5. අර්‍ථ උද්ධාර වශයෙන්

star_outline

මේ සත්‍ය ශබ්දය නොයෙක් අර්‍ථයන්හි දක්නා ලැබේ. “සච්චං භණෙ න කුජෙඣය්‍ය”[1] ‘සැබූ තෙපුලක් කියන්නේ ය, නො කිපෙන්නේ ය’ යනාදි තන්හි වාක් සත්‍යයෙහි යැ.

“සච්චෙ ඨිතා සමණබ්‍රාහ්මණා” ‘මහණ බමුණෝ මුසාවාදයෙන් වැළකී සිටියහ.’ මෙහි මුසාවාදයෙන් වැළකීමෙහි යැ.

කසමානු සච්චානි වදන්ති නා නා - පවාදියාසෙ කුසලා වදානං” ‘අනෙක ප්‍ර‍කාර ප්‍ර‍වාදීන් ගේ මතයෙහි දක්‍ෂ ප්‍රාඥයෝ කුමක් හෙයින් මාගේ දෘෂ්ටිය සැබෑ යයි කියද්ද, මෙහි නියත දෘෂ්ටි සත්‍යයෙහි දක්නා ලැබේ.

“එකංගි සච්චං න දුතියමත්‍ථි”[2] සත්‍යය එකක්මය දෙවැන්නෙක් නැති.’ මෙහි පරමාර්‍ථ සත්‍යය වූ මාර්‍ගයෙහි හා නිර්‍වාණයෙහි යැ.

“චතුන්නං අරියසච්චානං කති කුසලා”[3] ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අතුරින් කුසල කොතෙක්ද, මේ ආර්‍ය්‍ය සත්‍යයෙහි යැ. මෙසේ අර්‍ථයන් ගේ උද්ධරණ වශයෙන් දේශනායෙහි ඒ ඒ තන්හි සත්‍ය ශබ්දයේ අර්‍ථ යෙදුනු පරිදි දතයුතු.

  1. ධ:ප: කොධවග්ග 21

  2. සූ:නි: අඨකවග්ග

  3. වි:ප: සච්චවිභඞ්ග 87