සමුදය සත්‍යය වදාරන සර්‍වඥයන් වහන්සේ විසින් “යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනි සෙය්‍යථි දං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”[1] යී පුනර්‍භවය කරන ඇලෙන රාගය හා ඒකී භාවයට පැමිණි ඒ ඒ ආත්මභාවයෙහි හෝ ඒ ඒ රූපාදි ආලම්බනයෙහි හෝ අතිශයින් සතුටු වූ කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණායැ යි විභව තෘෂ්ණායැ යි යම්බඳු තෘෂ්ණාවක් වදාරන ලද්දේ ද, ඒ මේ සමුදායර්‍ය්‍ය සත්‍යය යි.
විස්තර :- යායංතණ්හා = යම් එ තෘෂ්ණාවක්
පොනොභවිකා = පුනර්‍භවය කරන ස්වභාවය ඇත්තී ය.
ප්‍රශ්න:- දෙවන භවයක් දෙන්නා වූ තෘෂ්ණාවක් ද නො දෙන තෘෂ්ණාවක් ද ඇත. එහෙයින් මෙහි අවිශේෂයෙන් “පොනොභවිකා” යි කීයේ කුමක් හෙයින් ද
පිළිතුරු:- විශේෂ ප්‍රත්‍යයයන් ගේ සමවායෙන් පුනර්‍භවය දෙන්නා වූ තෘෂ්ණාව පුනර්‍භවය දෙයි. පුනර්‍භවය නො දෙන තෘෂ්ණාව විශේෂ ප්‍රත්‍යයන් ගේ සමාගමය නැති කල්හි පුනර්භවය නො දෙයි. එහෙත් ඒ තෘෂ්ණාව ද පුනර්‍භව දාන ස්වභාවය නො ඉක්ම පවත්නාහෙයින් “පුනබ්භව දාන සීලා” යි තද්ධිත විසින් පුනර්‍භවය දෙන ස්වභාවය සුදුසු හෙයින් හෝ “පොනොභවිකා”යි අවිශේෂයෙන් කී බව් දත යුතු.
නන්‍දිරාග සහගතා = චිත්තයා ගේ බැඳෙන බව හෝ ඉපිළෙන බව හෝ පොපියන බව නන්‍දි නම, වර්‍ණයකින් වස්ත්‍රයක් රඳන්නා සේ චිත්තය අන්‍ය වර්‍ණයකට (රාගයකට) පමුණුවනුයේ රාගයයි. තෘෂ්ණාව ද මේ අර්‍ථයෙන් ම ඒකත්‍වයෙහි පවත්නා හෙයින් නන්‍දිරාග සහගතා නම.
තත්‍ර තත්‍රාභිනන්‍දිනී = එ තෘෂ්ණාවෙන් මැ සත්ත්‍වයෝ ඒ ඒ පණු, පළඟැටි, කුහුඹු ආදි ආත්මභාවයෙහි ද සතුටුව රූපාදීන් අභිනන්‍දනයන වූ තෘෂ්ණාවෙන් ඇලෙත් නුයි තෘෂ්ණාවමැ තත්‍රතත්‍රාභානන්‍දිනී, නම. ඕ කාම, භව, විභව වශයෙන් ත්‍රිවිධ වේ. (එය මතු පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි දැක්වේ.)
ප්‍රශ්න:- මේ තෘෂ්ණාව මැ කුමක් හෙයින් සමුදය සත්‍යය යි කියන ලද ද
පිළිතුර:- විශේෂ හේතු බැවිනි. අවිද්‍යාව බෙහෙවි ආදීනව වසයි. දිට්ඨි උපාදානාදිය ඒ ඒ භවයෙිහ අභිනිවිසමාන තෘෂ්ණාව වඩයි.
“ද්වේෂාදීහු ද කර්‍මයට කාරණ වෙති. තෘෂ්ණාව වනාහි ඒ ඒ භව-යොනි-ගති විඥානස්ථිති - සත්ත්‍වවාස-සත්ත්ව නිකාය-කුල - භොගෛශ්චර්‍ය්‍යාදි විචිත්‍රතාව ප්‍රාර්ථනය කරන්නී කර්‍මචිත්‍රතාවයට උපනිශ්‍රය බවට ද, කර්‍මයට සහාය බවට ද, යන්නී භාවාදීන්ගේ විචිත්‍රතාවය නියම කෙරේ.
මෙසේ දුඃඛයට විශේෂ හේතු බැවින් සූත්‍රයෙහි වදාළ සෙසු අවිද්‍යා-උපදාන-කර්‍මාදි හේතූන් ඇත ද අභිධර්‍මයෙහි වදාළ-අශේෂ කේලශ-කුශල මූලාදි හේතූන් ඇත ද, තෘෂ්ණාවම සමුදය සත්‍යයැයි කියනලදැ යි දතයුතු” (යනු සන්‍යයි)
මෙහි දැක්වෙන ත්‍රිවිධ තෘෂ්ණාව ම දුඃඛ සත්‍යය උපදවන අර්‍ථයෙන් එකක් සේ ගෙන දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කීහු.
මේ සමුදය සත්‍ය නිර්‍දෙශයයි.
-
වි:ප: සච්චවිභඞ්ග 78 ↑