18-1 ගොඝාතක පුතුගේ කථා පුවත

පණ්ඩුපලාසො’ව දානි’සි යමපුරිසා’පි ච තං උපට්ඨිතා.

උය්‍යොගමුඛෙ ච තිට්ඨසි පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.

දැන් (සිඳි බිමැ හුනු) පඬු පැහැ පරණලා පතක් මෙන් විහි. යමදූතයෝ ද තට එළැඹ සිටියහ. (හෙවත් මරණය තට එළැඹ සිටියේ ය). පරිහානිමුඛයෙහි ද සිටියෙහි ය. පරලොව යන තට කුසල් නැමැති මාර්ගෝපකරණයෙකුදු නැත්තේ ය.

සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව

නිද්ධන්තමලො අනඞ්ගණො දිබ්බං අරියභූමිමෙහිසි.

ඒ තෝ තමහට (නැව බුන් කල්හි පිහිට වන) දිවයිනක් (මෙන් කුසල් නමැති පිහිටක්) කරව. (කරන්නෙහි දු) වහා වෑයම් කරව. (එහි ලා) නුවණැති වව. (සන්තානයෙන්) පහ කළ රාගාදි මල ඇත්තෙහි, එහෙයින් ම රාගාදී අඞ්ගණ නැත්තෙක් වූයෙහි, දිව්‍යානුභාව ඇති (නොහොත් ශෝභාවත්) ආර්‍ය්‍යභූමියට (හෙවත් ශුද්ධාවාසයට) පැමිණෙන්නෙහි ය.

උපනීතවයො ච දානි’සි සම්පයාතො’සි යමස්ස සන්තිකෙ

වාසො’පි ච තෙ නත්‍ථි අන්තරා පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.

දැන් තෝ ගියා වූ වයස් ඇත්තෙහි ද වෙහි. (තුන් වයස් ම ඉක් මැ) මරුමුවෙහි සිටියෙහි. යමයා සමීපයට (මරුමුවට) යන්නට සැරැසී සිටියෙහි. තට අතුරෙහි වාසයකුදු නැත. පරලොව යන තට අතරමඟ ලැග්මෙකුදු නැත. තට මාර්ගෝපකරණයෙකුදු නැත.

සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව

නිද්ධන්තමලො අනඞ්ගණො න පුනං ජාතිජරං උපෙහිසි.

හේ තෝ තමහට පිහිටක් කරව. වහා වීර්‍ය්‍ය කරව. කුසල් කිරීමෙහි නුවණැති වව. දුර ලූ රාගාදි මල අත්තෙහි, එ හෙයින් ම (රාගාදි) අඞ්ගණ නැත්තෙහි, නැවත ජන්මජරාව්‍යාධිමරණයනට නො පැමිණෙන්නෙහි ය.

"පණ්ඩු පලාසොව දානිසි" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී එක් ගවඝාතකයකු ගේ පුත්‍රයෙකු නිමිති කරගෙන දෙසුහ.

සැවැත් නුවර එක් ගවඝාතකයෙක් ගවයන්ට වධ දී මරමින් රසවත් මාංශ ගෙන උයවා අඹුදරුවන් සමග වාඩිවී මස් කන්නේය. ඉතිරි මස් මිලකොට විකුණයි. ඔහු මෙලෙස අවුරුදු පනස් පහක් ගවඝාතනය කරමින් අසල විහාරස්ථානයේ බුදුරදුන් සිටියදී එක දිනක් හෝ හැන්දක් පමණවත් කැඳවත් නොදුනි. ඔහු මස් නොමැතිව බත් අනුභව නොකරයි.

ඔහු එක් දිනක් දවල්කල මස් විකුනා තම ප්‍රයෝජනය සඳහා පිසීම සඳහා මස් කැබැල්ලක් බිරිඳට දී නාන්නට ගියේය. මේ අතර සහායකයෙක් ගෙට පැමිණ බිරිඳට මෙසේ කීවේය. විකිණීමට ඇති මස්වලින් ටිකක් මට දෙන්න. මගේ ගෙට ප්‍රමාණවත් පමණි ලැබෙන්නේ. විකිණීමට මස් නැත. ඔබේ සහායකයා මස් විකුණා දැන් නෑමට ගියේය. මට එසේ නොකරන්න මස් කුඩක් තිබේනම් එය මට දෙන්න. ඔබේ සහායකයාට තබන ලද මස් හැර වෙනත් මස් නැත. මස් නොමැතිව ඔහු ආහාර ගනේන්ද නැත. ඒ මස්ටික නොදෙමියි කීවිට ඒ මස් ටික සම්පූර්ණයෙන් ඔහු විසින්ම රැගෙන ගියේය. ගෝතකයාද නා ගෙන ආවේ ඇය විසින් පිසින ලද කොළ සමග ඔහුගේ බත බෙදා දුන්විට මස් කොයිදැයි විමසුවේය. ස්වාමීනි නැත. මම ඉවීම සඳහා මස් දී ගියා නොවේද? ඔබේ මිතුරා පැමිණ තුටු පඬුරකට විකිණිය යුතු මස් තිබේ නම් දෙන්නැයි ඉල්ලා සිටියේය. මස් නැති බවත් ඔබට පිසීම සඳහා දුන් මස් ටික පමණක් ඇති බවත් මස් නොමැතිව ඔබ නොකළ නිසා එය දෙන්නට නොහැකි බවත් පැවසුවිට. ඔබ දුන් මස් ටික ඔහු විසින් බලහත් කාරයෙන්ම රැගෙන ගියේ යයි පැවසුවාය. මස් නොමැතිව "මම බත් නොකමියි” එය ගෙන එන්න. ස්වාමීනි කෙසේ කරන්නද මේ බත් කන්නැයි කීවාය. මම නොකමියි ඒ බත් බැහැර කොට ආයුධයක් ගෙන ගේ පසුපස සිටි ගොනා සමීපයට ගොස් කට තුළට අත දමා දිව

