මෙත්තාවිහාරී යො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ.
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං.
යම් මහණෙක් මෛත්‍රීවිහරණ ඇත්තේ ද, බුදුසස්නෙහි අචල ශ්‍රද්ධා ඇත්තේ ද, එ බඳු මහණ තෙම සියලු සංස්කාරයන් සන්හිඳුවන අත්‍යන්ත සුඛය වූ ශාන්තපදය (නිවණ) ලබන්නේ ය.
සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්‍වා රාගං ච දොසං ච තතො නිබ්බාණමෙහිසි.
මහණ, මේ (අත්බව් නැමැති) නැව (එහි වූ මිත්‍යාවිතර්‍ක නැමැති ජලය ඉසීමෙන්) ඉස පිය. තා විසින් ඉස පියන ලද එය වහා ම (සසර සයුරැ නො ඇලී) නිවන්පුරට යන්නේ ය. රාග බැම්ම ද ද්වේෂ බැම්ම ද සිඳ ඉක්බිත්තෙන් නිවණට පැමිණෙන්නෙහි ය.
පඤ්ච ඡින්‍දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ
පඤ්චසඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චති.
(සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාද යන) සංයෝජන පස (සෝවාන් ආදි යට තුන් මඟින්) සිඳින්නේ ය. (රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන) උද්ධම්භාගිය සංයෝජන පස රහත් මඟින් සිඳැ දුරැ ලන්නේ ය. (උද්ධම්භාගිය සංයෝජනයන් නසනු පිණිස) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය පස අධික කොට වඩන්නේ ය. මෙසේ කොට (රාග ද්වේෂ මෝහ මාන දෘෂ්ටි යන) සඞ්ග පස ඉක්මුනු මහණ තෙම කාමෝඝාදි සතර මහ වතුරෙන් එතෙර වූයේ යැ යි කියනු ලැබේ.
ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ රමෙස්සු චිත්තං
මා ලොහගුළං ගිලී පමත්තො
මා කන්‍දි දුක්ඛමිදන්ති ඩය්හමානො.
මහණ, ධ්‍යාන වඩව. තුන් සුසිරිතෙහි පමා නො වව. තාගේ සිත පස්කම් කොටස්හි නහමක් බමව. පමා වූයේ (පස්කම්හි ගිජු වූයේ) නිරයෙහි ඉපිද ලොහොගුළ නො ගිල. නිරා ගින්නෙහි දැවෙමින් මේ දුකැ යි නහමක් හඬ.
නත්‍ථි ඣානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්‍ථි අඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච ස වෙ නිබ්බාණසන්තිකෙ.
(ධ්‍යානෝත්පාදක වීර්‍ය්‍ය සම්ප්‍රයුක්ත) ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. භාවනා නො කරන්නාට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇද්ද, හෙ තෙම ඒකාන්තයෙන් නිවනට සමීප ව සිටියේ ම වේ.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො
අමානුසී රති හොති සම්මා ධම්මං විපස්සතො.
ශුන්‍යාගාරයකට (ජනවිවික්තස්ථානයකට) වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්‍ම මොනවට අනිත්‍යාදි වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ.
යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජජං අමතං තං විජානතං.
යම් යම් කලෙක රූපාදි ස්කන්‍ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්‍ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්‍මප්‍රීතියක්, ධර්‍මප්‍රාමෝද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ.
තත්‍රායමාදි භවති ඉධ පඤ්ඤස්ස භික්ඛුනො.
ඉන්‍ද්‍රියගුත්ති සන්තුට්ඨි පාතිමොක්ඛෙ ච සංවරො.
මේ සස්නෙහි නුවණැති මහණහට ඒ ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක සැලැකීමෙහි මෙ සිවු පිරිසිදු සිල් පූර්‍වස්ථානය (පූර්‍ව කාරණය) වේ. හේ කවර හ? යත්: ඉන්‍ද්‍රිය සංවරය ද, සිවු පසයෙහි (යථාලාභ යථාබල යථාසාරූප්‍ය විසින් ත්‍රිවිධ වූ) සතුට ද, පාතිමොක්ඛයෙහි (ප්‍රධාන ශීලයෙහි) පරිපූරකාරී බව ද යන මෙය යි.
