අප්පස්සුතායං පුරිසො බලිවද්දො’ව ජීරති.
මංසානි තස්ස වඩ්ඪන්ති පඤ්ඤා තස්ස න වඩ්ඪති.
(යටත් පිරිසෙයින් සූත්‍ර දෙකක් හෝ නොපුහුණු බැවින්) අල්පශ්‍රැත වූ මේ පුරුෂ තෙම (මවට වත් පියාට වත් සෙසු නෑයනට වත් කිසි ප්‍රයෝජනයක් පිණිස නො මුහුකුරා නිරර්‍ත්‍ථක ව ම මුහුකුරණ) ගොනකු මෙන් (උපාධ්‍යාය වතක් ආචාර්‍ය්‍ය වතක් ගිලන් වතක් නොකොට භාවනායෙක නොයෙදී නිරර්‍ත්‍ථක ව ම) මුහුකුරන්නේ ය. ඒ (හීයට නො නිසි යැ යි වලැ හැරැපු පාබුන් ගොන්මාල්ලකු වලැ ම කා හැවිද මස් වැඩී තර වැ ගියා මෙන් ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදීන් විසින් හරණ ලදු ව සඞ්ඝයාට උපන් සිවුපසය වළඳා වමන විරේචනාදියෙන් කායපෝෂණයෙහි නියුක්ත) මහණහට ශරීරමාංසයෝ ම වඩනාහ. ඔහුව (ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද) ප්‍රඥාව මඳකුදු නො වැඩේ.
" අප්පස්සුතා යං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන අතරතුරදී ලාළුදායී තෙරුන් නිමිති කරගෙන දේශනා කළ සේක.
මෙම තෙරණුවෝ මංගල කටයුතු කරන නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු තිට්ඨින්තී ආදී මියගියවුන් පිළිබඳ අවමංගල කථා කියති.
අවමඟුල් පවතින නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු ආදිය කියයුතු තැන්වල ”දානංච ධම්මචරියා” ආදී මංගල කථා රතන සූත්‍රය වැනි කරුණු ද පවසති. ඒ ඒ තැන්වලට ගොස් කිය යුතු දෙයට වඩා වෙනත් දෙයක් කියති. මෙබඳු නොගැළපෙන දෑ කියන නිසා භික්ෂූන් වහන්සේලා මේ තෙරුන්ගේ කථා අසා බුදුන්වහන්සේට දැනුම් දුන්හ. ස්වාමීනි මේ ලාළුදායි තෙරුන් සමග මංගල අවමගුල් ඇති ස්ථානවලට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද? කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක්ම කියයි, මෙයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ, මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙරද එකක් කිවයුතු තැන අනෙකක්ම කීවේයි කියා, අතීතය ගෙනහැර දැක්වුහ. අතීතයේදී බරණැස "අග්ගිදත්ත” නම් බ්‍රාහ්මණයාගේ පුතා "සෝමදත්ත” කුමරු රජුට උපට්ඨාන කළේය. ඔහු රජුට ප්‍රිය මනාප වීය. පිය බමුණා කෘෂිකර්මයෙන් ජීවත් වෙයි. මේ බමුණාට ගොනුන් දෙදෙනෙක් වුහ. ඔවුන් දෙදෙනාගෙන් එකෙක් මිය ගියේය. බ්‍රාහ්මණයා තම පුතාට මෙසේ කීවේය. “දරුව" සෝමදත්ත රජුන්ගෙන් ඉල්ලාගෙන මට ගොනෙක් අරගෙන එන්න කියා සෝමදත්ත ඉදින් මම රජුගෙන් ගොනෙක් ඉල්ලන්නේ නම් මගේ ලඝුබව මතුවන්නේ යයි සිතා පියාණනි ඔබම රජුගෙන් ඉල්ලා ගන්නැයි කීවේය. මෙලෙස කියා සිටියදී එසේනම් දරුව මා ගෙන ගොස් රජු වෙත පමුණුවන්නැයි කීවේය. මෙසේ කීවිට පුතා මේ බ්‍රාහ්මණයා (පියා) අනුවණයෙකි. ඉදිරියට යන්න පස්සට යන්න ආදී වචනයක්වත් දන්නේ නැත. කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක් කියනු ඇත. ඔහුට පුහුණුවක් දී රජු ඉදිරියට ගෙන යන මැයි සිතා බමුණා බීරණත්ථමභක නම් සොහොනට ගෙන ගොස් තණබිම් බැඳ තබා මේ රජුය. මේ යුවරජුය, මේ හමුදාපතිය යනුවෙන් නම්කර පිළිවෙළින් පියාට පෙන්වා දී ඔබ රාජසභාවට ගොස් මෙලෙස ඇතුළුවිය යුතුය. මෙසේ පිටවිය යුතුය, මේ ලෙසට රජුට කථාකළ යුතුය. මේ ලෙස යුවරජුට කථාකළ යුතුය. රජුවෙත එළඹ "ජයතු භවං මහරජ ඔබ දිනේවා” යනු වෙන් සුබපතා මෙසේ සිට මේ ගාථාව කියා ගොනෙක් ඉල්ලා ගන්නැයි ඉගැන්වීය. "දෙව මෙගොණා මහාරාජ” මහරජ මගේ ගොනුන් දෙදෙනෙක් කුඹුරේ සී සෑහ එකෙක් මියගියේය. එනිසා මට ගොනෙක් ලබා දෙන්න. ඒ බමුණා අවුරුද්දක් පමණ එම ගාථාව ප්‍රගුණ කොට එහි ප්‍රගුණ බව පුතාට පෙන්වා (පාඩම්දී) එසේ නම් දරුව මට කිසියම් පඬුරක් අරගෙන එන්න. මම පළමුව ගොස් රජුගේ සමීපයේ සිටින්නෙමියි කී විට හොඳයි පියාණනි පඬුරක් ගෙනත් දුන්විට එය රැගෙන සෝමදත්ත රජු සමීපයේ සිටි විට උත්සාහයෙන් රජ කුලයට ගොස් රජු විසින් සතුටු සිතින් පිළිසඳර කථා කොට දරුව පැමිණ බොහෝ කල් මෙනි, මේ අසුනේ වාඩීවී කියන්න කුමක් නිසා පැමිණියේදැයි පවසන්න. මේ ගාථාව කිවේය.