දිව මුලින්ම කපා ගෙන ගොස් ගිනි අඟරුවල පුළුස්සා බත් පතටත තබා එක බත් පිඬුවක් අනුභව කොට එක මස් කැබැල්ලක් කටේ තැබුවේය. එකෙනෙහිම ඔහුගේ දිව කැඩී බත් පතට වැටුනි. එකෙනෙහිම කළ කර්මයට සමාන විපාකයක් ලැබුනි. ඔහු ගොනා මෙන් ලේ ධාරා මුවෙන් ගලමින් ගෙතුළට පිවිසියේ දණින් වැටී දණගාමින් මහහඬ තැලුවේය. මෙවිට ඒ ගෝඝාතකයාගේ පුතු පියා දෙස බලමින් ආසන්නයේ සිටියේය. මෙවිට මව මෙසේ කීවාය. බලන්න පුත මේ තැනැත්තා ගොනෙකු මෙන් දණගාමින් මහඬින් විලාප කියයි. මේ දුක ඔබ මතද වැටෙන්නේය. මා ගැන ද නොබලා තම යහපත කරගනිමින් පළායන්න. ඔහු මරණ බියෙන් තැතිගත් මවට වැඳ පළා ගියේය. එසේ පළාගොස් තක්ෂිලාවට පැන ගියේය. ගවඝාතකයා ද එසේ හඩතලමින් මැද දණගා ඇවිදිමින් සිට මැරි අවිචියෙහි උපනි. ගොනාද මැරුණි. ගවඝාතකගේ පුතු තක්ෂිලාවට ගොස් රන්කරු කර්මාන්තය උගත්තේය. අනතුරුව ඔහුගේ ගුරුවරයා ගමනක් යද්දී මෙබඳු අලංකාර ආභරණයක් කරන්නැයි කියා ගියේය. ඔහුද එබඳු අලංකාරයක් කළේය. අනතුරුව ඔවුන්ගේ ගුරුවරයා එය දැක මොහු කොහේ හිටියත් ජීවත් වීමට සමතෙක් වෙතැයි වැඩිවියට පත්වීසිටි තම දියණියන් ආවාහ කොට දුන්නේය ඔහු දූ පුතුන් සමග වැඩුනි.

අනතුරුව ඔහුගේ පුත් වැඩී ශිල්ප හදාරා පසුකලෙක සැවැත් නුවරට ගොස් එහි ගෙයි වසමින් සිටින්නේ ශ්‍රද්ධාවත් පැහැදුන කෙනෙක් විය. පියා ද තක්ෂිලාවේදී කිසිදු කුශලයක් නොකරම ජරාවට පත්විය. එහිදී ඔහුගේ පුතු මගේ පියා දැන් මහළුයයි තමන්ගේ ළගට කැඳවා පියා වෙනුවෙන් දනක් දෙන්නෙමියි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළහ. දෙවැනි දවසේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වාඩි කරවා මැනවින් වළඳවා බත්කිස අවසන බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි අප විසින් මේ ජීවදානය දෙන ලදී. පියාට අනුමෝදනා කරන්න. බුදුහු ඔහු අමතා උපාසකය ඔබ මහළු වු මුහුකුරාගිය පඩරැලන්සේ වු ශරිර ඇත්තෙකි. ඔබගේ පරලොව ගමන සඳහා කුශල් රැස් කිරීමක් නැත. තමා පිහිටකොට ගන්න. නුවණැත්තෙක් වන්න. බාලයෙක් නොවන්නැයි පවසා අනුමෝදනා කරන්නේ මේ ගාථාව පැවසුහ

ගැළ වී වැටෙන්නට ළං වුණු ඉදී වැටී

කොළයක් ලෙසට ඔබ මරණය ළගම සිටී

හරණට ගිමන් එහි යන විට තැනක වැටී

නිවසක් නොමැත, මග උවරණ ගැනුම වටී.

