ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති හිත්‍වා ජයපරාජයං.
මෙරමා දනන්නේ (හෙවත් දූකෙළීම් ආදියෙන් අනුන් පරදවන්නේ), වෛර උපදවයි. (වෛරීන් ඇති කෙරෙයි). අනුන් විසින් දිනන ලදුයේ දුක සේ වසයි. කෙලෙස් සංහිඳුණු ක්‍ෂීණාස්‍රව තෙම දිනුම් පැරදුම් දුරලා සුව සේ වසයි.
"ජයං වෙරං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී කොසොල් රජුගේ පරාජයවීමක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ රජු කාසි ගම නිසා බෑනා වූ අජාසත් කුමරු සමග යුද්ධ කර ඔහු විසින් තෙවරක්ම පරාජය කරන ලද්දේ තෙවැනිවර මෙසේ සිතුවේය. මට කිරිසුවඳ කටින් නොගිය බාලයෙකු පරාජය කිරීමට නොහැකිවීමි. මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙසේ සිතමින් උපවාස කරමින් ඇදේ වැතිරී සිටියේය. මෙම ආරංචිය මුළු විහාරයේත් නුවරත් පැතිර ගියේය. භික්ෂූන් වහන්සේලා ස්වාමීනි ! කොසොල් රජු කාසි ග්‍රාමය සදහා තුන් වරක් යුද්ධ කොට පරාජය වී, කටින් කිරි සුවඳ නොගිය කෙනෙකු පරාජය කිරීමට මට නොහැකි වී යයි, ද එනිසා මේ ජිවිතයෙන් වැඩක් නැතැයි ද ආහාර වර්ජනය කර ඇදෙහි හොත් යයි, බුදුරදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ කථාව අසා මහණෙනි, ජයගැනීමෙන් වෛරය ඇතිවේ. පැරදීමෙන් දුකක් ඇතිවේ. යනුවෙන් පවසා මේ ගාථාව දේශනා කළහ.
දිනුවොත් යුද්ධයෙන් වයිරය ඇති වේවී
පැරදුන හොත් දුකින් වැතිරී නිදි යාවී
වෙන් වු මේ දෙකින් සාමය ලැදියා වී
දුක් කරදර කිසිත් නැතිවම සැනසේවී.
අනුන් පරාජය කිරීමෙන් වෛරය ඇති කෙරෙයි. පරාජයට පත් තැනැත්තා දුක සේ හොවී උපශාන්ත තැනැත්තා සුවසේ සිටී. එතුමා ජය පරාජය දෙකම අත්හැරින ලද්දේ වේ.
ජය යනු අන් අය පරාජය කිරීමෙන් වෛරයට ලක් වේ. පරාජිත තැනැත්තා කවදා හෝ පස මිතුරා පිටු දකිමිදැයි දුක් විදී දුක්ඛංසෙති - සියළු ඉරියාපථ යන්ගෙන් දුකම ලබයි. යන අරුතයි උපසන්තා යනු අභ්‍යන්තරයේ ඇතිවන රාගාදී කෙලෙස් නැති රහතන් වහන්සේ ජය පරාජය දෙකම අත්හැර සුවසේ සිටී. සියළු ඉරියාපථයන්හි සුවසේ වාසය කරයි. යන අරුතයි. දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදීඵලවලට පත්වූහ.