න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්‍ථඪිතං නප්පසහෙථ මච්චු.
යම් තැනෙක්හි සිටි සත්ත්‍වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් නැත. සමුද්‍රමධ්‍යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.
න අන්තලික්ඛෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින කාලයේ සුප්‍රබුද්ධශාක්‍යයා අරභයා දේශනා කරනලදි.
හෙතෙම වනාහි මොහු මගේ දුව හැරදමා ගියේයයිද මගේ පුතා පැවිදිකර වෛරියකුගේ තැන තැබීයයිද මේ කරුණු දෙක නිසා බුදුන් කෙරෙහි ආඝාත බැඳ, මොහුට ආරාධනා ලබන තැනට ගොස් වළඳන්ට නොදෙන්නෙමියි ගමන්මග අහුරා මත්පැන් බිබී වීථියෙහි නැවතී සිටියේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් පිරිවරා එතැනට වැඩමවූ පසු බුදුන් වැඩියබව දැන්වූහ.
එහා පාරෙන් යන ලෙස ඔහුට කියව්. ඔහු මහල්ලෙක් නොවේ. ඔහුට මේ පාර ඉඩ නොදෙමියි කීවේය. නැවත නැවතත් කීවේ නමුත් එසේම කියමන් හුන්නේය. ශාස්තෘන්වහන්සේ මාමාගෙන් මාර්ගයෙන් ඉඩ නොලබා එතැනම නැවතුණහ. හෙතෙම බුදුරදුන් වෙත චරපුරුෂයන් යවමින්, යව, ගොස් කියන්නේ මොනවාදැයි දැනගෙන එවයි කීය. බුදුරජාණන්වහන්සේත් සිනා පහළ කළ කල්හි ආනන්‍ද තෙරණුවෝ ස්වාමීනි, සිනා පහළ කරනලද්දේ කුමක් නිසාදැයි ඇසූවිට, ආනන්ද සුප්පබුද්ධ ඔබට පෙනෙන්නේදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. ආනන්ද මා වැනි බුදුකෙනෙකුන්ට මාර්ගය නොදී ඔහු කෙළේ බරපතළ ක්‍රියාවකි. මෙයින් හත්වෙනි දිනයේ යට ප්‍රාසාදයෙහි ඉණිමංමුලිදී ඔහු පොළොවෙහි ගිළීයන්නේය.
චරපුරුෂයෝ ගොස් තමන් ඇසූ කතාව සුප්‍රබුද්ධට කීහ. ළඟට ගිය තොපට මගේ බෑණා නැවැත්වීම ගැන කුමක් කීයේදැයි ඇසූවිට බුදුන් වදාළ හැටියෙන්ම ඒ කථාව කීහ. හෙතෙම ඒ වචන අසා, මෙතනදී මගේ බෑණාගේ කථාවේ වරදක් නැත. ඒකාන්තයෙන්ම ඔහු කියන දේ එසේම වෙයි. එසේ වුවත් ඔහුට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි. හෙතෙම මා මෙයින් හත්වෙනි දිනයේ පෘථුවියෙහි ගිළී යන්නේ යයි අනියමින් නොකියා යට ප්‍රාසාදයෙහි හිණිමංමුල පොළොවේ ගිළී යන්නේයයි කීවේය.
මෙතැන් පටන් මම එතැනට නොයන්නෙමි. ඉන්පසු ඔහු කියන තැනින් පොළොවට ප්‍රවිෂ්ට නොවී මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමියි හෙතෙම තමන්ගේ පරිහරණයට ගන්නා සියල්ල සත්මහල් පහයේ ඉහළම මහළට ගෙනගොස් ඉණිමග ඉවත්කොට දොර වසා අනිත් එක් එක් දොරටුවක රැකවලුන් දෙදෙනා බැගින් හිඳුවා, ඉදින් මම ප්‍රමාදයකින් හෝ යටට බසිනු කැමති වුවහොත් එය වලක්වව්යයි කියා හත්වෙනි ප්‍රාසාදතලයෙහි ශ්‍රීයහන් ගබඩාවේ හුන්නේය.
ශාස්තෘන්වහන්සේ එපවත් අසා මහණෙනි, සුප්‍රබුද්ධ හුදෙක් ප්‍රාසාද තලයෙන් අහසට නැගී හෝ සිටියත් නැවකන් ගොස් මූදට පැන්නත්, පර්වත මැදකට හෝ පැමිණියත් බුදුවරුන්ගේ කතාවක දෙවිධියක් නැත. මා කී තැනින්ම ඔහු පොළොවට පිවිසේනනේමයයි වදාරා දහම්දෙසමින් මේ ගාථාවද වදාළහ:
අහසෙහි උඩට හෝ
මුහුදෙහි පතුළටම හෝ
පරුවත මැදක ගොස් හෝ
පව්කර සිටින කෙනෙකුට
මෙ කියූ තැන්වලට ගොස්
මරුගෙන් මිදෙනු නොහැකිය
එහි නප්පසහෙථ මච්චු යනු යම් පෙදෙසක සිට මරණය නොඉවසා, එයට යටත් නොවී සිටීමට පුළුවන් කෙස් අගක් ප්‍රමාණවූ පෘථිවි ප්‍රදේශයක් නැත. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සත්වෙනි දිනයෙහි බුදුරදුන් භික්‍ෂාවෙහි හැසිර අවසන්වූ පසු යට ප්‍රාසාදයෙහි සුප්‍රබුද්ධගේ මංගල අශ්වයා මත්වී උද්දාමයෙන් ඒ ඒ බිත්තිවලට ගසන්ට පටන් ගත්තේය. උඩ සිටි සුප්‍රබුද්ධ මේ අසා ඒ කිනම් ශබ්දයක්දැයි විමසීය. මගුල් අසු මත්වී බිත්තිවලට ගසන ශබ්දය යයි දැනගත්තේය. ඒ අශ්වයාත් සුප්‍රබුද්ධ දැකම සන්සුන් වන්නෙකි. ඉන්පසු ඔහු අසු නැවැත්වීම සඳහා හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ආවේය. දොරවල් තමන්ම විවෘත විය. හිණිමග සිය ස්ථානයේම පිහිටියේය. දොරටුවේ සිටි මල්ලවයන් ඔහු බෙල්ලෙන් අල්ලාගෙන යටට තල්ලුකර දැම්මේය. මේ ආකාරයෙන්ම මහල් සතේම දොරවල් ඉබේම විවෘත විය. හිණිමං තිබුණු තැන්වලම නැවත පිහිටියේය. ඒ ඒ මහල්වල සිටි රැකවල්ලු ඔහු බෙල්ලෙන් අල්ලා යට මහල්වලටම තල්ලුකර දැම්මේය. ඉන්පසු ඔහු යටම මහලේ හිණිමංමුලට පැමිණෙනවාත් සමග මහපොළොව පැලී විවරව ඔහු පිළිගත්තේය. හෙතෙම ගොස් නිරයෙහි උපන්නේය.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පාපවර්ග වර්ණනාව නිමියේය.
නවවෙනි වර්ගයයි.