මිත්තෙ භජස්සු කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ
පටිසන්‍ථාරවුත්ත්‍යස්ස ආචාරකුසලො සියා
තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසි.
පිරිසිදු ආජීව ඇති, අකුසීත වූ, කලණ මිතුරන් සෙව්නේ ය. පිළිසඳර පැවැතුම් (ධර්‍මාමිෂ දෙකින් සංග්‍රහ කරණ බව) ඇත්තෙක් වන්නේ ය. (ශීලය ද වත්පිළිවෙත් කිරීම ද යන) ආචාරයෙහි දක්‍ෂ වන්නේ ය. එයින් (එ පිළිසඳර පැවැතුම් ආචාරයෙහි දක්‍ෂ බව යන දෙකින් උපන් ධර්‍මප්‍රාමෝද්‍යයෙන්) ප්‍රීතිබහුල වූ තෝ සසර දුක් කෙළවර කරන්නෙහි.
"මෙත්තා විහාරි” යන මේ ධර්මදේශනය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩසිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් සමයක ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් අවන්ති ජනපදයේ "කුරර ඝර” ඇසුරු කොට ගෙන පවතින පර්වත විහාරයේ වාසය කරන්නේ, සෝණ නම් කුටිකණ්ණ උපාසකයා තෙරුන්ගේ ධර්ම කථාවට පැහැදී තෙරුන් වෙත පැවිදි වීමට කැමැත්තේය. තෙරුන් විසින් සෝණට සෝණ මෙය දුෂ්කරය. එක බතින්, එක ඉරියව්වෙන්, බ්‍රහ්මචරියාම රැකිමට සිදුවේ. මෙලෙස පවසා දෙවරක් ප්‍රතික්ෂේප කරන ලදී. පැවිද්ද සඳහා දැඩිලෙස පැවිදිවීමට අතිශයින් ඇති කැමැත්ත නිසා තෙවැනි වර තෙරුන් කැමතිකර පැවිදි වී භික්ෂූන් අඩු නිසා දක්‍ෂිණපථයේ වස් තුනකට පසුව ලබන ලද උපසම්පදාව ඇත්තේ බුදුන් දකිනු කැමතිව උපාධ්‍යාන්ගෙන් විමසා උන්වහන්සේ විසින් දෙන ලද අණ ගෙන අනුපිළිවෙළින් දෙව්රමට වැඩමකර බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ බුදුන් හා එකම ගඳකිළියේ අනුමත කරන ලද සෙනසුනේ බොහෝ රාත්‍රි ඉඩ ඇති තැන කල් යවා රාත්‍රි භාගයේදී කල් යවා අළුයම බුදුන් විසින් ආරාධනා කරන ලද්දේ සුත්‍ර නිපාතයේ සොළොස් අට්ඨයක වර්ගයන් සියල්ලම මිහිරි සරින් සජ්‍ඣායනා කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ සජ්‍ඣායනය අවසානයේ අනුමෝදනා කරමින් සාධු සාධු යයි සාධුකාර දුන්හ. බුදුන් විසින් දෙන ලද සාධු නාදය අසා බුමාටු දෙවියෝ නාග සුපර්ණයෝ ද මෙසේ බඹලොව දක්වා එකම සාධුකාරයක් වීය. මේ අවස්ථාවේදී දෙව්රමින් යොදුන් එකසිය විස්සක් දුර කුරර ඝර නගරයේ තෙරුන්ගේ මව වූ උවැසියගේ නිවසේ අධිගෘහිත දෙවියා ද මහත් හඩින් සාධුකාර දුන්නේය. අනතුරුව උපාසිකාව කවුද මේ සාධුකාර දෙන්නේ - යනුවෙන් විමසුවාය. සහෝදරිය මමයි ඔබ කවුරුන්ද ඔබේ භවනයේ වසන දේවතාවා වෙමි. ඔබ මෙයට පෙර සාධුකාර නොදී අද දෙන්නේ කුමක් නිසාදැයි විමසුහ. මම ඔබට සාධුකාර නොදුන්නෙමි. එනම් ඔබ කාට සාධුකාර දුන්නේද? ඔබගේ පුත් සෝණ කුටිකණ්ණ තෙරුන්ට සාධුකාර දුනිමි. ඇයි මගේ පුතු කුමක් කළේද? ඔබේ පුතු අද තථාගතයන් සමඟ එක ගඳකිළියේ වසමින් බුදුන්ට ධර්ම දේශනා කළේය. බුදුහු ඔබ පුතුගේ ශබ්දය අසා පැහැදී සාධුකාර දුන්හ. එනිසා මවිසින්ද සාධුකරය දෙන ලද්දේය. සම්මා සම්බුදුන් ගේ සාධුකාරය කියා භූම්‍යසථ දෙවියෝද අනතුරුව බඹලොව දක්වාම සාධු නාදයට පැවතුනි. දෙවියනි! කිම. මගේ පුතා බුදුන්ට ධර්මය දේශනා කළේද නැතහොත් බුදුහු මගේ පුතුට ධර්මය දේශනා කළේද? ඔබේ පුතු විසින් බුදුන්ට ධර්මය දේශනා කරන ලදී. මෙලෙස දෙවියන් සමග කථා කරද්දී උපාසිකාව පස්වණක් ප්‍රීතියෙන් පිනා ගොස් මුළු සිරුර පුරා ප්‍රීතිය පැතිරුනි. අනතුරුව ඇයට මෙබඳු අදහසක් ඇතිවුනි. ඉදින් මගේ පුතුට බුදුන් හා එක ගඳකිළියක සිට ධර්මය දේශනා කරන්නට හැකිනම් මටද දේශනා කළහැකිය පුතු පැමිණි දිනයක මමද ධර්මය අසන්නෙමියි සිතුවාය. සෝණ තෙරුන්ද බුදුන් විසින් සාධුකාර මා ලැබුවේ මේ මගේ උපධ්‍යයන් වහන්සේ කියා එවා වදාළ මෙහෙවර දැනුම් දීමට කාලය යයි බුදුන් විසින් ප්‍රත්‍යන්ත ජනපදවල පස්නමක් ආදී කොට උපසම්පදාව ලබා දීම ආදී වර පහක් බුදුන්ගෙන් ලබා ගෙන කීප දවසක් ශාස්තෲන් වහන්සේ වෙත වැස උපාධ්‍යායන් බලන්නෙමියි බුදුන් විමසා දෙමින් නික්මී පිළිවෙලින් උපාධ්‍යායන් වහන්සේ වෙතට පැමිණියේය. තෙරුන් වහන්සේ දෙවැනි දිනයේදී ඔහු රැගෙන පිඬුසිඟා යන්නේ මෑණියන් වූ උපාසිකාවගේ ගෙදරට ගොස් සිටියහ. ඇය පුතු දැක සතුටුව වැඳ හොඳින් වළදවා මෙසේ ඇසුවේය. ඔබ බුදුන් හා එක ගඳකිළියේ සිට බුදුන්ට ධර්ම කථා කීවේද? උපාසිකා මාතාවනි ඔබට මෙය කවුරුන් කීවේද, දරුව, මේ ගෙයි අධිගෘහිත දෙවියා මහ හඩින් සාධුකාර දී ම විසින් විමසන ලදුව මේ තොරතුරු ඔහු විසින් කියන ලදී. එය අසා මම ද මෙසේ සිතුවෙමි. මගේ පුතු බුදුන්ට ධර්මය