යම් ස්වභාවයක් ළංවැ නුවණින් (ඇති සැටි) පරීක්ෂා කරන්නහුට පිත්තල ස්වර්‍ණ සේ පැනෙන්නාක් මෙන් ඇති වස්තුවක් අන්‍ය වස්තුවක් සේ විපරීත වැ වැටහෙන මායාවක් මෙන් ද නොවැ, මිරිඟු දියක් මෙන් නැති දෙයක් ඇති සේ වැටහෙන මුළාවීමක් ද නොවැ, තීර්ථකයන් ගේ ආත්මය සේ පරමාර්‍ථ වශයෙන් නො ලැබෙන ස්වභාවයක් ද නොවැ, එකාන්තයෙන් පෙළීම ය, එයට හේතුව ය, සංසිඳීම ය, හික්මීම ය, යන ප්‍රකාර ඇති අවිපරීත වූ විද්‍යාමාන ස්වභාවයෙන් ආර්‍ය්‍ය මාර්‍ගඥානයට හා ප්‍රත්‍යවේක්‍ෂාඥානයන්ට ගෝචර වනුයේ සත්‍යාර්‍ථ යි.
එය කිසි තැනෙක කෘෂ්ටාදි (උපාදාන) දැල්වීමට ගන්නා ද්‍රව්‍ය භෙදය ඇත ද, ගින්නෙහි උෂ්ණත්වය ස්වාභාවික ලක්‍ෂණය වන්නා සේ ද, ජාති-ජරා-මරණ ස්වභාවය ලෝකයෙහි ප්‍රකෘතිය වන්නා සේ ද, ඇත්තා වූ ම අවිපරීත ස්වභාවය සත්‍යාර්‍ථය යි එයින් වදාළහ.
“ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං”[1]
‘මහණෙනි මේ දුකය යනු ස්වභාය යැ. බොරු නොවේ. වෙනස් නො වේ.’
විස්තර:- දර - තණ - ගොම ආදි දැල්වෙන ද්‍රව්‍ය කුමක් වුවත් ගින්නෙහි උෂ්ණත්වය ස්වාභාවිකව පවතින්නාක් මෙන් ද, ලෝකයා ගේ ඉපදීම ජරා, මරණ යන ස්වභාවයන් හා මනුෂ්‍යයන්ගේ කෙළින් යාම තිරිසනුන්ගේ හරහට යාම ආදි ස්වභාව එකාන්තයෙන් ලෝකයෙහි එක සේ පවතී ද, සත්‍යාර්‍ථය ද එසේමැ යි.
(1) නාබාධකං යතොදුක්ඛං - දුක්ඛා අඤ්ඤං නබාධකං
බාධකත්තිනියාමෙන - තතොසච්චමිදං මතං
(2) තංවිනානාඤ්ඤතො දුක්ඛං - නහොතිනච ත තතො
දුක්ඛ හෙතු නියාමෙන - ඉතිසච්චං විසත්තිකා
(3) නාඤ්ඤානිබ්බාණ තො සන්ති - සන්තං නව නතංයතො
සන්තභාව නියාමෙන - තතොසච්චමිදං මතං
(4) මග්ගානඤ්ඤං න නීය්‍යානං - අනීයානො නචාපිසො
තච්ඡනීයාන භාවත්තා - ඉතිසො සච්චසම්මතො
(5) ඉතිතච්ඡා‘විපල්ලාස - භූතභාවං චතුසච්පි
දුක්ඛාදිසචවිසෙසෙන - සච්චඨං ආහුපණ්ඩිතා[2]
(1) නොපෙළනු නොවනුයෙන් - පෙළන අනෙකක් නැතියෙන්
එකතින් සත පෙළනුයෙන් - මෙ දුක් සස් ඉන් දතුයේ
(2) එ විනා අනෙකකින් - දුක නොවැ, ඉන්ම වනුයෙන්
දුක් හෙය බැවින් එකතින් - තණසස්[3] නමැයි දතුයේ
(3) නිවන හැර සැනසුම් - නැති එමැ සව් සකර දම්
සංසිඳුවනෙන් නියමින් - නිරොදසස්[4] යැයි දතුයේ
(4) මෙ මුත් පමුණන අන් - නැති, පමුණුවනු එමැ වේ
එකතින් පමුණුවනුයෙන් - මගසස්[5] විසින් දතුයේ
(5) මෙසේ සත් - නොපෙරැළි - පැවැති - සැබැවින් මෙ සතර
දුක් ඇහි නො වෙසෙන්නෙන් - පඩිහු සස් අරුතැයි යූ
මෙසේ චතුස්සත්‍යයෙහි මැ සත්‍ය ස්වභාවය හා නො පෙරැළෙන ස්වභාවය සත්‍යාර්‍ථයැ යි වදාළහ.
මෙසේ විශේෂාර්ථ විනිශ්චය දතයුතු.