(6) භුමි වශයෙන් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-ඉත්‍ථි-පුරිස-සුඛ-දුක්ඛ-දෝමනස්ස යන මේ ඉන්‍ද්‍රියයෝ කාමාවචරහ.
මතින්‍ද්‍රිය - ජීවිතින්‍ද්‍රිය - උපෙක්ඛා ඉන්‍ද්‍රියයෝ ද, සද්ධා - විරිය - සති - සමාධි - පඤ්ඤා ඉන්‍ද්‍රිය යෝද චාතුර්භූමිකයෝ ය.
සෝමනස්සින්‍ද්‍රිය ය කාම-රූප-ලෝකෝත්තර භූමිත්‍රය පර්‍ය්‍යාපන්න යැ. අවසන්හි කියූ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි තුන ලෝකෝත්තර මැයි.
මේ මෙහි භූමි වශයෙන් විනිශ්චය යි.
ටීකාගත විස්තරයෙකි.
ප්‍රශ්න :- ඉන්‍ද්‍රිය දෙවිස්සක් වදාරන ලද්දේ කවර හෙයින්ද
පිළිතුර :- ඊශ්වරත්ව සඞ්ඛ්‍යාත පරමාධිපති භාවය කරන ධර්‍ම මෙතෙක් හෙයිනි.
ප්‍රවෘත්ති :- “ඡස්සුලොකො සමුප්පන්නා”[1] යි වදාළ පරිදි පැවැත්මට (මූල) නිශ්‍රය වූ අධ්‍යාත්මිකායතන සය මුල් වේ.
එයට උත්පත්ති හේතු වූ (ස්ත්‍රී-පුරුෂ ඉන්‍ද්‍රියද්වය) විසභාග වස්තු සංරාගයෙන් බෙහෙවින් උපදනා හෙයින් අනතුරු වැ භාවඉන්‍ද්‍රිය ද, ඔවුන්ගේ පැවැත්ම ජීවිතින්‍ද්‍රියයෙන් වන හෙයින් ආයු-ඨිති-යපනා-යාපනාදීන් ජීවිතින්‍ද්‍රියය ද,
ඉෂ්ටාදි සියලු විෂය රස විඳීම වේදනා වශයෙන් වන හෙයින් අනතුරු වැ වේදනාවදැයි මෙසේ පැවැත්මට නිශ්‍රය-සමුත්පාද-ස්ථිති-සම්භොග දැක්වීම සඳහා චක්ඛුන්‍ද්‍රිය යෙහි සිට උපෙක්ඛින්‍ද්‍රිය තෙක් තුදුස් ඉන්‍ද්‍රිය වදාළහ. එසේම පැවැත්මට හේතු වූ ශ්‍රද්ධාදි සෙසු ඉන්‍ද්‍රිය වදාළහ. නිර්‍වාණ නිශ්‍රිත කොට උපදවන ලද ශ්‍රද්ධාදි පඤ්චෙන්‍ද්‍රියයෝ නිවෘත්තියට නිශ්‍රයහ.
අනඤ්ඤාතාඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යෙන් විවට්ට වශයෙන් පළමුව ඉපැත්ම ද, විවට්ටයා ගේ අවස්ථානය අඤ්ඤින්‍ද්‍රියෙන් ද, උපභෝගය අඤ්ඤාතාවින්‍ද්‍රියයෙන්දැ යි මෙසේ මේ ඉන්‍ද්‍රියයන් මැ දෙසූහ.
මෙතෙකින් අභිප්‍රේතාර්‍ථ සිද්ධිය වන හෙයින් අන්‍යයන් ගේ නොදැක්වීම වේ. මෙයින් මැ මොවුන් ගේ දේශනා ක්‍රමය ද වර්‍ණනා කරන ලදී.
“සංවේ බහුල යති - ඉඳුරු සංවරැ පිහිටා
ඉඳුරන් සුපිරිසිඳ දැන - දුකු කෙළවර කරන්නේ”
මේ ඉන්‍ද්‍රියයන් ගේ විස්තර කථාව යැ.
ඉන්‍ද්‍රිය නිර්‍දෙශය නිමියේ ය.
-
සං:නි: දෙවතා සංයුත්ත 23 ↑