(2) නිර්වචන වශයෙන් :- “දුක්ඛසච්චං” යන්නෙහි “දු” යන ශබ්දය (පිළිකුල් කටයුතු පුත්‍රයාට ‘දූ පුත්ත’ යයි කියන්නා සේ) පිළිකුල් කටයුතු අර්‍ථයෙහි වැටේ.
“ඛ” යනු හිස් ය යන අර්‍ථයෙහි වේ. හිස් වූ අහසට “ඛ” යයි කියනු ලැබේ.
විස්තර :- මේ ප්‍රථම සත්‍යය අනේක උපද්‍රවයන් ගේ පිහිටීමට ස්ථාන වන හෙයින් පිළිකුල් කටයුතු ය. අඥානයන් විසින් සලකන ලද ධ්‍රව-සුඛ-සුභ-ආත්මයන්ගෙන් හිස් හෙයින් තුච්ඡ ය. මෙසේ පිළිකුල් කටයුතු හිස් බැවින් යුත් හෙයින් “දුක්ඛ” යයි කියනු ලැබේ.
සමුදය = (සං + උ + අය) යන මෙහි “සං” යනු සමාගමය = (සං + ආගම) සමෙත = (සං + එත) යනාදීන්හි මෙන් එක්කිරීම් අර්‍ථයෙහි වේ.
උදය යන්නෙහි “උ” යනු උප්පන්න - උදිත යනාදීන්හි මෙන් හටගැනීම කියයි.
‘අය’ ශබ්දය හේතුව ප්‍රකාශ කෙරේ.
මෙසේ දෙවෙනි සත්‍යය අන්‍ය ප්‍රත්‍යයන්ගෙන් යෙදීමක් ඇති කල්හි දුඃඛයා ගේ ඉපදීමට කාරණවන හෙයින් දුඃඛ සමුදයයි කියනු ලැබේ.
නිරෝධ = (නි + රොධ) මෙහි “නි” ශබ්දය අභාවාර්‍ථය කියයි. “රොධ” ශබ්දය හැසිරීම ප්‍රකාශ කෙරේ. එබැවින් සංසාරයා ගේ හැසිරීම් සඞ්ඛ්‍යාත දුඃඛයා ගේ අනුත්පාද නිරොධ වශයෙන් නිරවශේෂයෙන් වැළැක්ම වේ. එය අධිගත කල්හි ඒ පුද්ගලයා ගේ ප්‍රවෘත්තියට ප්‍රතිපක්ෂ බැවින් හෝ දුඃඛ නිරොධයයි කියනු ලැබේ.
මග්ග (දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා) අරමුණු කිරීම් වශයෙන් ඒ නිරෝධයට අභිමුඛවැ හටගැනීම හෝ දුඃඛයා ගේ නිරුද්ධ කිරීම වූ නිර්‍වාණය කරා පැමිණීමේ ප්‍රතිපත්තිය වන හෙයින් දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායැ යි කියනු ලැබේ.
මොවුහු බුද්ධාදි ආර්‍ය්‍යයන් ප්‍රතිවේධ කරන හෙයින් ආර්‍ය්‍ය සත්‍යයහ යි කියනු ලැබේ.
එයින් වදාළහ.
“චත්තාරිමානි භික්ඛවෙ අරියසච්චානි, කතමානි චත්තාරි -පෙ- ඉමානි ඛා භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි. අරියා ඉමානි පටිවිජ්ඣනති, තසමා අරියසච්චානීති වුච්චන්ති”[1]
‘මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. -පෙ- මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ යැ ආර්‍ය්‍යයෝ මේවා ප්‍රතිවේධ කරති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයහ යි කියනු ලැබෙත්.
විශේෂ :- (ප්‍රතිවේධ කළ පසු ලැබෙන බුද්ධාදි ව්‍යවහාරය අනාගතාර්‍ථය අතීතයෙහි ආරෝපණය කොට උපචාර හෙයින් කී නියායි.) එසේමැ “අරියෙහි පටිවිජ්ජතබ්බානි සච්චාති. අරිය සච්චානි” යි ‘ආර්‍ය්‍යයන් විසින් ප්‍රතිවේධ කටයුතු සත්‍යය ආර්‍ය්‍ය සත්‍යය’යි මධ්‍යපද ලෝපයෙන් කීහ. තවද ‘ආර්‍ය්‍යවූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ සත්‍ය’නුයි හෝ ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
එයින් වදාළහ.
“සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ -පෙ- සදෙව මනුස්සාය පජාය තථාගතො අරියො. තස්මා අරියසච්චානීති වුච්චන්ති”[2]
‘මහණෙනි! දෙවියන් සහිත මරුන් සහිත ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ ආර්‍ය්‍ය නම් වන සේක. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයහයි කියනු ලැබෙත්.”
තථාගතයන් වහන්සේ මේ ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කළ හෙයින් හෝ ආර්‍ය්‍ය නම් වන සේක.
එයින් වදාළහ :- “ඉමෙසං ඛො භික්ඛවෙ චතුත්තං අරිය සච්චානං අභිසම්බුදධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති”[3]
‘මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේ ආර්‍ය්‍යයයි කියනු ලැබෙත්.
තවද තථ-අවිතථ-අනඤ්ඤථ වන හෙයින් ආර්‍ය්‍යවූම සත්‍යනුයි’ ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
එයින් වදාළහ. “ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි තථානි අවිතථානි අනඤ්ඤථානි තසමා අරියසච්චානීති වුච්චනති”[4]
‘මහණෙනි, මෙම චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දුඃඛාදි ස්වභාව නො ඉක්මවන හෙයින් “තථයහ” ඒ දුඃඛාදිය එයට විරුද්ධ අදුඃඛාදිය නොවන හෙයින් “අවිතථය හ” දුඃඛාදිය සමුදයාදි අන්‍ය සත්‍යයකට නො පෙරළෙන හෙයින් “අනඤ්ඤථයහ”යි මෙසේ මේ ලක්‍ෂණයෙන් යුක්ත හෙයින් මේ සතර සත්‍යයෝ ආර්‍ය්‍ය සත්‍යයහයි කියනු ලැබෙත්.
මේය නිර්වචන නම්.