9. චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නා ඥානයාගේ කෘත්‍යය වශයෙන් ද විනිශ්චය
(i) අනුබොධ ඥානය
(ii) ප්‍රතිවේධ ඥානය යි ඥානය දෙපරිදි වේ.
(i) නිරෝධ-මාර්‍ග සත්‍යයන් අනුශ්‍රවාදී වශයෙන් මෙනෙහි කිරීමේදී කාමාවචර මහා කුසල චිත්තයෙහි උපදනා ප්‍රඥා චෛතසිකය අනුබෝධ ඥානය යැ. එය ලෞකික යැ.
(ii) ප්‍රතිවේධ ඥානය ලෝකෝත්තරයැ. එය නිවන් අරමුණු කොට දුඃඛ සත්‍යය පිරිසිඳින, සමුදය සත්‍යය ප්‍රහාණය කරන, නිරොධ සත්‍යය සාක්‍ෂාත් කරන, මාර්‍ගසත්‍යය වඩන මාර්‍ග චිත්ත යෙහි උපදනා ප්‍රඥාවයි. ප්‍රදීපය අඳුරු නැසීමය, තෙල් සිඳුවීමය, එළිය පැතිරැවීමය, පහන් වැටිය දැවීමය, යන කෘත්‍ය සතරක් එකවිට කරන්නාක් මෙනි.
ඒ මෙසේයි:- යො ඛො භික්ඛවෙ දුක්ඛං පස්සති, දුක්ඛ සමුදයම්පි සො පස්සති. දුක්ඛ නිරොධම්පි පස්සති දුක්ඛ නිරොධ ගාමිනී පටිපදම්පි පස්සති[1] ‘යමෙක් දුක දකීනම් හේ දුක්ඛ සමුදය ද (ප්‍රහණයන කිරීම් වශයෙන්) දකී. දුක්ඛ නිරොධය ද (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) දකී, දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදාව ද (පිළිපැදීම් වශයෙන්) දකී’ යයි කියායි. මින් එකක් දක්නේ පෙර පසු නොවී එවකට සියල්ල දකී. මේ ඥාන කෘත්‍ය විස්තරය ඥාන දර්‍ශන විශුද්ධියෙහි මතු පළ වේ. ලෞකික ඥානයෙහි පරියුඨාන අභිභවන වශයෙන් (ශුද්ධ සංස්කාරා පුඤජ වශයෙන්) මෙහි දුඃඛ ඥානය සත්කාය දෘෂ්ටිය වළකයි. සමුදය ඥානය හේතු-ඵල පරම්පරාවගේ අවිච්ඡෙද වශයෙන් දැකීමෙන් උච්ඡේද දෘෂ්ටිය වළකයි.
විස්තර:- “ලොක සමුදයං ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්‍ථිතා සා නහොති”[2] ‘කච්චානය! ලෝක සමුදයය තතු සේ සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහු ගේ ලෝකයෙහි නාස්තික දෘෂ්ටියෙක් වේ නම් ඒ පහවේ’ යයි වදාළ හෙයින් සමුදය දැනීමෙන් හේතු-ඵලයන් ගේ අවිච්ඡේදය වන හෙයින් උච්ඡේද දෘෂ්ටිය සිඳේ.
“ලොක නිරොධං ඛො කච්චාන -ලෙ- පස්සතො යා ලොකෙ අත්‍ථිතා සා න හොති”2 කච්චානය! ලෝක නිරෝධය සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහු ගේ ලෝකයෙහි අස්තිත්‍ව සඞ්ඛ්‍යාත ශාස්වත දෘෂ්ටියක් වේ නම් එය ප්‍රහීණ වේ’ යයි වදාළ හෙයින් නිරෝධය දැනීම ‘හේතු නිරෝධයෙහි ඵල නිරෝධය වේ’ යයි දන්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය ප්‍රහීණ වේ.
“නත්‍ථි අත්තකාරෙ නත්‍ථි පරකොරෙ නත්‍ථි පුරිසකාරෙ”[3] (යනාදීන්) ‘තමා කළ කර්‍මාදියට විපාක නැත. මෙරමා කළ කර්‍මාදියට විපාක නැත. පුරුෂයා කළ කර්‍මාදියට විපාක නැත, යනාදි අත්තකාරාදිය ප්‍රත්‍යක්‍ෂ සේ දක්නා හෙයින් ඒ මාර්‍ග ඥානයෙන් අකිරිය දෘෂ්ටිය ප්‍රහීණ වේ.
“නත්‍ථිහෙතු නත්‍ථි පච්චයො සත්තානං සංකිලෙසාය අහෙතු අප්පච්චයා සත්තා සංකිළිස්සන්ති නත්‍ථි හෙතු -පෙ- විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති”[4] සත්ත්‍වයන් ගේ කෙළසීමට හේතු ප්‍රත්‍ය ය නැති. අහේතු අප්‍රත්‍යය වැ සත්ත්‍වයෝ කෙළෙසෙති. සත්ත්‍වයන් ගේ විශුද්ධියට ද හේතු ප්‍රත්‍යය නැති අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති’ යි යනාදි අහේතුක දෘෂ්ටිය ද (මෙහි අකිරිය දෘෂ්ටියෙන් ම ගැනේ) (විශුද්ධ) මාර්‍ග දර්‍ශනයෙන් ප්‍රහීණ වේ.
තවද ක්‍රමයෙකි:- ‘දුක්ඛ සත්‍ය ඥානය, සමුදය සත්‍ය ඵලය වූ දුක්ඛ සත්‍යාය ගේ අද්ධුවාදී භාවය දකීනුයි’ ඵලයෙහි වරදවා ගැනීම වලකා,
(1) ‘ඊශ්වරයා ලෝකය පවත්වයි, පිළියෙළ කරයි, නසායයි’ ඊශ්වර නිර්‍මාණවාදීහු කියති.
