දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා නිර්‍දෙශයෙහි “කතමං දුක්ඛනිරොධ ගාමිනී පටිපදා අරියසච්චං”[1] යනාදීන් වදාරන ලද අෂ්ට ධර්‍මයෝ පෙර ස්කන්‍ධ නිර්‍දෙශයෙහි (සංස්කාර ස්කන්‍ධයෙහි) අර්‍ථ වශයෙන් ද ප්‍රකාශ කරන ලදහ. (එහෙත් මාර්‍ග වශයෙන් නොකියන ලදහ.)
මෙය වනාහි එවකට පවත්නා ඒ මාර්‍ගධර්‍මයන් ගේ ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් නැසීම් ආදී ප්‍රවෘත්ති ආකාරයෙන් විශේෂාවබෝධය පිණිස කියම්හ. (පෙර විඥානස්කන්‍ධ නිර්‍දෙශයෙහි කී ලෞකික කුශල චිත්තොත්පාදයෙහි විරතීහු නානා ක්‍ෂණිකවැ ම උපදනාහු ය. සෙස්සෝ එහි ද එවකට උපදනාහ.)
සම්මාදිට්ඨි ආදීන් සැකෙවින් මෙසේ ය.
1. සම්මාදිට්ඨි:- චතුස්සත්‍ය ප්‍රතිවේධය පිණිස පූර්‍වභාග ප්‍රතිපදා පූරණ වශයෙන් පිළිපන්නා වූ (ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රතිවේධ සඞ්ඛ්‍යාත යො කර්‍මයෙහි යෙදුණු) යෝගීහූගේ නිර්‍වාණලම්බන වූ අවිද්‍යානුශය සමුච්ඡේද කරන (සෘජුව අවිද්‍යාව නසන) හෙයින් විද්‍යා නම් වූ ප්‍රඥා චක්‍ෂුස සම්මාදිට්ඨි නම. එය අවිපරීත දැකීම ලක්‍ෂණ යැ. චතුස්සත්‍යය ප්‍රකාශ කිරීම එහි කෘත්‍ය යැ. අවිද්‍යාන්‍ධකාර විධ්වංසනය කිරීම වැටහෙන ආකාරය යි.
2. සම්මාසඞ්කප්ප:- එසේ මාර්‍ග සම්‍යක් දෘෂ්ටියෙන් සම්පූර්ණ දෘෂ්ටි ඇත්තහු ගේ ඒ හා සම්ප්‍රයුක්ත වූ කාම සංකල්පාදි මිථ්‍යා සංකල්ප සමුච්ඡේද කරමින් සිත නිර්‍වාණලම්බනයෙහි අභිනරොපණය (නැංවීම) කරන්නේ සම්මාසඞ්කප්ප නමි. එය සිත මනාව නිවන් අරමුණට නැංවීම ලක්‍ෂණ යැ. සිත නිවනෙහි ඇලවීම එහි කෘත්‍යය යැ. කාමසංකල්පාදි මිථ්‍යාසංකල්ප ප්‍රහාණය වැටහෙන ආකාරයයි.
3. සම්මා වාචා:- එසේ සම්‍යක් දෘෂ්ටි, සම්‍යක් සංකල්පයෙන් ද යුක්ත වූවහුගේ ඒ හා සම්ප්‍රයුක්ත වූ චතුර්විධ වාග් දුශ්චරිතය සමුච්ඡේද ප්‍රහාණය කරමින් මිථ්‍යා වචනයෙන් විරමණය සම්මා වාචා නමි. එය සම්ප්‍රයුක්ත ධර්‍මයන් මනාකොට නුවණින් ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය. මිථ්‍යා වචනයෙන් වෙන්වීම එහි කෘත්‍යය යැ. මිථ්‍යා වචනයාගේ ප්‍රහාණය වැටහෙන ආකාරය යි.
4. සම්මාකම්මන්ත:- ඒ මිථ්‍යා වචනයෙන් වෙන්වූවහුගේ ඒ සම්‍යක් වචනය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රාණ වධාදි මිථ්‍යා කර්‍මාන්ත සමුච්ඡේද කරමින් කාය දුශ්චරිතයෙන් විරමණය සම්මාකම්මන්ත නමි. එය තමා හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් මනාව නගා සිටුවීම ලක්‍ෂණය යැ. මිථ්‍යා කර්‍මාන්තයෙන් වැළකීම එහි කෘත්‍යය යැ. මිථ්‍යා කර්‍මාන්ත බැහැර කිරීම වැටහෙන ආකාරය යි.
5. සම්මා ආජීව:- ඒ යෝගීහු ගේ ඒ සම්මාවාචා, කර්‍මාන්ත දෙකෙහි විශුද්‍ධිය වූ ඒ හා සම්ප්‍රයුක්ත වූ කුහන- ලපනාදීන් සමුච්ඡේදය කරන මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම වූ යම් විරතියෙක් වේ නම් එය සම්මා ආජීව නමි. එය සම්ප්‍රයුක්ත ධර්‍මයන් පිරිසිදු කිරීම ලක්‍ෂණය යැ. ඤායජීවයා ගේ (බුද්ධපතිකුඨ නො වූ මනා ආජීවයා ගේ පැවැත්මට හේතුවන හෙයිනි.) පැවැත් එහි කෘත්‍යය යැ. මිථ්‍යාජිවිකා ප්‍රහාණය වැටහෙන ආකාරය යි.
6. සම්මා වායාම:- (අනතුරුව ඒ සම්මාවාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව සඞ්ඛ්‍යාත සීල භූමියෙහි සිටියහු ගේ) සියලු අකුසල් නසන කුසීත බව සිඳින වීර්‍ය්‍යය සම්මා වායාම නමි. එය උත්සාහ කිරීම ලක්‍ෂණය යැ. නූපන් අකුසල් නිපදවීම, උපන් අකුසල් පහකිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් රැකීම ද එහි කෘත්‍යය යැ. මිථ්‍යාව්‍යායාම ප්‍රහාණය වැටහෙන ආකාරය යි.
7. සම්මා සති:- මෙසේ ව්‍යායාම ඇත්තහු ගේ අශුභාදීන්හි ශුභාදි ආකාරයෙන් වැටහෙන ස්වභාවය බැහැර කරන්නා වූ චිත්තයා ගේ නුමුළා බව සම්මාසති නමි. ආලම්බනයා ගේ යථා ස්වභාවය වැටහීම එහි ලක්‍ෂණය යැ. එහි නුමුළා බව කෘත්‍යය යැ. මිථ්‍යා ස්මෘති ප්‍රහාණය වැටහෙන ආකාරයයි.
8. සම්මා සමාධි:- ඒ ස්මෘතිය හා සම්ප්‍රයුක්ත වූ මිථ්‍යා සමාධිය නසන එත්තෛකාග්‍රතාවය සම්මාසමාධි නමි. එය අවික්‍ෂේපය ලක්‍ෂණය යැ. මනාව පිහිටීම එහි කෘත්‍යය යැ. මිථ්‍යාසමාධි ප්‍රහාණය කිරීම (ඵලය) වැටහෙන ආකාරය යි.
මේ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා නිර්‍දෙශයෙහි ක්‍රමය යි.
මෙසේ මේ සත්‍ය නිර්‍දෙශයෙහි ජාත්‍යාදීන් ගේ විනිශ්චය දතයුතු.
-
වි:ප: සච්චවිභඞ්ග 81 ↑