අයසා’ව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමෙව ඛාදති
එවං අතිධොනචාරිනං සකකම්මානි නයන්ති දුග්ගතිං.
යකඩින් ම නැංගාවූ මලය එයින් ම නැඟ එය ම යම් සේ කා ද, එසේ ම සිවුපසය පස් විකා පරිභෝග කරණ ප්‍රඥායෙන් ඉක්මුනුහු (හෙවත් පසය නොපස්විකා වළඳන මහණා) ස්වකීය ඒ පාපකර්‍මයෝ දුගතියට පමුණුවන්නාහ.
"අයසාව මලං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටියදී තිස්ස නම් වූ තෙරනමක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවරවාසී එක් කුල පුත්‍රයෙක් පැවිදි වී උපසම්පදා වුයේ තිස්ස තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු පසුකාලයේදී ජනපද විහාරයක වස් සමාදන් වුවේ අටරියනක් වු මහ සළුවක් ලැබ වස් පවරා එය රැගෙන ගොස් සොහොයුරියගේ අතේ තැබීය. ඇය මේ සලුව සහෝදරයාට නොගැළපේයයි එය තියුණු දැලි පිහියකින් සිඳ තීරු තීරු බවට පත් කොට වනේ කොටා වෙන්කර පෙළා වට කොට සියුම් නුල් බවට පත්කර කැට සළුවක් මැසීය. තෙරුන් ද නුල් හා ඉදිකටු ද සපයා සිවුරු මසන තරුණ භික්ෂූන් කැඳවා සොහොයුරිය වෙතට ගොස් මට ඒ සළුව දෙන්න. සිවුරක් මසමියි පැවසුවේය. ඈ නවරියන් සළුව බැහැර කොට කණිටු සොහොයුරාගේ අතේ තැබුවේය. ඔහු එය ගෙන විසුරුවා බලා මගේ සළුව මහත්ය රියන් අටකි. මෙය සියුම්ය රියන් නවයකි. මෙය මගේ සළුව නොවේ. මෙය ඔබගේය මට මෙයින් වැඩක් නෑ. ඒ මගේ වස්ත්‍රයම දෙන්නැයි ඉල්ලීය ස්වාමීනි මෙය ඔබේමය ගන්නැයි පැවසුවාය. එම භික්ෂුව එයට කැමති නොවීය. අනතුරුව තමන් කළ සියළු දෑ දැනුම් දී ස්වාමීනි මෙය ඔබවහන්සේගේය ගන්නැයි පැවසුවේය. තෙරුන් එය විහාරයට ගොස් සිවුර කිරීමට තැබීය. අනතුරුව සොහොයුරිය සිවුර මසන අයට කැඳබත් ආදිය පිළියෙළ කළාය. සිවුර නිමකරන දින අතිරේක සත්කාර කළාය. ඔහු සිවුර දෙස බලා එහි හටගත් සෙනෙහෙ ඇත්තේ මෙය හෙට පොරවන්නෙමියි ගෙන සිවුරු දමන උණ ලීයේ දමා සිටියදී එදින රාත්‍රියේ අජිරණයක් සැදී කළුරිය කොට එම සිවුරේ හිණි කුනෙකු වී ඉපදුනි.
සොහොයුරිය ද උන්වහන්සේගේ අපවත්වීම අසා භික්ෂූන් ගේ පා ළඟ වැටී හැඬුවාය. භික්ෂූන් වහන්සේලා අපවත් වු හිමියන්ගේ දේහය අදාහනය කළහ. පසුව උපස්ථායකයෙක් නොසිටි නිසා මේ සිවුර සංඝයාට අයත් වේ මෙය දෙමියි, සිවුර ගෙන ගියහ. ඒ ගිණි කුණා මොවුන් මා සන්තකවු සිවුර පැහැර ගනිතිය කෑගසමින් ඔබ මොබ දුවත්. බුදුහු ගඳ කිළියේ සිටිමින්ම දිවකනින් මේ ශබ්දය අසා ආනන්ද තිස්ස තෙරුන්ගේ චීවරය සත්දිනක් එක් තැන තබන්නට නියම කරන ලෙස පැවසුහ. තෙරුන් වහන්සේ එසේ කළහ. හිණි කුණා ද සත්වන දිනයේ කළුරිය කොට තුසිත විමානයේ පහළවිය. බුදුහු අටවැනි දා තිස්ස තෙරුන්ගේ සිවුර බෙදා ගන්නැයි අණකළහ. භික්ෂූන් වහන්සේලා එසේ කළහ. භික්ෂූන් වහන්සේලා කථාවක් ඉපිදවුහ. තිස්ස තෙරුන්ගේ සිවුර දින හතක් තබා අටවැනි දිනයේ ගන්නට බුදුරජාණන් වහන්සේ නියම කළේ කුමක් හෙයින්ද? මෙහිදී තථාගතයන් වහන්සේ පැමිණ මා ඒමට පළමුව කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසුහ. කථාව අසා මහණෙනි මම දින හතක් එම සිවුර තබන්නට නියම කළේ තිස්ස තෙරුන් අපවත්වී හිණිකුනක් වී සිවුරේ ඉපදී ඔබ සිවුර බෙදන විට කෝපයෙන් කෑගසමින් දුවනවා ඇසූ නිසාය. හිණිකුණාගේ සිත කෝපවී මනස දුෂ්‍ය ව නිරයේ උපදින හෙයින් සිවුර දින හතක් තබන්නට නියම කළෙමි. දැන් ඔහු තුසිත දෙව්ලොව පහළ වුනි. එනිසා අටවැනි දිනයේ දී ඔබට සිවුර ගැනීමට අවසර දුන්නෙමි. පැවසුහ. එවිට භික්ෂූන් වහන්සේලා ස්වාමීනි තණ්හාව නම් බැරෑරුම්ය. යම්සේ යකඩයක මළ බැදී එයම කාදමයි ද එලෙසම මේ තෘෂ්ණාව මේ සත්වයාගේ ඇතුළත හටගෙන ඒ ඒ සතුන් නිරය ආදියෙහි පහළකරවයි. විනාශයට පත් කරවයි යනුවෙන් පවසා මේ ගාථාව දේශනා කළහ.
යකඩින් මැවූ මළ - යකඩම නසයි හැම කල
පව් කම් තමන් කළ - සසර දි දෙයි තමන්ටම පල
එහි අයසාති යනු යකඩින් - ඇතිවු - මළ එයින්ම ඇතිවී අතිධොනවාරිති - සතර ප්‍රත්‍යයෙන් මෙයින් ප්‍රත්‍යවේකර පරිභෝග ප්‍රඥාව ඉක්මවා හැසිරෙන්නේ අතිධොනවාරිති නම්වේ. යකඩින් ඇති වන මළ එයම කන්නා සේ සිව්පසයේ ප්‍රත්‍යවේක්ෂා නොකර පරිභෝග කරන්නේ තමන් කළ කර්මයෙන් තමන්ට දුගතියට ගෙනයයි යන අර්ථයි. දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ගඵලයන්ට පත්වුහ.