යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.
යමකු විසින් කළ පාපකර්‍මය (අර්‍හත්ත්‍වමාර්‍ගසම්ප්‍රයුක්ත චේතනා සංඛ්‍යාත) කුසලයෙන් පිහියේ ද (මුව ව සේ ද), හෙ තෙම වලා පටලයෙකින් මිදුනු පුන් සඳු (අහස බබුලුවන්නා) මෙන් (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.
"යස්ස පාපන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී අංගුලිමාල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
අංගුලිමාල කථා පුවත සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය. අංගුලිමාල තෙරුන් බුදුන් වෙත පැවිදි වී රහත් බවට පත්වූයේ අනතුරුව උන්වහන්සේ රහසිගතව හුදකලාව විමුක්ති සුවය විඳිමින් සිටියදි මේ උදානය පැවසුහ.
"යම් කෙනෙක් මුලදී ප්‍රමාද වෙමින් සිට පසුව ප්‍රමාද නොවේද? ඔහු මෙලොව ආලෝකමත් කරන්නේ වළාවකින් නික්මෙන ප්‍රභාමත් සඳක් මෙනි.”
මේ අයුරින් උදානය ප්‍රකාශ කර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑහ. මේ අතර ධම්සභා මණ්ඩපයේදී ඇවැත්නි අඟුල්මල් තෙර කොහි උපන්නේ දැයි කථාවක් ඉපිදවුහ. බුදුන් වැඩමකර මහණෙනි මම පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි ප්‍රශ්න කළහ. එම භික්ෂූන් වහන්සේලා ස්වාමීනි අඟුල්මල් තෙරුන් උපන් ස්ථානය පිළිබඳවයයි පැවසුවිට - මහණෙනි මගේ පුතු පිරිනිවන් පෑවේයයි පැවසුහ. ස්වාමීනි ! මෙපමණ මිනිසුන් ඝාතනය කර උන්වහන්සේ පිරිනිවන් පෑවේදැයි ප්‍රශ්න කළහ. එසේය මහණෙනි. ඔහු පෙර එක් කල්‍යාණ මිත්‍රයෙක් නොලැබී මෙපමණ පව් කළේය. පසුව කල්‍යාණ මිත්‍ර සේවනය ලැබ අප්‍රමාදී විය. එනිසා ඔහුගේ පාපකර්මය කුශලබලයෙන් වැසී ගියේයයි පවසා මේ ගාථාව පැවසුහ.
අකුසලයන් ඇතත් පෙරදී කරන ලද
පසුකල කුසල් කළහොත් ඉන් මිදෙන ලද
අවබෝදයෙන් පසු සිව්සස් අමත පද
බබළයි වලාවෙන් ගිලිහුණු ලෙසට සඳ
යම් කෙනෙක් කරන ලද පාපකර්මය කුසලයෙන් වසයිද ඔහු මෙලොව වළාවෙන් මිදීගිය හදසේ ප්‍රභාමත් වේ.
එහි දී කුසලෙන සඳහා කියන ලදී. අරහත් මාර්ග ය. සෙස්ස පෙර කියන ලද අයුරින් දතයුතුය. මේ දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.