18-2 එක්තරා බ්‍රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත

අනුපුබ්බෙන මෙධාවී ථොකථොකං ඛණෙ ඛණෙ

කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො.

(ධර්මොජස්ප්‍රඥායෙන් සමන්‍විත) ප්‍රාඥ තෙම ක්‍ෂණක්‍ෂණයෙහි (ලද ලද අවකාශයෙහි) මඳ මඳ කොට කරන්නේ, ස්වර්‍ණයේ ආගන්තුක වූ කෘත්‍රිම දෝෂ දවන රන්කරුවෙකු මෙන්, තමාගේ කෙලෙස්මල දුරු කරන්නේ ය.

"අනුපුබ්බෙන" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.

ඔහු එක් දිනක් උදයේම නික්මී භික්ෂූන් සිවුර පොරවන තැන භික්ෂූන් සිවුරු පොරවන අයුරු බලමින් සිටියේය. එම ස්ථානය තණකොළ වැඩුන තැනක්විය. ඉක්බිති එක් භික්ෂුවකගේ සිවුරු කොන තණ මත වැටී දියබිඳුවලින් තෙමුණි. බ්‍රාහ්මණයා මෙම ස්ථානය තණ කොළ ඉවත් කිරීම වටීයයි දෙවන දින උදැල්ලක් රැගෙන ගියේ එම ස්ථානය සැස තණ ඉවත් කළ කමතක් සේ කළේය. දෙවන දවසේ පැමිණ භික්ෂූන් සිවුර පොරවන විටදී එක් සිවුරු කොනක් බිම වැටී පස් හැවීම දුටු නිසා මෙහි වැලි විසුරුවිම වටීයයි සිතා වැලි ගෙන අවුත් විසුරවාලීය. ඒ අතර දිනක් පෙරවරුවේ සැඩ හිරුඑළිය වැටුනි. එදින ද භික්ෂූන් සිවුරු පෙරවන විට භික්ෂූන්ගේ සිරුරේ දහඩිය පෙරෙනු දැක මණ්ඩපයක් කිරීම වටීයයි සිතා මණ්ඩපයක් කළේය. නැවත දිනෙක අළුයම වැස්සක් පතිතවුනි. අහස වැහි වළාකුළුවලින් බරිත විය. එදිනද බමුණා භික්ෂූන් බලා මෙහිද සාලාවක් කිරීම සුදුසුයයි සිතා ශාලාවක් කරවා මෙම ශාලාවේ උත්සවයක් කරන්නෙමියි සිතා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කර ඇතුළ ද පිටත ද භික්ෂූන් වාඩි කරවා දන් දී බත්කිස අවසන අනුමෝදනා සඳහා බුදුන්ගේ පාත්‍රය ලබාගෙන ස්වාමීනි මම භික්ෂූන් වහන්සේලා සිවුරු පෙරවන අවස්ථාවේදී මෙතැන බලමින් සිටියේ මේ කරුණු දැක මේ මේ දේ ඉටු කළෙමිය මුලසිට සියළු පුවත්. දැක්වීය. බුදුහු ඔහුගේ වචන අසා බ්‍රාහ්මණ පඬිවරයා ටිකෙන් ටික ක්‍ෂණයක් පාසා කුශල් කරමින් පිළිවෙළින් තමන්ගේ අකුශල් මුල් බැහැර කරන්නේ යයි පවසා මේ ගාථාව දෙසුහ.

රත්කම් කරන රත්කරු දවසකින් එක

රන් මාලයක් නො තනන මෙන් රුවන් රැක

පින්කම් කරන විට කරමින් ටිකින් ටික

නැණවත් ගතිය අකුසල් මුල් නසන එක

නුවණැත්තා පිළිවෙලින් ටික ටික රන්කරු රිදියේ කිළිටි හරින්නාක් මෙන් තම අකුශල දුරුකරයි.

එහි අනුපුබ්බේන යනු පිළිවෙලින් මෙධාවිනි ධර්මයේ නුවණින් යුතු ක්ෂණයක් පාසා කුසල් කරයි. තමාගේ රජත සෙස්වා රන් කරුවා එක්වරම රන් රත්කොට තලා කිළිටි වෙන්කර පළඳනාවක් කිරීමට සමත් නොවේ නැවත නැවත තවමින් තලමින් මළ බැහැර කරයි. ඉන් අනතුරුව අනේකවිධ පළඳනා කරයි. මේලෙසට නැවත නැවත කුසල් කරන්නේ නුවණැත්තා තමන්ගේ රාගාදි මළ බැහැර කරන්නේය. මෙසේ බැහැර කළ මළ ඇති තැනැත්තා කෙලෙස් නැති බවට පත්වේ යන අර්ථයි. දෙසුම අවසන බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. මහජනයාට ද මේ ධර්ම දේශනය සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.