දේශනා කළේ නම් මට ද දේශනා කරනු ඇත කියා අසවල් දින දේශනය පිළියෙළ කරමි. ඔබ වහන්සේ දේශනා කරන්න. උන් වහන්සේ පිළිගන්න. උවැසිය භික්ෂු සංඝයාට දන් දී පුජාකර පුතුගේ ධර්මය අසමියි එකම දාසිය ගෙය ආරක්ෂා කිරීමට තබා සියළු පරිවාර ජනයා රැගෙන නගරය තුළ ධර්ම දේශනය සඳහා පිළියෙළ කළ සරසන ලද මණ්ඩපයට නැගී ධර්මය දේශනා කරන පුතුගේ ධර්මය ඇසීම සඳහා පිටත්ව ගියාය. මෙකල නවසියයක් සොරු එම උවැසියගේ ගෙයි අවකාශයක් සොයන්නේ එහි හැසිරුනාහ. ඇගේ ගෙය ප්‍රාකාර හතකින් වට කරන ලදී. දොරටු හතකි. ඒ ඒ දොරටුවෙහි දරුණු බල්ලන් බඳින ලදී. ඇතුළු ගෙයි වහලයේ ජලය වැටෙන තැන අගලකි එහි ඊයම් වලින් පුරවන ලදී. දවල් කාලයේ අව්වෙන් දැඩි සේ පැසී තිබේ. රාත්‍රියේ දී තද වේ. රළු ලෙසට තිබේ. මේ අතර මඩවලින් පිරි අගලකි. එය අතර මහත් යකඩ දාම නිතර භූමියට වැටේ මෙබදු රැකවරණ හා උවැසිය ගේ තුළ සිටින බව නිමිති කරගෙන එම සොරුන් අවකාශයක් නොලැබ මෙම ධර්ම දේශනය පැවති දින ඇය එහි ගිය බව දැන උමගක් සාදා ඊයම් හා යකඩ සංඝටක යට කොටසින් ගෙතුළට පිවිසියේය. යම් කිසි හෙයකින් සොරු ගෙට ඇතුල් වූ බව අසා හෝ දැන ධර්මය ඇසීම නවතා ගෙය දෙසට එන්නේ නම් පහර දී ඇය ඝාතනය කිරිම සදහා තව සොරෙකු එහි යැවීය. ඔහු ගොස් ඇය සමීපයේ සිටියේය. සොරුන් ද ඇතුළත ගෙයි පහන් දල්වා කහවණු ගබඩාවේ දොර විවර කළහ. එම දාසිය සොරුන් දැක උපාසිකාව බණ අසන තැනට ගොස් ආර්යාවනි බොහෝ සොරු පැමිණ කහවණු ගබඩාව අරින ලදී. යයි දැනුම් දුන්නාය. සොරු තමන් දුටු කහවණු ගනීවා මම මගේ පුතුගේ ධර්මය අසමි. මෙලෙස රිදී ගබඩාව විවරකළ විට ද රන් ගබඩාව විවරකළ විට ද දාසිය දැනුම් දුන්නේද තුන් වැනි වාරයේ ඇය පැමිණ දැනුම් දෙනවිට උපාසිකාව මගේ ගෙට ආ සොරු කැමති දෙයක් පැහැර ගනිත්වා අනතුරක් නොකරන්න. ඉදින් නැවත ආවොත් කළ යුතු දේ දනිමි. ගෙදරටම යනුයි දාසිය ගෙදර යැවුවාය. සොර දෙටුවා මේ කථාව අසා මෙබඳු කාන්තාවක් සතු වස්තුව ගැනීම අකුණු ගසා හිස සැලීමට සිදු වේයයි. සොරුන් වෙතට ගොස් උවැසියන්ගේ සියළු දේ තිබූ ලෙස ආපසු තබන්නැයි කිවේය. ඔවුන් කහවණු රිදී රන් ගබඩාවල ඒවා එලෙසම තැබුහ. මේ ධර්මතාවයි. ධර්මයේ ආනුභාවයයි ධර්මය ධර්මචාරින් ආරක්ෂා කරති.
