හංසාදිච්චපථෙ යන්ති ආකාසෙ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලොකම්හා ජිත්‍වා මාරං සවාහිනිං.
හංසයෝ (කර්‍මවිපාකජර්ධියෙන්) අහසෙහි යෙති. (යෝගීහු) භාවනාමයර්ධියෙන් අහසෙහි යෙති. (හේතු සම්පන්න කෘතාධිකාර ඇති) ප්‍රාඥයෝ සෙන් සහිත මරහු දිනා ලෝකයෙන් (සසරවටින්) නික්මෙන්නාහ (නිවන් යන්නාහ).
"හංසාදිච්චපථෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී භික්ෂූන් තිස්නමක් නිමිති කර ගෙන දේශනා කළහ.
එක් දිනක් ප්‍රාදේශිය දිසාවාසී භික්ෂූන් වහන්සේලා තිස් නමක් බුදුන් වෙත පැමිණියහ. ආනන්ද තෙරුන් බුදුන්ට උවටැන් කරන අවස්ථාවේදී පැමිණි එම භික්ෂූන් දැක බුදුරජාණන් වහන්සේ මේ අය සමග පිළිසඳර කථා කළ කල්හි වතාවත් කරමියි දොරටුවේ සිටියහ. බුදුරජාණන් වහන්සේද පිළිසඳර කථාකොට ඔවුන්ට සිහිකටයුතු ධර්ම කථාවක් පැවසුහ. එම කථාව අසා සියල්ලෝම රහත්බවට පත්ව ඉහළ අහසට නැග අහසින් වැඩම කළහ. ආනන්ද තෙරණුවෝ උන්වහන්සේලා ප්‍රමාදවෙනු දැක. බුදුන් වෙත එළඹ ස්වාමීනි මෙතැනට භික්ෂූන් තිස්නමක් පමණ පැමිණියහ. එම භික්ෂූන් කොහිදැයි විමසුහ. ආනන්ද ඔවුන් ගියහ. ස්වාමීනි මොන පාරෙන්ද? ආනන්ද ආකාශ මාර්ගයෙන් ඇයි ස්වාමීනි උන් වහන්සේලා රහත්හුද? එසේය ආනන්ද මගෙන් බණ අසා රහත්වුහ. එම අවස්ථාවේදීම හංසරැහන් අහසින් පියඹා ගියහ. ආනන්ද යම්කෙනෙක් මැනවින් සතර සෘද්ධිපාද වඩන ලද්දේද ඔහු හංසයින් ලෙස අහසින් යන්නේ යයි පවසා මෙම ගාථාව දෙසුහ.
රණහංසයෝ පියඹායති අහස් කුස
රහතුන් අහස් ගැබ යති ලැබ එර්දි බල
නුවණැත්තෝ දිනා ගෙන ලොව නිවන් රස
පරදා මරුන් මෙලොවින් යති උසස් ලෙස
"හංසයෝ අහසේ යති. ඍද්ධිමත්හුද අහසින් යති. ශ්‍රේෂ්ඨයෝ ලොව දිනා මරසෙනග පරදවා ලොවින් එතර වෙති.
එහි අරුත ඉමෙහංසා ආදිච්චපථෙ මෙම හංසයෝ අහසින් පියඹා යති යම් කෙනෙක් ඍද්ධිපාද මැනවින් වඩන ලද්දේද ඔවුන්ද "ආකාසෙ යන්ති ඉද්ධියා - ඍද්ධි බලයෙන් අහසින් ගමන් කරති. ධීරාපි - නුවණැත්තෝ සේනා සහිත මාරයා පරාජය කොට - මේ සංසාර වට්ටයෙන් නික්මයති. නිවණට පැමිණෙති යන අරුතයි දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වුහ.