25-10 නඞ්ගුල කුල තෙරුන්ගේ කථා පුවත

අත්තනා චොදයත්තානං පටිමාසෙ’ත්තමත්තනා

සො අත්තගුත්තො සතිමා සුඛං භික්ඛු විහාහිසි.

යුෂ්මත් තෙමේ තමාට චෝදනා කරව. තෝ ම තා පිරික්සා කරව. මහණ, එසේ වූ තෝ තමා විසින් ම රක්නා ලද්දෙහි ස්මෘතිමත් වූයෙහි (සිවු ඉරියවුහි ම) සුවයෙන් වසන්නෙකි.

අත්තා හි අත්තනො නාථො අත්තා හි අත්තනො ගති

තස්මා සඤ්ඤමයත්තානං අස්සං භද්‍රං’ව වාණිජො.

යම් හෙයෙකින් තෙමේ තමාගේ පිහිට වේ ද, යම් හෙයෙකින් තෙමේ ම තමාගේ පිළිසරණ වේ ද, එහෙයින් උතුම් අසකු (කවා පොවා) රක්නා අස්වෙළෙඳක්හු මෙන්, (අකුසලුන් සිතැ වැද්දැ නො දී) තමා මොනොවට රක්නේ ය.

"අන්තනා වොදයන්තානං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී නඞ්ගුලකුල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

එක් දුගී මිනිසෙක් අනුන්ගේ බැල මෙහෙවර කරමින් ජීවත්වේ. රෙදි කැබැල්ලක් ඇඳගෙන නගුල උස්සාගෙන යන ඔහු දැක එක් භික්ෂුවක් මෙලෙස පැවසුවේය. ඔබ ඇයි ලෙසට ජීවත් වන්නේ, කවර ප්‍රයෝජනයක්ද. පැවිදි වන්නේ නම් නොවටීද? මෙලෙස ජීවත්වන මා කවුරු නම් පැවිදිකරන්නේ? ඉදින් ඔබ පැවිදි වන්නේ නම් මම පැවිදි කරවන්නෙමි ඉක්බිති ඔහු දෙව්රමට පමුණුවා සියතින් නහවා මණ්ඩපයේ තබා පැවිදිකර ඇඳසිටි රෙදි කැබැල්ල සමගම නගුල මාලක සීමාවේ ගසක අත්තක තැබ්බවීය ඔහු උපසම්පදා වූ විටද නංගල කුල තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු බුදුන්ට ලැබෙන ලාභසත්කාර නිසා ජීවත් වෙමින් කළකිරී කළකිරීම දුරුකරලීමට නොහැකිවන්නේ දැන් ශ්‍රද්ධා දෙය්‍ය කසාවත් අත්හැර දමා යන්නෙමියි. ගස මුලට ගොස් තමන් තමන්ටම අවවාද දුන්නේය. ලජ්ජා නැති තැනැත්ත මේ සිවුර අත්හැර නැවත කඩ රෙද්ද ඇඳගෙන බත් කොට ජීවත් වීමට ලජ්ජා නැත්ද මෙලෙසින් අවවාද දෙමින් සිත තුනී බවට පත්විය. ඔහු පසුව දින කීපයකට පසුව නැවත කළකිරී එලෙසම තමන්ට අවවාද කරගත්තේය. මෙලෙසට අවවාද කර ගැනීමෙන්ම සිත තුනී බවට පත්වූයේය. ඔහු ඒ ආකාරයෙන්ම කළකිරුණ අවස්ථාවේදී එහි ගොස් තමන්ටම අවවාද කරගනී. භික්ෂූන් වහන්සේලා එහි නිතර යනු දැක ඇවැත්නි නංගලකුල තෙරුන් වහන්ස කුමක් නිසා මෙහි එන්නැයි විමසුහ. ඔහු අචාර්යයන් වහන්සේ වෙත යමියි පවසා දින කීපයකින් රහත්බවට පත්වූහ. භික්ෂූන් වහන්සේලා ඔහු සමග කවටකම් කරන්නේ මෙලෙස කිවාහුය. ඇවැත්නි නංගල කුල ස්ථවිරතුමනි ඔබ යන මාර්ගය පාවිච්චි නොකරන තැනක් සේ විය. අචාර්යයන් වහන්සේ වෙතට නොයන්නේ යයි සිතමි. එසේය ස්වාමීනි මගේ ඇලීමක් තිබුණ විට ආවෙමි දැන් ඒ ඇලීම සිඳ දමන ලදී. එනිසා එහි නොයමියි පැවසුවේය. මෙය අසා භික්ෂුහු මොහු අමුතු දෙයක් කියා අනෙකුත් විස්තර කරතියි බුදුරදුන්ට දැනුම් දුන්නාහ. එසේය මහණෙහි මගේ පුතු තමන් තමන්ටම අවවාද දී පැවිදි කාර්යයේ මස්තක ප්‍රාප්ත වී යයි කියා මේ ගාථාව පැවසුහ.

