අන්ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති.
සකුන්තො ජාලමුත්තො’ව අප්පො සග්ගාය ගච්ඡති.
මේ ලොවී මහ ජන තෙම නුවණැස් නැතියෙන් අන්‍ධ ය. මේ මහජනයා අතුරෙහි ස්වල්ප සත්ත්‍වයෙක් ම අනිත්‍යාදි වශයෙන් ස්කන්‍ධපංචකය දක්නේ ය. (ලිහිණිවැද්දකු දැමූ) දැලට හසු වැ එයින් මිදී පලා යන වටුවකු මෙන් (මාරජලයෙන් වැසුනු සත්ත්‍වයන් අතුරෙන්) ස්වල්ප වූ කිසි සත්ත්‍වයෙක් ම (සුෂටු අග්‍ර හෙයින් සග්ග යැ යි කියන ලද) සුගතියට ද නිවනට ද යන්නේ ය.
"අන්ධ භූතාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍යස්ථානයේ වැඩසිටියදී එක් පේශකාර දුවනියක් අරමුණු කොට පැවසුහ.
එක් දිනක් අලව් නුවර වැසියෝ බුදුහු අලව් නුවරට පැමිණි පසුව ආරාධනා කර දානයක් පිරිනැමුහ. බුදුරජාණන් වහන්සේ දන්වළදා අවසන අනුමෝදනා කරමින් ජීවිතය ස්ථීර නොවේ. මරණය ස්ථිරය. අප විසින් අවශ්‍යයෙන්ම මරණයට පත්විය යුතුය. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. ජීවත් වීම නියත නොවේ. මරණය නියතය. යනුවෙන් මරණ සතිය වඩන්න. යම් කෙනෙක් මරණ සතිය නොවඩන ලද්දේද? ඔවුන් පසුකලෙක ආශිර්විෂයෙකු දැක බිය වූ පුරුෂයෙක් ලෙසට සන්තාපයට පත්ව බියකරු හඬ නංවමින් කළුරිය කරති. යම් කෙනෙක් මරණ සතිය වඩන ලද්දේද ඔවුහු නාගයෙකු දුරදිම දැක දණ්ඩකින් ගෙන විසිකරන පුද්ගලයෙක් සේ අවසන් කාලයේදී ත්‍රස්ත නොවෙති. එනිසා මරණ සති භාවනාව වැඩිය යුතුයයි පැවසූහ. මෙම ධර්ම දේශනය අසා අනෙක් ජනයා තම කටයුතුවල යෙදෙමින්ම සිටියහ. නමුත් එක් සොළොස් වියැති පේෂකාර දුවනියක් අහෝ බුද්ධ දේශනය නම් කෙතරම් ආශ්චර්ය ද, මවිසින් මරණ සතිය වැඩිය යුතුයයි සිතා දිවා රාත්‍රි මරණ සති භාවනාව වැඩුවාය. බුදුරජාණන් වහන්සේද අග්ගාලව චෛත්‍ය ස්ථානයෙන් නික්මී දෙව්රමට වැඩම කළහ. එම යුවතිය ද අවුරුදු තුනක් මරණ සතිය ම වැඬුවාය. එක් දිනක උදැසන බුදුරජාණන් වහන්සේ ලොව බලන්නේ එම කුමරිය තමන් වහන්සේගේ ඥාණ දැලට හසුවුවාය. මෙසේ දැක කුමක් වන්නේදැයි සිහිකරන්නේ මෙම කුමරිය විසින් මගේ ධර්මදේශනයෙන් පසුව වසර තුනක් මරණ සති භාවනාව පුරුදු කරන ලද්දේය. දැන් මම ඇය වෙතගොස් ඇගෙන් ප්‍රශ්න හතරක් විමසා ඒවාට ඇය පිළිතුරු දුන්විට සිව්වරක් සාධුකාර මෙම ගාථාව පවසන්නෙමි. ගාථාව අවසන ඇය සෝවාන් ඵලයේ පිහිටන්නේ යයිද එහියාම මහජනතාවටද සාර්ථක දේශනයක් වන්නේ යයි දැන පන්සියයක් භික්ෂූන් පිරිවරා දෙමින් නික්මී පිළිවෙලින් අග්ගාල විහාරයට වැඩම කළහ. අලෙවි ගම් වැසියෝ බුදුන් වැඩම කළහයි අසා විහාරයට ගොස් ආරාධනා කළහ. ඒ කුමරියද බුදුන්ගේ ආගමනය අසා මගේ පියා මගේ ස්වාමී වූ ආචාර්යන් වහන්සේ පුන්සඳවන් මුහුණ ඇති ගෞතම බුදුපියාණන් වහන්සේ වැඩම කළේ යයි සතුටු සිත් ඇතිව මෙයට වසර තුනකට පෙර දුටු ඒ රන්වන් බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරුර දැකීමටත් මිහිරි උතුම් ධර්මය ඇසීමට ලැබෙන්නේ යයි සිතුවාය.