"මහරජ මගේ ගොනුන් දෙදෙනෙක් කුඹුරු සීසෑවෝය.
මහරජ ඉන් එකෙක් මියගියේය. මහරජ දෙවැන්නා ගන්න.”
රජතුමා දරුව කුමක් කියන්නේ ද නැවත කියන්නැයි පැවසූවිට එලෙසම ගාථාව කීවේය. රජු ඔහු විසින් වරදවමින් කී බව දැන සිනාසී. සෝමදත්ත ඔබගේ නිවසේ බොහෝ ගොනුන් වෙත්දැයි කරුණු විමසා අනතුරුව බෝසතුන්ට සතුටු වී බමුණාට ගොනුන් දහසයක්ද අලංකාර භාණ්ඩද නිවසක් හා බ්‍රහ්මදෙය්ය වස්තු ද දී මහත් කීර්තියෙන් බමුණා උනනන්දු කළේය. බුදුහු මේ දේශනය ගෙනහැර දක්වා එදා රජු ආනන්ද ස්ථවිරයන් විය. බ්‍රාහ්මණයා ලාළුදායි තෙරුන් විය සෝමදත්ත මමම වීමි යි ජාතක දෙසුම ගළපා මහණෙනි දැන් පමණක් නොව පෙර ද මොහු තමන්ගේ අපහසුතාව නිසා කටයුතු දෙය වෙනුවට වෙනත් දෙයක්ම කියයි. අල්ප දැනුම ඇත්තා ගවයෙකු වැනි යයි පවසන මේ ගාථාව වදාළහ.
සිරුර අලි මහතට -මස් ගොඩම ලොකුවන්නේ
වියළි කල හරක්මෙන් දිවිසරති - උන්ගේ නුවණ නොවැඩේ
එහි දී අප්පස්සුත නම් - පඤ්ඤායක 50හේ කොටස් අතුරෙන් පණ්ණසකයක් හෝ දෙකක්, වර්ග එකක් හෝ දෙකක්, අවම වශයෙන් සූත්‍ර දෙකක් හෝ එකක් හෝ නොදැන සිටින භික්ෂුව අල්පශ්‍රැත - අසාදැනගත් දැනුම නැති තැනැත්තෙකි. කර්මස්ථාන ඉගෙන එහි යෙදෙන තැනැත්තා බහුශ්‍රැත නම් වේ.
බලිවද්දොව - ජීරති - යම් සේ මස් වැඩෙන්නේ මව පියා - සෙසු ඤාතීන්ගේ ප්‍රයෝජනය සඳහා නොවැඩේ. ප්‍රයෝජනයක් නොමැතිවම වැඩේ. එලෙසම මෙතෙම උපාධ්‍යාය වත් නොකරයි. ගුරුවරයාගේ වතාවත් නොපුරයි. අගන්තුක වතාවක්ද නොකරන ඔහු භාවනානුයෝගීව පසුවෙතැයි පවසමින් නිර්ථක ලෙස වැඩේ. "මංසාති තස්ස වඩ්ඪනතී” - යම්සේ ගොනුන් වියගහ නගුල් උසුලන්නට නොහැක්කා සේම වනයේ අත්හැර දැමු ගවයාගේ මස් වැඩේ. එලෙසම වතාවත් නොකර අචාර්ය උපාධ්‍යායන්ට ලැබෙන සිවුපසය හොඳින් වළදා මහත් සිරුරු ඇතිව හැසිරේ. “පඤ්ඤාති” ලෝකය ලෝකෝතර ඤාණය එක අඟලක් හෝ නොවැඩේ. "නවඩ්ඪති" - වනයේ ගස් වැල් ආදිය මෙන් ඔහුගේ සදොර නිසා තණ්හාව ද නවවිධ මානයද වැඩේ යන අරුතයි. මේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වුහ.