තමන් පිළිබඳවම තමන් විමසිය යුතු වේ.

තමන්ගේ වැරදි ගැන ඔවදන්ද දිය යුතු වේ

එළඹ සිටි සිහියෙන් විමසන තමන් ගුණදොස්

මහණ තෙම සුවසේ යති දම් රකින්නේ වේ.

තමන් හට තමා මිස

අන් පිළිසරණ නැත්තේ

එනිසා තමන් සිත

වඩා තුන්දොර රැකිය යුතුවේ.

තෙමෙ තමාට චෝදනා කරවා තමා විමසන භික්ෂුව නුඹ තෙම රැකුණේ සිහි ඇතුව සුවසේ වසන්නේය.

චොදයත්තානං - තමන් විසින් කරන ලද වරදට තමාම චෝදනා කර ගැනීම පටිමාසෙථා - අත්තනාව මා විසින් බණ දහම් හදාරණ ලදද, වත් පිළිවෙත් කරන ලද ආදී වශයෙන් තමන් විසින් තමාවම විමසීම සො හෙතෙම භික්ෂුව මෙසේ ඇති කල්හි තමන්ම ගෝපනය කිරීම - අත්ත ගු තතො එළඹී සිහියෙන් යුක්තවීම - සතිමා සියළු ඉරියව්හී සුවසේ වෙසෙන්නෙමි යන අර්ථයි. නාථො අවශ්‍යතාවයන්හි පිහිටීම, අත්තාහි අත්තනො ගතී - යම් හෙයකින් අනුන්ගේ ආත්මභාවයෙහි පිහිටා කුසල් කොට ස්වර්ග පරායණ වූ මාර්ගය වඩා සාර්ථක ප්‍රතිඵල ලබන්නට නොහැකි වූවාහු කෙසේ නම් අනුන්ට පිහිට වේද යන අර්ථයි. තමා එහෙයින් තමා මැ තමාටම සරණය වී, භද්‍ර ආජානීය අශ්වයකු නිසා ලාභය පතන්නා වූ වාණිජෝ - වෙළෙන්දකු ඔහුගේ විෂමාචාරය දැක පසුදිනක තුන්වරක් නාවා ආහාර පානවලින් තෙමේම පිළිදැගුම් කරයි. මෙසේ ඔබ ද නුපන් අකුසලයාගේ උපැන්ම නැවැත්වීම සඳහා සිහියෙහි පිහිටා උසස් අකුසල් දුරු කරන්නේ තමන්ගේ සංගමය සංවරය ආරක්ෂ කරව ! මෙසේ පවත්නා කල්හි ප්‍රථම ධ්‍යාන ආදිය උපදවා ලෞකික ලෝකෝත්තර අධිගම්‍ය විශේෂත්වයට පැමිණෙන්නේය. යන අර්ථයි.

දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.

.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.