(2) ප්‍රධානයෙන් (ප්‍රකෘතියෙන්) ලෝකය පහළ වෙයි. එහිමැ නැවත ඇලේය’ යි ප්‍රකෘතිවාදීහු කියති.
(3) කාලය භූතයන් මවයි. කාලය සත්ත්‍වයන් නසයි. කාලය නිදන්නවුන් පුබුදුවයි. එහෙයින් කාලය ඉක්මවිය නොහේ, ය යි කාලවාදීහු කියති.
(4) ‘කටුවෙහි තියුණු භාවය මෙන් ද, ගිවුළු ඵල වටවන්නාක් මෙන් ද, මෘග-පක්‍ෂි-සර්පාදීන් නා නා අයුරින් විසිතුරු වන්නාක් මෙන් ද, ස්වභාවයෙන් මැ ලෝකය හටගනී. ප්‍රකෘතියෙන් මැ විනාශ වේ’ ය යි ස්වභාවවාදීහුද කියති.
(5) ‘පරමාණුන්ගෙන් ලෝකය පවතී’ය යි ආජීවකයෝ කියති. (එද ස්වභාවවාදයෙහි මැ ඇතුළත් වේ.)
(6) ‘සියල්ල පූර්‍ව කර්‍ම හේතුවෙන් වේය’යි පුබ්බෙකතහෙතුවාදීහු කියති.
(7) ‘නොසිඳෙන හුයක ඇමුණු නො බිඳෙන මැණිකක් සේ ලෝකය නියත යැ. මෙහි කිසිවකු ගේ පුරුෂ කාර්‍ය්‍ය නැතැයි’ නියතිවාදීහු කියති.
(8) ‘ප්‍රජාව කැමති සේ පවතී. කැමති සේ නවති. කැමති සේ සැප දුක් විඳී. එහෙයින් ලෝකය ඉච්ඡානුරූපවැ වේ’ ය යි යදිච්ඡාවාදීහු කියති.
මෙකී අකාරණවාදී සංඛ්‍යාවට ප්‍රධානාදිය ඇතුළත් වේ සමුදය දර්‍ශනයෙන් ඒවා වළක්වයි.
තවද-
නිරොධඥානය, රාම උද්දකාදීන්ට (ආළාරකාලාම, උද්දකරාම පුත්‍ර) මෙන් අරූපලෝකයෙහිද, (නිගණ්ඨ) නාථපුත්‍රාදීන්ට මෙන් අසංඥසත්‍වයෙහි ද[5] මෝක්‍ෂයයි ගැනීම වළක්වයි.
(ආදි ශබ්දයෙන්, ප්‍රධාන සංඛ්‍යාත ප්‍රකෘතිහු ගේ හෙවත් අව්‍යක්තයා ගේ මහත්ත්‍වාදිභාවයෙන් අප්‍රකාශ භාවය හෝ ‘මම අනෙකෙක්මි. ප්‍රකෘතිය අනෙකකැ යි’ මෙසේ පැවති ප්‍රකෘති පුරුෂ දෙදෙනා අතර දැනීමෙන් ආත්ම-සුඛ-දුඃඛ-මොහයන් විභාග කොට නො ගැන්ම වැළකූ කල්හි කීපරිද්දෙන් ප්‍රකෘතිය නො පවතී නම් ඒ විමොක්‍ෂයයි ගන්නා කපිල මතය ද,
බුද්‍ධි- සුඛ- දුඃඛ- ඊප්සා- ද්වේෂ- ප්‍රයත්න- ධම්මාධර්‍ම- සංස්කාර යන නවවිධ ආත්ම ගුණයෙන් විප්‍රයුක්ත වූවහු ගේ විමොක්‍ෂය වේය යන කණාද මතය ද,
පරබ්‍රහ්මයා හා සහවාසය, සමීපවැ පැවැත්ම, එකීභාවයට පැමිණීම විමෝක්‍ෂය යන මිථයාවිමෝක්‍ෂය ද වළක්වයි.
මාර්‍ග ඥානය තෙමේ:- ඉන්ද්‍රිය පිනවීමය, පුත්‍රමුඛ දර්‍ශනය යනාදිය හැර අපවර්‍ගයක් නැතැයි ගන්නා කාමසුඛල්ලිකානු යෝගය ද,
‘අනසන වෘත්තිය, කෙස් ඉගිලීම ආදි තපස්වරණය ද නග්න ශීල- ගෝශීල- කුක්කුර ශීලාදීන් ආත්මතාපනයෙන් මෝක්‍ෂය වේය, යන ආත්මකලමථුව ද යන මොවුන්ගේ වශයෙන් පැවති අවිශුද්ධි මාර්‍ගයෙහි විශුද්‍ධි මාර්‍ගය යි’ උපාය මාර්‍ගයෙහි වරදවා ගැනීම ද වළක්වයි.
එහෙයින් වදාළහ.
ලොකෙ ලොකප්පභවෙ - ලොකත්‍ථගමෙ සීවෙ ච තදුපායෙ
සම්මුය්හති තාව නරො - න විජානාති යාව සච්චානි[6]
‘සත්ත්‍වතෙමේ සත්‍යයන් අවබෝධ නොකරනතාක් සංස්කාර ලෝකයෙහි ද, සංස්කාර ලෝකයාගේ හේතුවෙහි ද, සංස්කාර නිරෝධය වූ නිර්වාණයෙහි ද, නිර්‍වාණාධිගමයට උපාය වූ මාර්‍ගයෙහි ද මුළා වේ.
මේ කෘත්‍ය වශයෙන් විනිශ්චය යි.