(29) ජාතිප්පභුතිකං දුක්ඛා - යං වුත්ත මිධ තාදිනා
අවුත්තං යං ව තං සබ්බං - විනා එතෙ න විජ්ජති.
(30) යස්මා තස්මා උපාදානක්ඛන්‍ධා සංඛෙපතො ඉමෙ
දුක්ඛාති වුත්තා දුක්ඛන්ත - දෙසකෙන මහෙසිනා1
(29) “ඉපැදුම පටන් යම් - මෙහි කී සියල් දුක් හා
නො කියනලදද එසියල් - මෙ විනා නො පවතී මැයි
(30) එයින් ‘පස් උවදා - කඳු[1] සැකෙවින් මෙතන්හි
දුක යැයි දුක‘ත් පිළිවිදී[2] - ලෝහිමියා වදාළේ
දරට ගින්න මෙන් ද, අවිපහරට ඉලක්කය මෙන් ද, මැසි මදුරු ආදීනට ගවයා මෙන්ද, ගොවියනට ගොයම් මෙන්ද, ගම් පහරනනවුනට ගම මෙන් ද, උපාදානස්කන්‍ධපඤ්චකයම ජාත්‍යාදි දුකට වස්තු වෙයි. ඒ ජාත්‍යාදීහු නන් අයුරින් පෙළමින් භූමයෙහි තෘණ - ලතා මෙන් ද, වෘක්‍ෂයන්හි පුෂ්ප-ඵල-පල්ලවයන් මෙන්ද, උපාදානස්කන්‍ධයන්හි මැ හටගනිත්.
උපාදානස්කන්‍ධයන් ගේ ප්‍රථම දුක ජාතිය යැ. ජරාව මධ්‍ය දුක යැ. මරණය අවසාන දුකයි. මාරාන්තික දුකින් පෙළෙමින් සිත් තැවුලෙන් හටගන්නා දුක ශොකය යි.
එය ඉවසිය නොහැකි බැවින් හැද්‍ධිමෙන් වන්නා වූ දක පරිදේවය යි.
ධාතුක්‍ෂොභාදි අනිෂ්ට ස්පර්‍ශයෙන් ශරීරයේ පීඩා ඉපදීම කායික දුකයැ.
එයින් පීඩිත වූ පෘථග්ජනයා ගේ එහි ක්‍රෝධ ඉපදීමෙන් සිත පෙළීම දොමනස්ස යැ.
ශෝකාදිය වැඩීමෙන් උපන් චිත්ත කලාන්න ඇත්තවුන් ගේ සිතිවිලි සිතීමෙන් උපදනා දුක උපායාය යැ.
චිත්තාභිලාශ විඝාතයට පැමිණියවුන් ගේ අභිමත වස්තු ප්‍රාර්ථනා කිරීමෙන් හටගන්නා දුක ඉච්ඡාවිඝාතය යි.
මෙසේ නන් අයුරින් පරීක්‍ෂා කරන්නවුන්ගේ උපාදානස්කන්‍ධයෝම දුඃඛයෝ යි.
එකී ජාත්‍යාදීන්ගේ ම එකක් එකක් ම අක්‍ෂි රෝග දුඃඛාදි වශයෙන් දක්වා දේශනා කළහොත් බොහෝ කල්ප ගණනකිනුදු මේ දුඃඛ සත්‍යය නිරවශෙෂයෙන් වදාළ නොහැක්කේ යි.
එහෙයින් එක් දිය බිඳකින් සියලු සමුද්‍ර ජලයෙහි රසය හකුළුවා දක්වන්නා සේ මේ පඤ්චොපාදානස්කන්‍ධයෙහි හකුළුවා දක්වනු පිණිස “සඞ්ඛිත්තෙන පඤ්චුපදානස්කඛන්‍ධා දුක්ඛා”[3] යි සැකෙවින් පඤ්චුපාදානස්කන්‍දය දුකය’ යි වදාළහ.
මේ උපාදානස්කන්‍ධ දුඃඛයෙහි විනිශ්චය යි.
මේ දුඃඛ නිර්‍දෙශය යි.