සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං.
යම් පුද්ගලයෙක් (අනුන් මරා තළා අනුන් ගැති කොට ගෙණ) තමහට සුව කැමැති වූයේ, කායික චෛතසික සුව කැමැති සත්ත්‍වයන් වාගදණ්ඩයෙන් පෙළා ද (දුකට පමුණුවා ද), හෙ තෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නො ලබන්නේ ය.
සුඛකාමානි භූතානි යො දණ්ඩෙන න හිංසති
අත්තනො සුඛමෙසානො පෙච්ච සො ලභතෙ සුඛං.
යම් පුද්ගලයෙක් තමහට සුව කැමැති වූයේ, සුව කැමැති සතුන් (වාග්දණ්ඩාදී) දණ්ඩයෙන් නො පෙළා ද (දුකට නො පමුණුවා ද), ඒ පුද්ගල තෙම පර ලොවදී සුව ලබන්නේ ය.
“සුඛකාමාති භූතානී” - යන මේ දම් දෙසුම ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී දරුවන් පිරිසක් නිමිති කරගෙන දෙසූහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර පිඬු පිණිස පිවිසියේ අතරමග දී දරුවන් බොහෝ දෙනෙක් ගැරැඩියෙකුට දණ්ඩකින් පහර දෙනු දැක. දරුවනි ! කුමක් කරන්නේදැයි විමසූහ. අපි දණ්ඩෙන් සර්පයෙකු මරන්නෙමුයි පැවසූහ. කුමක් හෙයින් මරන්නේදැයි විමසා දෂ්ටකරයි යන බියෙන් මරන්නෙමුයි පැවසූවිට.
නුඹලා තමන්ට සැපයක් කරගන්නේ යයි සිතමින් මේ සතා මැරීමෙන් ඉපදෙන හැමතැනකදීම සුවය නො ලබන්නෝය. තම සුවය සිතන්නවුන් විසින් අන් අය නැසීම සුදුසු නොවේයි පවසා පිළිවෙළ කථාව සසඳා දහම් දෙසමින් මේ ගාථාව පැවසූහ.
සුව කැමති සත්නට
එපා දුක් ගෙන දෙන්නට
දුක් දෙන දනන් හට
නිරය දුක් සිදුවේ ගෙවන්නට
අවිමුගුරු අරගෙන
මිනිසුන් සතුන් නොමරන
මෙත්සිතින් වැජඹෙන
දනෝවෙති දෙව්සුවය වළඳන
“සැප කැමැතිව යමෙක් (දණ්ඩකින්) දඬුවම් කිරීමෙන් අන් සතුන් පෙළන්නේද එබඳු ඇය සැප කැමතිවුවද පරලොවදී සැප නොලබති සැප කැමැත්තේ දඬුවම් දීමෙන් අන් සතුන් නොපෙළත් ද? ඔවුහු පරලොව දී සැප ලබති.
එහි යො දණ්ඩෙන - යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ ගල් කැට කැබලි ආදියෙන් හෝ පෙළන්නේද?
පෙච්ච සො නලභතෙ සුඛං - යනු ඒ පුද්ගලයා පරලොවදී මිනිස් සුවයක් හෝ දිව්‍ය සුවයක් හෝ පරමාර්ථ වශයෙන් නිවන් සුවයක් හෝ නො ලබයි. පෙච්ච සො ලභතෙ - යනු යම් පුද්ගලයෙක් පරලොවදී කියන ලද ලෙසට තුන් ආකාර වූ සුවයක් ලබයි යන අර්ථ දෙයි. දේශනය අවසානයේ දී පන්සියයක් වූ ඒ දරුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.