මෙහිදී ඇගේ පියා ද එදින වැඩට පිටත් වෙමින් දියණියනි අන් කෙනෙකුට දිය යුතු සළුවක් විවීමට පටන් ගෙන ඇත. වියතක් පමණ තව ඉතිරිවී තිබේ. එය අදම අවසන් කරන්නෙමි. ඉක්මනින් නූල් ඔතා ගෙන එන්නැයි පැවසුවේය. ඇය මෙසේ සිතුවාය. මම බුදුබණ අසනු කැමතිය. පියා ද තසරය ගැන කිවේය. මම බණ අසමිද? නැතහොත් නූල් ඔතා ගෙනයන්නේද නූල් පන්දුව ගෙන ගියේ නැත්නම් පියා මට තලන්නේය. පහරදෙන්නේය. ඒ නිසා නූල් පන්දුව ඔතා ගෙන ගොස් ඔහුට දී පසුව ධර්මය අසන්නෙමියි. පුටුවක වාඩිවී නූල් පන්දුව එතුවාය. අලව් වාසිද බුදුන්ට දන් පිළිගන්වා පාත්‍රයගෙන අනුමෝදනය ඇසීමට වාඩිවීසිටියහ. බුදුරජාණන් වහන්සේද, මම යම් කුල දුවක් නිසා තිස්යොදුන් මග ගෙවාගෙන මෙහි පැමිණියේද අදත් ඇයට අවකාශ නො ලැබෙන්නේය ඇයට ඉඩ අවකාශ ලැබුනවිට ධර්ම දේශනය කරනෙමියි නිහඩව සිටියා මෙලෙස නිහඩව සිටින විට දෙවියන් සහිත ලොව කිසිවෙකුටත් කිසිවක් කියන්නට නො හැකිය. ඒ කුමාරිකාවද පන්දුව නූල්මත පැසක තබා පියා සමීපයට යන්න - පිරිස් කෙළවරට ගොස් බුදුන් දෙස බලමින්ම සිටියාය. බුදුරජාණන් වහන්සේද ගෙල ඔසවා ඇය දෙස බැලුහ. ඇය බලාසිටින අයුරින්ම දැනගත්තාය. බුදුහු මෙබඳු පිරිසක් අතර සිටියදී මදෙස බලන්නේ මගේ ගමන අපේක්ෂා කරති. ඇය නූල් පන්දුව ඇති පැස තබා බුදුන් වෙතට ගියාය. බුදුරජාණන් වහන්සේ ඇය දෙස බැලුවේ කුමක් වෙයිද? උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. ඇය මෙසේ යාමෙන් පුහුදුන් කෙනෙක් ලෙසට කළුරිය කොට අනියත ගතික වන්නීය. මා වෙත පැමිණ යන්නේ නම් ඇය සෝවාන් ඵලයට පත්ව ඒකාන්ත ගතිකව මරණයෙන් පසුව තුසිත දෙව්ලොව උපදින්නීය. ඇගේ එදින මරණයෙන් මිදීමක් නැත. ඇය බුදුන් බැලු පමණින් බුදුන් වෙත එළඹ ෂඞ්වර්ණ රශ්මිය අතරට පිවිස වැඳ එකත් පසෙක සිටියාය. එබඳු පිරිසක් අතර වාඩිවී නිහඩට සිටි තථාගතයන් වහන්සේ වැඳ සිටි අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ මෙලෙස විමසූහ. දැරිය කොහි සිට ආවේද? ස්වාමීනි නොදනිමි. කොහියන්නේද? ස්වාමීනි නොදනිමි. නොදන්නේද? දනිමි ස්වාමීනි. නො එසේනම් දන්නේද? නොදනිමි ස්වාමීනි. මේලෙසට බුදුහු ප්‍රශ්න හතරක් විමසුහ. මහජනයා ඝෝෂා කළහ.
