යො ච පුබ්බෙ පමජ්ජිත්‍වා පච්ඡා සො නප්පමජ්ජති.
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.
යම් පුද්ගලයෙක් පූර්‍වභාගයෙහි (වත් පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරුම් ආදියෙන් හෝ යෝනිසෝමනසිකාරයෙහි) ප්‍රමත්ත ව ද, හෙ තෙම පසු වැ (මග පල සුවයෙන් දවස් යවන්නේ යෝනිසෝමනස්කාරයෙහි) නො පමා වේ ද, හෙ තෙම වලාපටලයෙකින් මිදුනු පුන්සඳ අහස්ලොව (බබුලුවන්නා) සේ (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලොව (ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.
"යොච පුබ්බෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සම්මුඤ්ජනී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන්වහන්සේ උදේ හෝ හවස හෝ වෙලාවක් නොමැතිව නිතර නිතර අතුගාමින් හැසිරෙයි උන්වහන්සේ එක් දිනක් ඉදල ගෙන දවල් කල සිටි රේවත තෙරුන් වෙත ගොස් මේ මහා කුසීත කෙනෙකි. මහජනයා ශ්‍රද්ධාවෙන් දෙන දෙය වළදා අවුත් වාඩිවී සිටියි. ඇයි මොහුට ඉදල ගෙන එක් තැනක් අතුගෑම නොවටීදැයි පැවසීය. තෙරුන් වහන්සේ මොහුට අවවාදයක් දෙන්නෙමියි සිතා ඇවැත්නි මෙහි එන්නැයි පැවසුහ. ඇයි ස්වාමීනි, යන්න ස්නානය කර එන්න. එම තෙරුන් දිය නා පැමිණියේය. අනතුරුව තෙරුන් එක තැනක වාඩිකරවා අවවාද දෙන්නේ මෙසේ කීවේය. ඇවැත්නි භික්ෂුවක් විසින් හැමවිටම අතුගගා සිටීම නො වටී අළුයම අවදී වී අතුගා පිඬුසිඟා ගොස් වළදා අවසානයේ අවුත් රාත්‍රි ස්ථාන හෝ දිවා ස්ථානයක හෝ වාඩි වී දෙතිස් කුණප ගැන කියවා තම ආත්ම භාවයේ හටගැනීමේ හැකිලීම් සිහිකර සවස භාවනාවෙන් නැගිට අතුගැම සුදුසුය. නිතර නිතර අතුනොගා තමන්ට ද අවකාශයක් තබාගත යුතුය. උන්වහන්සේ මේ අවවාදයේ පිහිටා නොබෝ දිනකින් අර්හත්වයට පත්වුහ. අනතුරුව තැන් තැන් වල කොළරොඩු එකතුවුනි. මේ නිසා භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දැන් තැනින් තැන කොළ රොඩු එකතුවී ඇත සම්මුඤ්ජනී තෙරුන් පෙරමෙන් අතු නොගාන්නේ කුමක් හෙයින්ද?
එවිට සම්මුඤ්ජනී තෙරුන් ස්වාමීනි මම පෙරදින ප්‍රමාද වූ කාලයේ එසේ කළෙමි. දැන් මම අප්‍රමාදීව සිටිමි. භික්ෂූන් වහන්සේලා මේ තෙරුන් දැන් වෙනත් දෙයක් කියයි කියා බුදුන්ට දැන්වුහ බුදුරජාණන් වහන්සේ ඇත්ත මහණෙනි, මගේ පුතා පෙර ප්‍රමාද ව සිටි කාලයේදී අතුගාමින් හැසුරුනි. දැන් මාර්ග ඵල සුවයෙන් කල් යවා අතු නොගාන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.
පමාවූවද කලින් - දිරියෙන් කෙළස් හළ පසු
වළාවෙන් මිදුණු සඳසේ - බබළති රහත් උතුමෝ
යම්කෙනෙක් පෙර ප්‍රමාදවී පසුව ප්‍රමාද නොවේද වළාවෙන් මිඳුන හඳ සේ ඔහු මෙලොව ආලෝකමත් කරයි.
එහි අරුත නම් යම් පුද්ගලයෙක් වත් පිළිවෙත් කරමින් හෝ සජ්‍ඣායනා කිරීම් ආදියෙන් ප්‍රමාදවී පසුව මාර්ග ඵල සුවයෙන් කල් ගෙවමින් ප්‍රමාද නොවී සිටි එබඳු තැනැත්තා කළුවලාවෙන් - බැහැරවූ සඳමෙන් අවකාශ ලෝකය මාර්ග ඤාණයෙන් මේ ස්ඛන්ධ ආදී ලෝකය බබුළුවයි ආලෝක ධාරාවෙන් එකළු කරයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.