තමනට තමන්මය කරගෙන නිති පිහිට

දන්නා බණදහම් නුවණැත්තකු ලෙසට

යළි ඉපදුම, ජරා විය. මරණය කුමට

මග උපකරන ගෙන යනු මැන බඹ ලොවට

දැන් පණ්ඩුපලාස වැන්න යමපුරිසයෝ ද එළඹ සිටිති. පරලොව යැම සඳහා මාර්ගෝපකරණ ද දැන් ඔබට නැත. තමන්ට තමන් පහනක් කරගන්න මහා උත්සාහයෙන් නැණවතෙක් වන්න කෙලෙස් රහිතව මල රහිතව ආර්ය භූමියට පත්වන්න.

පණ්ඩුපලාස නම් - උපාසකය ඔබ දැන් බිඳී බිම පතිතවූ වියළි කොළයක් වැන්න. යමපුරිසා - යමදුතයෝයි මෙය මරණය සඳහා කියන ලදී. ඔබට මරණය ළගාවී ඇත. උයොගමුඛෙති - පරිහානි මුඛෙ පරිහානියට ලංවි සිටී. පාථෙය්‍ය නම් ගමනක යෙදෙන්නට සහල් ආදිය මාර්ග උපකරණ අවශ්‍ය වනසේ පරලොව යන විට කුශල්මය වූ මාර්ග උපකරණ නැත යන අර්ථයි. සො කරොහි - ඔබ මහසයුරේ නැවක් බිඳුන විටදී දිවයිනක් සොයන්නාසේ තමන්ට කුශල ප්‍රතිෂ්ඨා කරගන්න. වහා උත්සාහ කරන්න වහවහා විර්ය කරන්න තමන්ට කුශල් කර ගැනීමේ දක්‍ෂව නුවණැත්තෙක් වන්න. කුශල් නොකරන බාලයෙක් නොවන්න. දිබ්බං අරිය භූමි යනු මෙසේ වීර්යය කරන්නේ රාගාදි කිළිටි නොමැති හෙයින් නැතිවු කෙලෙස් ඇත්තේ පඤ්චවිධ සුද්ධාවාස භූමියට පැමිණේ යන අරුතයි.

දේශනය අවසානයේ උපාසක තෙමේ සෝවාන් ඵලයට පත්විය. පැමිණියවුන්ට ද දේශනා සාර්ථක විය. ඔවුහු දෙවන දවස් හිද බුදුන්ට ආරාධනාකර දන්දී බත්කිස අවසන බුදුන්ට අනුමෝදනය කරනවිට කීවාහුය. ස්වාමීනි මෙය ද අපගේ පියාගේ ජීව දානයයි. මොහුටම අනුමෝදනා කරනුමැනව. බුදුහු ඔහුට අනුමෝදනා කරන්නේ ගාථා දෙකක් පැවසුහ.

  1. ඔබ දැන් ඉක්ම ගිය කල් වයස් ඇත්තේය. මරණයට සමීප වී සිටී. පරලොව යන අයට අතරමග නැවතීමක් නැත. ඔබට මග වියදම් ද නැත.
  2. ඒ ඔබ තමන්ට පිහිටක් කරගන්න. නුවණැත්තෙක් වී මහා වෑයම් කරන්න. කෙලෙස් නැත්තෙක්ව නැවත ඉපදීමට හෝ ජරාවට පත් නොවීමට වෑයම් කරන්න.

එහි උපනීතවය නම් උපාති නිපාත පදයකි. ගතවු වයස් ඇත්තේ ඉක්මගිය වයස ඇත්තේ ඔබ දැන් තුන් වයසට ඉක්මවා ඇත. මරණ දොරටුවට එළඹ ඇත. සම්පයාතොසි යමස්ස සන්තිකං මරණ මුඛයට යාමට පැහැදුන කෙනෙක් ලෙසට සිටින්න යන අරුතයි. වාසොපි ච තෙ නත්ථි අන්තරායාති යම්සේ මඟට යන්නෝ ඒ ඒ කෘත්‍ය කරන්නේ අතරමග පරලොව යන අයට නවතින්න ටික දිනක් මෙහි නැවතී දන්දීම ධර්මය ඇසීම ආදිය කිරිමට නො හැකිය. පාථෙය්‍යං උපාසකයාට දැඩි ලෙස අදහස් ඇතිකරලීම සඳහා දෙවරක් පවසන ලදී. රජු තමන්ගේ මුව පමණට කබලිඞ්කාර ආහාර ගත්විට එම කුමරු ඔහුගේ මුවට සරිලන සේ ගනී. මෙලෙස බුදුන් උපරිම වශයෙන් ධර්මය දේශනා කරන විට උපාසක තමගේ උපනිශ්‍රය බලයෙන් යට සෝවාන් ඵලයට පත්ව මෙම අනුශාසනය අවසානයේ අනාගාමී ඵලයට පැමිණියේය. අනෙක් පිරිසට ද දේශනය ප්‍රයෝජනවත් වීය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.