දහම් හිම හැසිරෙන
දහමට අනුව නියැලෙන
අය රකිති දහමම
ඔව්හු අවුරති රුදු අවාමග
දැහැමියා දහමින් රැකේ. ධර්මය හැසිරුනේ සැප ඇති කරයි. මෙම අනුහසින් මැනවින් හැසිරුනේ ධම්මචාරියා දුගතියට නොමයන්නේය.
සොරුන් ද ගොස් ධර්මය දෙසන තැන සිටියහ. තෙරුන් ධර්මය දේශනාකර අළුයම ධර්මාසනයෙන් බැස්සාහ. එකෙනෙහි සොර දෙටුවා උවැසියගේ පාමුල වැටී ආර්යාවෙනි මට සමාවන්න ඇයි මේ දරුව, මම ඔබට ආඝාත බැඳ ඔබ ඝාතනය කිරීමට සිටියෙමි. එසේනම් දරුව මම සමාව දෙමි. අනෙක් සොරුන්ද එලෙසම පවසා දරුවන් සමාව දෙමියි ඔවුන් කීවාහුය. ආර්යාවනි ඉදින් අපට සමාව දෙන්නේනම් ඔබේ පුතු ළඟ අපට පැවිදි වීමට අවසර දෙන්න - ඇය පුතුට වැඳ මෙසේ කීවාය. දරුව මේ සොරු මගේ ගුණයෙන් ඔබගේ ධර්ම කථාවේත් පැහැදී පැවිද්ද ඉල්ලති මොවුන් පැවිදි කරන්නැයි පැවසුවාය.
තෙරුන් යෙහෙකැයි පවසා ඔවුන් විසින් අදින ලද වස්ත්‍ර දහයක් කපවා තඹවන් මැටිවලින් පාටකර ඔවුන් පැවිදි කරවා සීලයෙහි පිහිටුවුහ. උපසම්පන්න කාලයේදී ඔවුන් වෙන් වෙන් කරවා කර්මස්ථාන සියයක් ගෙන එක් පර්වතයකට නැගී ඒ ඒ ගසක සෙවනේ වාඩි වී ශ්‍රමණ ධර්ම කළාහුය යොදුන් එකසිය විස්සකට ඈත දෙව්රම වැඩ සිටියදීම එම භික්ෂූන් දෙස බලා ඔවුන්ගේ චරිත වශයෙන් ධර්ම දේශනා කොට ආලෝකයක් පතුරුවා ඉදිරියේ සිට කියන්නා සේ මෙම ගාථා පැවසුහ.
මෛත්‍රී විහාරී භික්ෂුව සසුනේ පැහැදී සංස්කාර දවා ශාන්ත පදයට පත්වේ.
1. යම් භික්ෂුවක් මෛත්‍රී විහරණ ඇත්තේද, බුදු සසුනේ පැහැදුනේ ද, ඒ භික්ෂුව සංස්කාර ධර්ම සංසිඳුවන්නා වු නිවන ලබන්නේ ය.
2. ශ්‍රමණය ! මේ ආත්මභාවය නමැති නැවේ මිථ්‍යා විතර්ක ආදී දිය ඉස දමන්න. ඔබ විසින් සිතා එසේ ඉස දමන ලද නැව (ආත්ම භාවය) සැහැල්ලු වී එන්නේ ය. රාග දෝස ආදී බැදුම් ද සිද දමා නිවනට පැමිණෙන්න.
4. ශ්‍රමණය, ධ්‍යාන වඩන්න. පමා නො වන්න. ඔබේ සිත කම්සැප විසයෙහි නො දුවවන්න. පමා වී ලෝහ ගුලි නො ගිලින්න. නිරය ගින්නෙහි දැවෙමින් මේ දුකකැයි නො අඩන්න.