අපොයි බලන්න මේ පේශකාර දුවණිය සම්මා සම්බුදුන් වහන්සේ සමග කැමති කැමති ලෙස කථාකරයි. කොහිසිට ආවේදැයි විමසුවිට පේසකාර ගෙයි සිටයයි කිවයුතුය. කොහි යන්නේදැයි විමසුවිට පේශකාර ශාලාවට යයි පැවසිය යුතුය. බුදුහු මහජනයා නිහඩකරවා දැරිය ඔබ කොහිසිට ආවේදැයි විමසුවිට ඇයි නොදන්නා බව පැවසුවේ. ස්වාමීනි ඔබ වහන්සේ විමසුවේ කොහි සිට අවුත් මේ භවයේ උපන්නේදැයි යනුවෙනි, ස්වාමීනි මම කොහේසිට අවුත් මෙහි උපන්නේදැයි නොදනිමි. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සාධු - සාධු කුමාරිකාවන් ! ඉතා හොඳයි මවිසින් අසන ලද ප්‍රශ්නයටම ඔබ විසින් පිළිතුරු දෙන ලදී. යනුවෙන් සාධුකාර දී තවදුරටත් විමසුහ. කොහි යන්නේදැයි විමසුවිට නොදනිමියි පැවසුවේ කුමක් හෙයින්ද? ස්වාමීනි ඔබ වහන්සේ මා නූල් පන්දුව ගෙන පේශකාර ශාලාවට යන බව දැන සිටිති. එහෙත් ඔබ වහන්සේ මෙයින් පසු කොහි උපදින්නේදැයි විමසුහ. මම ද මෙයින් චුතව කොහේ උපදින්නේදැයි නොදන්නෙමි. තථාගතයන් වන්සේ මවිසින් අසන ලද්දටම ඔබ පිළිතුරු දුන්නායයි දෙවැනිවරද සාධුකාර දුන්හ. ඊළඟට මම ඔබ නොදන්නේදැයි විමසුවිට දන්නේ යයි පිළිතුරු දුන්නේ කුමක් හෙයින්දැයි විමසුහ. ස්වාමීනි මම මරණයට පත්වන බව දනිමි එනිසා එලෙස පිළිතුරු දුනිමි. එසේ නම් ඔබ දන්නේ දැයි විමසු විට නොදන්නෙමියි පැවසුවේද ස්වාමීනි මම මැරෙන බව දනිමි. එහෙත් රාත්‍රියේද දවල් කාලයේද අසවල් කාලයේදැයි නොදනිමි. එනිසා නොදන්නාබව පැවසීමි. අනතුරුව බුදුරජාණන් වහන්සේ මවිසින් ඇසු සියළු ප්‍රශ්නවලට නුඹ විසින් පිළිතුරු දුන්නේ යයි සිව්වැනි වරද සාධුකාර දී පිරිස ඇමතූහ. මෙපමණකින් නුඹලා මැය කියූ දේවල් නොදනිමු. එසේ නොදැනම තේරුම් නොගෙනම ඝෝෂා කළහ. යමෙකුට ප්‍රඥාව නැතිනම් ඔවුන් අන්ධයින් වැන්න. යමෙකුට ප්‍රඥා ඇස තිබේ. ඔවුන් ඇස් ඇත්තෝමයයි කියා මේ ගාථාව පැවසුහ.
පුහුදුන් අතර ඇතී
වැඩිදෙන බාලයෝ වෙතී
බැලිය යුතු සත්‍යය
දෙසද ඔහු නොබලතී
ටික දෙනෙකි සුගතියට යන්නේ
දැලෙන් මිදෙනා කුරුල්ලන් සේ.
අන්ධ වු මේ ලොව කවරෙක්නම් විශේෂයෙන් බලත්ද දැලෙන් මිඳුන පක්ෂීන් මෙන් ඉතා අල්ප දෙනෙක් දිව සම්පත් ලබති.
මෙහි අයං ලොකොති - මේ ලෞකික සාමාන්‍ය ජනයා ප්‍රඥා ඇස නොමැති නිසා අන්ධභූතො තනුකෙත්ථ යනු බොහෝ දෙනා අනිච්චාදී වශයෙන් නොබලයි. විපස්සති ජාලමුත්තොවා යනු යම් දක්‍ෂ පක්‍ෂියෙක් දැලෙන් ගැලවීයයි සසර දැලින් කිසිවෙක් මිදේ අනෙක් අය දැලේ සිරවී සිටිති. ස්වල්ප දෙනෙක් ස්වර්ගයට යති. තව කෙනෙක් නිවනට පත්වේ. මේ දෙසුම අවසානයේ කුමාරිකාව සෝවාන් ඵලයේ පිහිටියාය. මහජනයාට ද දෙසුම සාර්ථක විය. ඇයද නූල් පන්දුව ගෙන පියා වෙත ගියාය. ඇගේ පියාද වාඩි වී සිටිමින්ම නිදා සිටියේය. ඇයත් ඒ ගැන නොසිතාම නූල් පන්දුව ළං කළාය එම නූල් පන්දුවේ කෙළවර ඇති කැගසමින් වැටුනි. ඔහු අවදි වී ගන්නා ලද නිමිත්ත අනුවම පන්දුව ඇද්දේය. ලී කෙළවර ගොස් ඇගේ උරපත්තේ වැදුනි. එනිසා ඇය එහිම මියගොස් ඇද වැටුනි. අනතුරුව ඇගේ පියා මෙය බලා මුළු සිරුර ලෙසින් වැරි වැටෙනු දැක මහා ශෝකයක් ඇතිවුනි. කිසිවෙකුටත් මගේ ශෝකය නිවන්නට නොහැකියයි ඇඬමින් බුදුවෙත ගොස් මේ ප්‍රවෘත්තිය පැවසුවේය. ස්වාමීනි මගේ ශෝකය නිවන්නැයි අයැද සිටියේය. බුදුන් වහන්සේ ඔහු සනසා ශෝක නොකරන්න. කෙළවරක් නොමැති මේ සසර ඔබගේ දුවනියන්ගේ මරණය නිසා හැඬු කඳුලු මේ සිව් මහසයුරේ ජලයටත් වඩා අධිකයයි දේශනාකර සසර ස්වභාවය පැවසුහ. මේ දැඩි සොව නිසාම ඔහු බුදුන්වෙත පැවිදි වී පසුව උපසම්පදාව ද ලබා නොබෝ දිනකින්ම අරහත්වයට පත්විය.