න මුණ්ඩකෙන සමණො අබ්බතො අලිකං භණං
ඉච්ඡාලොභසමාපන්නො සමණො කිං භවිස්සති.
ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි. (අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.)
යො ච සමෙති පාපානි අණුංථූලානි සබ්බසො
සමිතත්තා හි පාපානං සමණො’ති පවුච්චති.
යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ.
"න මුණ්ඩකෙන සමණෝ" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.
ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ "තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි"කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. "තීර්තකයෝ මට බියෙන් නො පැමිණියෝය” ඔවුන්ට පරාජය වේයි මේ ආදිය කියා වාදයට එළඹෙමින් තැන තැන හැසිරෙමින් සිටියි.
ශාස්තෲන් වහන්සේ "හත්ථක” මෙසේ කරන්නේයයි අසා ඔහුව කැඳවා ඇත්තද ඔබ මෙ ලෙස ක්‍රියාකරන බව ඇත්තක් දැයි විමසුහ. ඔහු එය ඇත්තකැයි පිළිගත් විට ඇයි ඔබ එලෙස කරන්නේ, මෙබඳු බොරු කරනෝ හිස මුඩුකිරීම් ආදියෙන් පමණක් ශ්‍රමණයෙක් නොවේ. යම් කෙනෙක් ලොකු හෝ කුඩා පව් නොකොට සිටියේ නම් වේයයි පවසා මේගාථාව පැවසුහ.
වත් ගුණ නොමැති ලාබයටම කියන බොරු
ආසාවෙන් වැඩී යසිසුරු සොයන සරු
හිස මුඩුකොට පමණකින් කහ සිවුරු දැරූ
මහණෙකු නොවේ. ඔහු මේ බුදු සසුනෙ ගරු
හිස මුඩුකිරීම් පමණකින් මහණක් නොවේ. ධුත ගුණයක් නැති බොරු කියන ආශාවෙන් හා ලෝභයෙන් යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නේද? යම් භික්ෂුවක් කුඩාවුද මහත්වූද පව්කම් සම්පුර්ණ යෙම සන්සිඳුවාද පව් සංසිඳවූ හෙයින්ම ඔහු ශ්‍රමණ යයි කියනු ලැබේ.
එහි මුණ්ඩකෙන - යනු හිස මුඩු කළ පමණින් නම් හිස මුඩුකිරිමයි. අබ්බතො නම් සිල්වත් බවින්ද. ධුත දැරීමෙන්ද වෙන් වීමයි. අලිකං බොරු කියන්නාවු, නො පැමිණි අරමුණු කෙරෙහි ආශාවෙන් පෙළුණු තැනැත්තාද ශ්‍රමණයෙක් නොවේ. සමෙති යනු යමෙක් ස්වල්පවූ හෝ මහත්වූ හෝ පව් සංසිඳවයිද ඔහු එසේ සංසිඳවීම නිසා යයි කියනු ලැබේ.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.