බෝධි පාක්ෂික ධර්ම

star_outline

බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ගඥානය ලබා ගැනීම පිණිස භාවනා කරන, යෝගාවචරයන් විසින් එය ලබා ගැනීමට උපකාර වන ධර්ම ද දත යුතු ය. ඒ ලෝකෝත්තර මාර්ගඥානය ලබා ගැනීමට උපකාර වන ධර්මයෝ බෝධි පාක්ෂික නම් වෙති. ඒ ධර්මයෝ සතිපට්ඨානය, සම්මප්පධානය, ඉද්ධිපාදය, ඉන්ද්‍රියය, බලය, බොජ්ඣංගය, මග්ගංගය යයි කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වෙති. ප්‍රභේද වශයෙන් සත් තිස් වැදෑරුම් වෙති. විදර්ශනා භාවනාව ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන් කළ යුත්තකි. විදර්ශනා වැඩීම ය, බෝධි පාක්ෂික ධර්ම වැඩීම ය යන මේ දෙක, කීමෙන් දෙකක් වුව ද, ක්‍රියා වශයෙන් එකක් ම ය. විදර්ශනා වැඩීම ම බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය. බෝධි පාක්ෂික ධර්ම වැඩීම ම විදර්ශනා වැඩීම ය.

විදර්ශනා වඩන යෝගාවචරයන් විසින් එය මැනවින් සිදු කර ගත හැකි වනු පිණිස බෝධි පාක්ෂික ධර්ම දත යුතු ය. දැන ඒවා නිතර මෙනෙහි කළ යුතු ය. තමන් කෙරෙහි ඒවා ඇති නැති බව නුවණින් විමැසිය යුතු ය. ඒවායින් යම් ධර්මයක් තමා කෙරෙහි නොමැති නම් එය ඇතිවන සැටියට පිළිපැදිය යුතු ය. බෝධි පාක්ෂික ධර්ම මෙනෙහි නො කරන යෝගාවචරයනට තමන් කරන භාවනාව පිළිබඳ ව සම්පූර්ණ විය යුතු අංගයන් නො දැනෙන නො වැටහෙන බැවින් ඔහු ඒවා සම්පුර්ණ නො කරති. ඒවා සම්පූර්ණ නො වන තාක් ඔහු ලෝකෝත්තර මාර්ගයට ද නො පැමිණෙති. පිළිවෙළින් බෝධි පාක්ෂික ධර්ම මෙනෙහි කළ හැකි වනු පිණිස මෙම වගන්ති සත පාඩම් කර ගත යුතු ය.

(1) චත්තාරො සතිපට්ඨානා: කායානුපස්සනා සතිපට්ඨානං, වේදනානුපස්සනා සතිපට්ඨානං, චිත්තානුපස්සනා සතිපට්ඨානං, ධම්මානුපස්සනා සතිපට්ඨානං.

(2) චත්තාරො සම්මප්පධානා: උප්පන්නානං පාපකානං පහාණාය වායාමො, අනුප්පන්නානං පාපකානං අනුප්පාදාය වායාමො, අනුප්පන්නානං කුසලානං උප්පාදාය වායාමො, උප්පන්නානං කුසලානං භීය්‍යොභාවාය වායාමො.

(3) චත්තාරො ඉද්දිපාදා: ඡන්දිද්ධිපාදො, විරියිද්ධි පාදො, චිත්තිද්ධිපාදො, වීමංසිද්ධිපාදො.

(4) පංචින්ද්‍රියානි: සද්ධින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤද්‍රියං

(5) පඤ්චබලානි: සද්ධාබලං, විරිය බලං, සති බලං, සමාධි බලං, පඤ්ඤාබලං.

(6) සත්ත බොජ්ඣංගා: සතිසම්බොජ්ඣංගො, ධම්මවිචයසම්බොජ්ඣංගො, විරිය සම්බොජ්ඣංගො, පීතිසම්බොජ්ඣංගො: පස්සද්ධිසම්බොජ්ඣංගො, සමාධි සම්බොජ්ඣංගො, උපෙක්ඛා සම්බොජ්ඣංගො.

(7) අට්ඨ මග්ගංගානි: සම්මාදිට්ඨි, සම්මා සංකප්පො, සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි.[1]

අනු මාතෘකා
keyboard_arrow_rightසතිපට්ඨාන සතරstar_outline
keyboard_arrow_rightසම්‍යක් ප්‍රධාන සතරstar_outline
keyboard_arrow_rightඍද්ධි පාද සතරstar_outline
keyboard_arrow_rightඉන්ද්‍රිය පසstar_outline
keyboard_arrow_rightබල පසstar_outline
keyboard_arrow_rightබෝධ්‍යංග සතstar_outline
keyboard_arrow_rightමාර්ගාංගයෝ අට දෙනstar_outline
  1. බෝධි පාක්ෂික ධර්ම පිළිබඳ විස්තර දනු කැමතියන් විසින් “බෝධිපාක්ෂික ධර්ම විස්තරය” බැලිය යුතු.