10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත.

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.

(කේශර සිංහයන් හා ආජානේය හස්ත්‍යශ්වයන් හා ක්‍ෂීණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්ත්‍වයෝ ම (වධබන්‍ධනාදි) කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. (ක්‍ෂිණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්හු ම මරණයට බති. ක්‍ෂීණාස්‍රවයෝ වනාහි ජීවිතයෙහි ද මරණයෙහි ද උපේක්‍ෂක ම වෙත්. එබැවින් තමා උපමා කොට (හෙවත් මම් යම් සේ දණ්ඩනයට බම් ද එසේ ම සියලු සත්ත්‍වයෝ ද දණ්ඩනයට බති. මගේ ජීවිතය මට යම්සේ ප්‍රිය ද එසේ ම සියලු සතුන්ගේ ජීවිත ද ඔවුනට ප්‍රිය යැ’ යි මෙසේ) තමා උපමා කොට (නුවණැති පුරුෂ තෙම) කිසි දු සතක්හු (අතින් පයින් දංඩෙන් සැතින්) නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.

[“සබ්බේ තසන්ති” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී ෂඩ්වර්ගීය (හයේ කණ්ඩායම වූ) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළ සේක.

එක් අවස්ථාවකදී භික්ෂූන් දහසයේ කණ්ඩායමක් විසින් සෙනසුන් පිළියෙළ කරන අතරතුරදී - සයවර්ගීය භික්ෂූන් - අපි වඩා වැඩිහිටි අය වෙමු. එනිසා මෙය අපට අයත් වේ. යයි කියා සිටියදී. එම දහසය වර්ගීය භික්ෂූන් විසින් අපි නොදන්නෙමු. අප විසින් මෙය පළමුවෙන් පිළියෙළ කරන ලදැයි පැවසූවිට - එම භික්ෂූන්ට පහර දෙන ලදී.

දහසය වර්ගීය භික්ෂූහු මරණ බියෙන් යුතුව මහා හඬින් විලාප නගන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හඬ අසා මේ මහ ශබ්දය කුමක්දැයි විමසා - මේ හේතුවෙන් යයි දැනගත් විට මහණෙනි ! මෙතැන් සිට භික්ෂූන් විසින් නම් මෙසේ නොකළ යුතුය. යම් භික්ෂුවක් නැවත මෙසේ පහර දෙයිද ඇවත් සිදුවේයයි “පහරදාන විනය සිඛ පදය” පනවන ලදහ. මෙම ශික්ෂාපදය පනවා මහණෙනි ! තමන් දඬුවමට බියවන්නා සේම අනෙක් අයද දඬුවමට බිය වෙතැයිද, මරණයට බිය වේයයිද. දැනගෙන භික්ෂුවක් විසින් අන් භික්ෂුවකට පහර නොදිය යුතුය. ඝාතනය නොකළ යුතුයයි පවසා, පෙර පසු සම්බන්ධ කර දහම් දෙසමින් මෙම ගාථාව දේශනා කළහ.

බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට

හොඳ නැහැ මරණ දඬුවම් නැති වරදකට

තම සිත තම සිරුර අරගෙන උවමකට

සතෙකුටම මෙත පතුරනු දියුණුවට

සියල්ලෝ දඬුවමට බියවෙති සියල්ලෝ මරණයට බියවෙති - තමාගේ බියවීම උපමා වශයෙන් ගෙන සත්ත්ව හිංසාවෙන් හා ඝාතනයෙන් වැළකිය යුතුය.

එහි සබ්බේ තසන්ති - යනු සියළු සත්ත්වයෝ තමා කෙරෙහි දඬු මුඟුරු පතිත වන විට ඒ දඬුවමට - දඬුවම්වලට බියවෙති. මච්චුනො මරණයට ද බියවෙත්ම ය. මෙම දේශනයේ ව්‍යඤ්ජනාර්ථය, සම්පූර්ණ අර්ථය නම් අවශේෂ වෙයි. යම් ලෙස රජු විසින් සියල්ලන් එක් රැස් වේවායි. අණබෙර යැවූවිට - රජ මහ ඇමති අත්හැර සෙසු අය රැස්වෙති. මෙලෙසම සියල්ලෝ බියවෙත් යයි පැවසූවිටද ආජානේය ඇත් - අස් හා කේශර සිංහයෝ ද රහතන්වහන්සේලා ද යන මේ සිව් පිරිස අත්හැර අනෙක් අය බිය වෙතියි දතයුතු මොවුන් අතර රහතන් වහන්සේලා නම් සක්කාය දෘෂ්ටිය දුරුකර ඇති හෙයින් කයේ බිඳීමක් විනා මියයන කෙනෙක් නොදකින්නේ බිය නොවෙති. අනෙක් තිදෙන මමය මාගේය යන දෘෂ්ටියෙන් බලවත් නිසා තමන්ට ප්‍රතිපක්ෂ වූ කෙනෙක් නොදකින්නේ බිය නො වෙති.

හන්‍යාන න ඝාතයෙ, යම්සේ මා මෙන්ම අනෙක් සත්ත්වයෝ ද මරණයට බියවෙතියි අන් අය නොපෙළති අන් සතුනට අන් අය ලවා හෝ හිංසා නොකරවති. යන අරුත් දේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදීයට පත්වූහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.