න තෙන භික්ඛු හොති යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය, භික්ඛු හොති න තාවතා.
යම් පමණෙකින් අනුන් සිඟා ද (හෙවත් යම් කාරණයෙකින් අනුන් ගේ දොර දොරැ සිට සිඟා ද) එ කරුණින් භික්‍ෂු නම් නො වෙයි. විෂම වූ පාපධර්‍ම සමාදන් වැ (නො හොත් දුගඳ වහනය කරණ කායකර්‍මාදිය සමාදන් ව) වසන්නේ ඒ (දොර දොරැ සිටැ සිඟන) පමණෙකින් භික්‍ෂු නම් නො වේ.
යො’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච බාහෙත්‍වා බ්‍රහ්මචරියවා
සඞ්ඛාය ලොකෙ චරති ස වෙ භික්ඛූ’ති වුච්චති.
මෙ සස්නෙහි යම් මහණෙක් කුසල් ද අකුසල් ද යන දෙකම (මඟබඹසරින්) දුරු කොට, මඟබඹසර ඇත්තේ (ස්කන්‍ධාදි) ලෝකයෙහි සර්‍ව ධර්‍මයන් නුවණින් සලකා හැසිරේ ද (හෙවත් මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධයහ මොහු බාහ්‍යස්කන්‍ධයහ යි සියලු ධර්‍මයන් දැන වෙසේ ද), හෙ තෙම ඒකාන්තයෙන් (මඟනුවණින් බුන් කෙලෙස් ඇති හෙයින්) භික්‍ෂු යැ යි කියනු ලැබේ.
"න තෙන භික්ඛු හොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩි සිටියදී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි බැහැර ආගමක පැවිදිවී භික්ෂාවෙහි හැසිරෙන්නේ මෙලෙස සිතුවේය. භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්‍ෂාව හැසිරෙන හෙයින් භික්ෂුයයි කියන්න වටි. ඒ අනුව මට ද භික්ෂුව කියා ඇමතීම වටින්නේය. හේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මම ද භික්ෂාව උදෙසා හැසිරෙන හෙයින් අපට ද භික්ෂු වශයෙන් අමතන්නැයි පැවසුවේය. බ්‍රාහ්මණය මම - පිඬුසිඟායාම පමණකින් භික්ෂුවක් වශයෙන් නො හඳුන්වමි. මෙහි යම් ධර්මයක් සමාදන්ව පවතින තැනැත්තා භික්ෂුවක් නම් වේ. යම්කෙනෙක් සියලු සංස්කාරයන්හි සැක සහිතව හැසිරේද ඔහු භික්ෂුවයයි පවසා මේ ගාථාව පැවසුහ.
සියලු පව් අත්හැර
අහිංසා පෙරදැරිවම
සන්සිදුනු සිත ඇති
අයම මහණෙක් නමැයි පවසතී
යම් කෙනෙක් අන් අයගෙන් පිඬුසිඟා යන්නේද එපමණනකින් භික්ෂු නම් නොවේ. විෂම වූ පාප ධර්මය අදහා ගෙන කාය කර්මාදිය සමාදන්වී වසන තැනැත්තා භික්ෂු නොවේ. මේ සසුනෙහි යමෙක් කුසල් අකුසල් දෙක බැහැර කොට බඹසරින් යුක්ත වේද ලෝකයෙහි නුවණින් හැසිරේද? ඒකාන්තයෙන් ඔහු භික්ෂුයයි කියමි.
එහි යාචතා යනු යම් පමණකින් පරෙභික්ඛතෙ ඒ පිඬු සිඟා යාම් පමණකින් භික්ෂු නම් නොවේ. විස්ස යනු විෂම ධර්මය විෂම ගන්ධය හෝ කාය කර්මාදී ධර්ම සමාදන්වී හැසිරෙන්නේ භික්ෂුනම් නොවේ. යොධාති යනු යමෙක් මේ ශාසනයේ පුඤ්ඤං පාපංච, පින් පවු දෙකම බැහැරකොට මග්ග බ්‍රහ්මචරියෙන මාර්ග බ්‍රහ්ම චරියාවෙන් බ්‍රහ්මචාරි වේද සඞ්ඛ්‍යාත නුවණින් - ලොකෙති - ස්ඛන්ධාදිලොව මේ ආධ්‍යාත්මික ස්ඛන්ධයි මේ බාහිර ස්ඛන්ධයි යනුවෙන් මෙලෙස සියළු ධර්ම දැන හැසිරේ ද ඔහු මෙකී නුවණින් කෙලෙස් බිඳුන හෙයින් භික්ෂු යනුවෙන් හැදින්වේ. යනු අර්ථයි.
දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.