5. නුවණ නැත්තාට ධ්‍යානයක් නැත. ධ්‍යාන නොවඩන්නාට ප්‍රඥාවක් නැත. යමෙකුට ප්‍රඥාව ද ධ්‍යනය ද ඇත්ද ඔහු ඒකාන්තයෙන් නිවන සමීපයේය
6. විවේක ඇති තැනකට පිවිසියාවු , නිවුනු සිත් ඇත්තාවු. ධර්මය, මනාකොට විමසා බලන්නාවූ මහණ හට පෘථග්ජන පුද්ගලයන්ට නැති ප්‍රීතියක් ඇති වේ.
7. යම් කලෙක පඤචස්ඛන්ධ හටගැනීම හා නැතිව යාම නුවණින් මෙනෙහි කරයි ද එසේ සිහිකරන හැම කල්හිම ඔහු ප්‍රීතිය හා සතුට ලබයි.
8. මේ සසුනෙහි නුවණැති භික්ෂුවට එහි මෙය මුල් වේ. ඉන්ද්‍රියන්ගේ සංවර යද, සතුටු වීම ද. ප්‍රාතිමෝක්ෂ සීල සංවරයද පිරිසිදු දිවි පැවැත්ම ද ඇති කුසීත නොවු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න.
9. පිළිසඳර පැවැතුම් ඇත්තෙක් විය යුතුය. යහපත් හැසිරීමෙහි සූරයෙක් විය යුතුය. ඒ හේතුවෙන් සතුට බහුල කොට ඇති ඔබ දුක් කෙළවර කරන්නේ කරන්නේය.
එහි මෛත්‍රී කර්මස්ථානයෙන් මෛත්‍රී කරන්නේ, මෛත්‍රී වසයෙන් තුන්වැනි සතරවැනි ධ්‍යාන උපදවා සිටින්නේ මෙත්තා විහාරි නම් වේ. පසන්නෙ - යනු යම් කිසිවෙක් බුද්ධ ශාසනයේ ප්‍රසන්න වේද, ප්‍රසාදයට පත් වේද යන අර්ථයි. පදං සත්තං - යනු මෙය නිර්වාණයට නමකි. මෙබඳු වු භික්ෂුව සන්නං සියලු සංස්කාරයන්ගෙන් සන්සිඳීම පිණිස සඞ්ඛාරුප සමං උතුම් සුවය පිණිස සුව ලැබුවාවූ නිවන් සුවය විදින්නේමය යන අර්ථයි. සිඤ්ච භික්ඛු ඉමං නාවං යනු ආත්මභාව සංඛ්‍යාත මිථ්‍යාවිතර්ක ජලය විසිකර දමා අනුපාදිසේස. නිබ්බාණමෙසී - නිවණට පැමිණියේ යන අර්ථයි. මතු දෙලොව සැපත් දෙන්නාවූ උද්ධමහාගියා සංයෝජන පස පුරුෂයකුගේ ගෙළෙහි බැදි රැහැනක් කපා හරින්නාක් මෙන් රහත් මගින් විනාශ කළ යුතුය. දුරුකළ යුතුය යන අර්ථයි.
ඉසින්න - සිත්තා තෙ ලහුමෙස්සති - යම්සේ මහසමුදුරේ නැව සිදුරු වු විට සිදුරු වසා දිය ඉස හිස්වුවිට සැහැල්ලුවෙන් මුහුදේ නොගිලි වේගයෙන් යහපත්සේ පටුනට ගමන් කරයි. එලෙසට මිථ්‍යා විතර්ක නැමති ජලය හැර ආත්මභාව නමැති නැව චක්ෂුර ආදී ඉන්ද්‍රීය සිදුරු සංවරය කරමින් වසාතබා උපන්නා වූ මිථ්‍යා විතරක් නමැති ජලය ඉස සැහැල්ලු ලෙස සංසාර වෘන්තය බිඳ දමා වහා නිවසට පැමිණෙන්නේය. ඡෙත්වා රාග දෝස ආදී බැදුම් සිඳ රහත් බවට පැමිණෙන්නේය, තතො අපරභාගයේ පඤ්ච ජහෙ - යට අපායට පමුණුවන ඕරම්භාගිය සංයෝජනයන් පාදයේ බැදී රැහැනක් සැතකින් කපාහරින පුරුසයකු මෙන් මාර්ගත්‍රයෙන් සිඳ දැමිය යුතුය. - (පඤ්චජහෙ) දෙලෝ සැපත් ආදිය දෙන පඤ්ඤ උද්ධම්භාගිය සංයෝජන ගෙල වැදි රැහැනක් මෙන් සිතා, අරහත් මගින් දුරු, කරව යනු අර්ථය.
