සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජීවිතං පියං.
අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.
(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.
“සබ්බේ තසන්තීති” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ඡබ්බග්ගිය (ෂඩ්වර්ගීය) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ. එම භික්ෂූන් විසින් එක් අවස්ථාවක දී යම් කරුණක් නිසාම පළමු ලෙසම පහර දීම කළහ. එවැනි කරුණක් නිසාම පහර දෙන අයුරු දක්වා අත් ඔසවා උළුක් කළහ. මෙහිදී ද බුදුහු ඔවුන්ගේ ඝෝෂාව අසා මේ කුමක්දැයි විමසා මෙම සිදුවීම ගැන දැනගත් පසු - මහණෙනි. මෙතැන් සිට භික්ෂුවකට මෙසේ නො කළ යුතුය. යමෙක් මෙලෙස භික්ෂුවකට පහරදීම කරයිද ඔහු මේ ඇවතට පත්වන්නේ යයි (පහරදීමට අත එසවීමේ) තලසත්තික ශික්ෂාපදය පමුණුවා මහණෙනි. භික්ෂුවක් විසින් යම්ලෙස තමන් තමන් පිළිබඳව එලෙසම අන් අය ගැනද සිතා මා ලෙසටම අන් අය ද ජීවිතයට ප්‍රිය වේ යයි තේරුම් ගෙන අන්අයට හිංසා නොකළ යුතුය ඝාතනය නොකළ යුතුයයි පවසා අනුපිළිවෙල සසඳා දහම් දෙසමින් මෙම ගාථා ධර්මය දෙසූහ.
හැම දෙන කැමතියි තම ජීවිතයට
අකමැති වේමැයි ගුටිබැට කෑමට
තමන්ගේ දිවියම ගෙන උපමාවට
හිරිහැර නොකරනු අනුන්ට කිසිවිට
එහිදී සබ්බේසං ජීවිතං පියන්ති යනු - රහතන් වහන්සේලා හැර අනෙක් සත්ත්වයින්ට ජීවිතය ප්‍රිය වේ. මධුර වේ රහත්හු නම් ජීවිතය පිළිබඳවත් මරණය පිළිබඳවත් උපේක්ෂා සහගත වෙති. සෙසු අය පළමු දැක්වූ පරිදිමය දෙසුම අවසාන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.