවන ලද ඝන රන් කොටුවේ සෙනසුන් කුටියේ කළ හැටක ජලය අල්ලන මහ කළයක් අතින් ගෙන මෙය ඔසවා උරයේ තැබීමෙන් වැඩක් නැත. අතින් එල්ලා ගෙන හිමාලය දෙසට අහසට පැන නැගුනි. නාග රාජයා දුරදීම සාමණේරයන් එනු දැක පෙර ගමන් කර ඇකයෙන් ගෙන ස්වාමීනි මා සමාන සේවකයින් සිටියදී කුමක් නිසා හුදෙකලාව පැමිණියේද? කළයෙන් ජලය ගෙන තෙමේ ඔසවා ස්වාමීනි පෙරට එන්න මම ගෙන එන්නෙමි. පැවසුවේය. මහරජ ඔබ සිටින මටම බුදුරදුන් විසින් අණ කරන ලද්දේය. අරගෙන එන්නෙමි. පැවසුවේය. කළයේ කට අතින් අල්ලාගෙන අහසින් පැමිණියේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ වඩිනා වූ සුමන සාමණේර දෙස බලා භික්‍ෂූන්ට ඇමතූහ මහණෙනි බලන්න සාමණේරයන්ගේ ලීලාව අහසේ යන හංස රාජයෙක් මෙන් (සොභති) හොබී ඔහු ද පැන් කළය තබා බුදුන්ට වැද සිටියේය. අනතුරුව තථාගතයන් වහන්සේ පැවසූහ සුමන ඔබට වයස කීයද? අවුරුදු හතකි ස්වාමීනි එසේ නම් සුමන අද පටන් ඔබ භික්ෂුවක් වන්නේ යයි පවසා "දායස්ස උපසම්පදාව” පිරිනැමූහ. සාමණේරවරු දෙනමක් පමණක් සත් වයසින් උපසම්පදාව ලැබුවාහුය එනම් සෝපාක හා සුමන සාමණේරයි ඔහු උපසම්පදා ලැබු පසු ධර්ම සභාවේ කථාවක් ඉපද වුහ.

ඇවැත්නි ආශ්චර්යයි මෙබඳු ළාබාල සාමණේර නමකගේ මෙබඳු ආනුභාව බවක් දැක නැත. බුදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා සාමණේර ගැන බව පැවසූවිට මහණෙනි මගේ ශාසනයේ දහර කෙනෙක් වුවද මෙබඳු සම්පත් ලබන්නේ යයි පවසා මෙම ගාථාව පැවසුහ.

ළඳරු වුවද ගරු පැවිදි තෙමේ යෙදේ නම් බුදුසාසනේ

වළා පටලෙන් මිදුණු පුන්සඳ වගේ මුළු තුන් ලොව දිනේ

දමු නාරජ සාමණේර වු සුමන පොඩි හිමියන් මෙනේ

වයස අවුරුදු හතවුවත් රහතන් වහන්සේ සුව ගෙනේ

එහි යුඤ්ජති. උත්සාහ කරයි. දිරි දරයි. පභාසෙතීස ඒ භික්ෂුව තමන්ගේ අරහත් මග නුවණින් අහසෙහි. මුත්තොචන්දිමා රාහුගෙන් මිදුණු සඳ දෙවි පුත් මෙන්, ලෝකං ස්කන්ධාදී ලෝකය බබුළුවයි. ඒකාලෝක කරයි. දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ.

භික්ඛු වර්ග නිමි.

විස්පස්වැනි වර්ගය නිමියේය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.