11-8 ආනන්ද තෙරුන්ගේ උදාන ගාථා පුවත

අනෙකජාති සංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.

භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.

ගහකාරක දිට්ඨො’සි පුන ගෙහං න කාහසි

සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛතං

විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා.

(අත්බව් නැමැති මේ ගෙය කරණ තෘෂ්ණා නැමැති) වඩුව, (සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කරණ මා විසින්) දැන් දක්නා ලද්දේ වෙහි. නැවැත (අත්බව්) ගෙයක් තෝ මට නො කරන්නෙහි ය. තාගේ සියලු (කෙලෙස් නැමැති) පරාළයෝ තාක් (නොහොත් සියලු ගෘහොපකරණයෝ මා විසින්) බිඳැ පියන ලදහ. (තා කළ අත්බව් ගෙහි) අවිද්‍යා නැමැති කැණිමඬල (මා විසින් රහත් මඟ නුවණ නැමැති පොරොවින් පළා) විසුරුවා පියන ලදී. දැන් මා සිත (අරමුණු කිරීම් වශයෙන්) නිවනට වන. තෘෂ්ණාවන්ගේ ක්‍ෂය යැ යි කියන ලද රහත්පලයට මම් පැමිණියෙමි.

"අනෙකජාති සංසාරං” යන මේ දහම් දෙසුම ශාස්තෲන් වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී උදාන වශයෙන් ප්‍රකාශ කොට, පසු අවස්ථාවකදී ආනන්ද තෙරුන් විසින් විමසූ විට පැවසූහ. උන්වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී හිරු උදාවීමට පෙරම මාර පරාජය කොට පළමු යාමයේ පුර්වේනිවාසානු ස්මෘති ඥානය මතු කරගෙන මධ්‍යම යාමයේ දී දිවැස පිරිසිදු කරගෙන - පැසුලු අවස්ථාවේදී සත්ත්වයන් කෙරෙහි ලෝසතුන් කෙරෙහි මහ කරුණාවෙන් හේතු ප්‍රත්‍ය ධර්ම කෙරෙහි ඤාණයට බැස එය අනුලෝම පටිලොම වශයෙන් සිහිකරමින් අරුණ නැගෙනවිට සම්මා සම්බුද්ධත්වය පසක් කරගෙන අපමණ බුදුවරු සියදහස් ගණනක් අත්නොහළ උදානය දක්වමින් මේ ගාථාව දේශනා කළහ.

අපමණ සසර දුක්විඳ දිවයමින් සිට

අපසතු සිරුරු ගෙය සාදන විටින් විට

වඩුවා සොයා යළි යළි ගිය ගමන් පිට

හඳුනාගතිමි ඔහු “තණ්හා” නමින් සිට

නැවත ගේ තනනට

බැරිලෙස ඔහුට මොනවට

කැණිමඩල ලී කොට

කඩා බිඳ ගේ දැමිණ පොළවට

"තත්ථ එහි ගහකාරකං ගවේසන්තොති " මම මෙම ආත්මභාව නමැති ගෙය කරන තෘෂ්ණා නැමති වඩුවා සොයමින් යම් නුවණකින් ඔහු දැක ගැනීමට හැකිවේද ඒ බෝධි ඥාණය සඳහා දීපංකර බුදුපාමුල කරන ලද අභිනීහාර ඇතිව මෙතෙක් කල් “අනෙකජාතිසංසාරං” නොයෙක් ජාති ලක්‍ෂයක් මේ සසරවට අනිබ්බිසං ඤාණ නොදැන ඤාණය නොලැබම - සන්ධාවිස්සං - සැරි සැරීමි මැරෙමින් ඉපදෙමින් සැරි සැරීමයි. "දුක්ඛාජාති පුනප්පුන්නති මේ ගේ කරන්නා සොයමින් නැවත නැවත ඉපදීම - මැරීම යන දුක් යම් හෙයකින් ජරා ව්‍යාධි මරණ මිශ්‍රව දුක නැවත නැවත ඇතිවන දුක් එය නොදුටුවිට නොනැවතේ එනිසා නොනිමෙන දුක් සොයමින් ඇවිද්දෙමි යන අර්ථය දේ. "දිට්ඨොසිති” සර්වඥතා ඥානය අවබෝධ කරගත් මවිසින් මෙය දුටුවෙමියි. "පුනගෙහන්ති " නැවත මේ සසර දුකේ ආත්මභාව සංඛ්‍යාත වූ මගේ ගෙය නැවත ඉදිකළ හැකි නොවේ. සබ්බා තෙ ඵාසුකා ඔබගේ සියළු ඉතිරි කෙලෙස් පහසුකම් මවිසින් වනසා දමන ලදී. ගහකූටං විසංඛිතනති මේ ඔබ විසින් කළ ආත්මභාව ගෙයි අවිද්‍යා සංඛ්‍යාත වූ කැණිමඩලද මවිසින් වනසා දමන ලදිමි. "විසඞඛාර ගතං චින්තනති” - දැන් මගේ සිත සංකාර රහිතවු නිවන අරමුණු වශයෙන් ගෙන තබන ලදිමි. "තණ්හානං බයමජ්‍ඣගාති" තෘෂ්ණා ක්‍ෂය වූ අර්ථය අවබෝධ කර ගතිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.