පඤ්ච චුත්තරි භාවයෙ - යනු උද්ධම්භාගිය සංයෝජන ප්‍රහාණය පිණිස සද්ධාදී පඤ්ච ඉන්ද්‍රියන් මතු මඩන්නේ ය. පඤ්ච සඞ්ගාති ගො - මෙසේ ඇති කල්හි රාග - ද්වේශ, මෝහ මාන - දිට්ඨි ආදී වූ පස ඉක්මවු තැනැත්තා යි - භික්ඛු ඔසතිණෙණ - කාම භව, දිට්ඨි, අවිජ්‍ජා - යන සැඩ වතුර පහරින් එතෙර වූ තැනැත්තායි. ඣාය භික්ඛු ශ්‍රමණය ඔබ ධ්‍යාන දෙකෙහිම ධ්‍යාන කරන්න. කාය කර්මාදියෙහි අප්‍රමත්තවිය යුතුය ප්‍රමාද නොවන්න. භමස්සු - පඤ්චවිධ කාම ගුණයන් ඔබගේ සිත මැඩ නොපවත්වා, මා ලොහගුලන්ති - සිහි මුලාවෙන් යුත් ප්‍රමාදයට පත්වන තැනැත්තා නිරයේ මැටී ලෝහ ගුලි ගිලිත්. එනිසා මෙය කියමි. මා ප්‍රමාද වී නිරයේ ලෝහ ගුලි නොගිලීවා ඩයහමානො දුක්ඛමිදන්ති කන්දිති - දවනු ලබමින් දුක්විදිමින් හඩති යන අර්ථයි. නත්ථිඣානන්ති - ධ්‍යාන උපැදවීමට ප්‍රඥාවෙන් උත්සාහ කිරිම, අපඤ්ඤස්ස - දුෂ්ප්‍රාඥයාට ධ්‍යාන නොලැබේ. පඤ්ඤා නත්ථි අධ්‍යයනය කරන්නහුට "සමාහිතො භික්ඛු යථාභූතං ජාතාති” සමාහිත වූ සිත් ඇති භික්ෂුව යථාරූපය අවබෝධ කරයි. යන ස්වභාවය ඇත්තේ ප්‍රඥාව නැත්තැයි යමහි ඣානං පඤ්ඤාචාති යම් පුද්ගලයෙකු කෙරෙහි මේ දෙකරුණම ඇත්තේ ද හෙතෙම නිබ්බාණස්ස සන්තිකෙ - නිවණ සමීපයේ සිටියේය යන අර්ථයි - සුඤ්ඤගාරං පවිට්ඨ සසාති යනු කිසියම් විධියකින් විවෘත වූ අවකාශයේ කර්මස්ථාන ගෙන කර්මස්ථාන වැඩීම සඳහා හිඳින්නා වූ අයං සන්ත චිත්තස්ස යනු නිවුන සිත, ඇත්තහුව සම්මා - හේතු කාරණ සහිතව ධර්මය බලන්නෙකුට අමානුසී රතී - අෂ්ට සමාපත්ති සංඛ්‍යාත වූ ධර්මයන් උපදින්නේ ය යන අර්ථයි. යතො යතො සම්මසති - යනු අටතිස් අරමුණවල යෙදී සිටින්නේ ක්‍රියා කරන්නේ යම් යම් ආකාරයකින් පෙර බත පසු බත ආදී කාලයන්හි තම තමන්ට රුචිකර වූ කර්මස්ථානයන්හි කර්මස්ථාන සිහි කරන්නේ ද, උදයබ්බයන්ති පඤ්චස්ඛන්ධය පිළිබඳව ඇතිවීම හා නැතිවීම පිළිබඳ විසිපස් ලක්ෂණයන්, පීති පාමොජ්ජං - මෙසේ ස්බන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සම්මර්ශනය කරන්නේ, ධර්ම ප්‍රීතිය ධර්ම ප්‍රමෝදය ලබත්. අමතං යනු ප්‍රත්‍යය සහිත වූ නාම රූපයන් ප්‍රකට වීමෙන් උපදින්නා වූ ප්‍රීතිය අමෘත මහා නිර්වාණ සම්ප්‍රප්තිය පණ්ඩිතයන් විසින් අමත යන අර්ථයෙන් දැක්වේ. තත්‍රයාමාදී එහි මුල් පුර්ව පියවර වේ. ඉධ පඤ්ඤස්ස මේ සාසනයේ නුවණැති භික්ෂූන් දැන් මේ කියන ලද දේ පුර්වාමස්ථයේ දක්වමින් ඉන්ද්‍රියගුතති ආදිය කීහ. සිව් පිරිසිදු ශීලයෙහි පූර්ව අවස්ථාව ඉන්ද්‍රිය සංවරය වේ. සන්තුට්ඨි සිව් පසයෙහි සන්තෝසය ඒ මගින් ආජීව පාරි ශුද්ධ ශීලය හා ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය කියන ලදී. පාතිමොකෙඛ ප්‍රාතිමෝක්ෂය සංඛ්‍යාත වූ ජ්‍යෙෂ්ඨ ශීලය පරිපුර්ණ කළයුතු බව කියන ලදී. මිත්තෙ භජස්සු කල්‍යාණෙ - විෂම ක්‍රියාකාරිකම්වල යෙදෙන නුසුදුසු සහායකයන් හැර දමා, යහපත් ජීවිතය සඳහා - සුද්ධාජීවෙ - පුරුෂ ධෛර්යයෙන් යුක්තව කුසීත රහිත ජීවත්වීම සඳහා, අතන්දීතෙ - කලණ මිතුරන් සේවනය කළ යුතුය යන අර්ථයි. පටිසත්ථාරා චුත්තස්සන්ති - ආමිස පටිසත්ථාර ධම්ම පටිසත්ථාර යන පටිසන්ථාරා කාර්යයන් වැඩිය යුතුයි යන අර්ථයි. ආචාර කුසලො - සීල ආචාර වත් පිළිවෙත් පිරීමේ ආචාර ආදී කුසල් රැස් කිරීමෙහි දක්ෂයෙකු විය යුතුය. තතො පාමොජ්ජ බහුලො - පටිසන්ථාරයන්හි යෙදුනේද, ආචාර කුසල තාවයන්හි වඩන්නවුන් විසින් ද, ධර්මප්‍රමෝද්‍යයෙන් ප්‍රමෝදයට පත්වී සියළු වට්ට දුක්ඛ සස අනතං කරිස්සති සියලු සංසාර වෘතයගෙන් වෙන් වූ නිවන් දකි යන අර්ථයි.
මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ගාථාවල එක් එක් ගාථා වෙන් සිව්පිළිසිඹියා පත් රහත් බවට පැමිණ අහසට නැගී ඒ සියළුම භික්ෂූන් අහසෙන් එකසිය විසි යොදුන් කාන්තාරය ඉක්මවා බුදුරදුන්ගේ රන්වන් සිරුර වර්ණනා කරමින් ස්තුතිකරමින් වැන්දාහුය.