සිදු කර ගැනීමට බලාපොරොත්තු වූ යම් කිසි කාර්ය්‍යයෙක සිද්ධිය ඍද්ධි නමි. ලැබීමට බලාපොරොත්තු වූ දෙයක ලැබීමය, උපදවා ගැනීමට බලාපොරොත්තු වූ දෙයක ඉපැදවීමය, වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වූ දෙයක වැඩි දියුණුවය යන මේවා සෘද්ධීහු ය. ඍද්ධි-සිද්ධි යන මේ වචන සමානාර්ථ ඇත්තේ ය. ඍද්ධියට හෙවත් සිද්ධියට අතිශයින් උපකාරක ධර්මයෝ ඍද්ධිපාදයෝ ය.
මේ බෝධිපාක්ෂික ධර්ම කථාවෙහි ඍද්ධීහු යයි අදහස් කරනු ලබනුවෝ යෝගාවචරයන් විසින් තම තමන් කරන යෝගයන් වැඩිදියුණු කර ගැනීමට, උපදවා ගැනීමට, ලැබීමට, පැමිණීමට, බලාපොරොත්තු වන ධර්මයෝය. ඒවා විශුද්ධි ක්‍රමයෙන් කියත හොත්, චතුපාරිශුද්ධි ශීලය සම්පුර්ණ කැර ගැනීම(ට)ඍද්ධි සතරෙකි. චිත්ත විශුද්ධියට අයත් පරිකර්ම සමාධිය එක් ඍද්ධියෙකි. උපචාර සමාධිය එක් ඍද්ධියකි. රූපධ්‍යාන පස ඍද්ධි පසෙකි. අරූපධ්‍යාන සතර ඍද්ධි සතරෙකි. පඤ්චාභිඥා ඍද්ධි පසෙකි. දෘෂ්ටි විශුද්ධිය එක් ඍද්ධියකි. කාංක්ෂාවිතරණ විශුද්ධිය එක් ඍද්ධියෙකි. ඉතිරි විශුද්ධීහු ද වෙන් වෙන් වූ ඍද්ධීහු ය. යෝගාවචරයනට මේ ඍද්ධීන් ලැබීමට විශේෂයෙන් උපකාර වන අතිශයින් උපකාර වන ධර්මයෝ ඍද්ධිපාදයෝ ය.
- ඡන්දිද්ධිපාදය
- චිත්තිද්ධිපාදය
- විරියිද්ධිපාදය
- වීමංසිද්ධිපාදය යි
ඍද්ධිපාදයෝ සතර දෙනෙකි. ඍද්ධිය ඇති කැර ගැනීම පිළිබඳ වූ බලවත් ඕනෑකම ඡන්දිද්ධිපාදය යි. ධර්මයෙන් තොරව කරන මේ රජ කමින් පලක් නැත යයි රජය හැර, දහම් සෙවීමට වල් වැදුණු දහම් සොඬ රජතුමා ගේ ඡන්දය වැනි ඡන්දය ම ඡන්දද්ධිපාදය යි. ඍද්ධියට නැමී පවත්නා වූ, ඍද්ධියට ඇදී බර වී පවත්නා වූ, වඩන ලද්දා වූ සිත විත්තිද්ධිපාදය යි. සෘද්ධිය ලැබෙන තුරු සෘද්ධියට පැමිණෙන තුරු නො නවත්වන්නා වූ බලවත් වීර්‍ය්‍යය විරියිද්ධිපාදය යි. අපාය හය සංසාර භයාදිය මැනවින් දක්නා වූ, ඍද්ධියට තුඩු දෙමින් පවතින්නා වූ, තියුණු වූ, ප්‍රඥාව වීමංසිද්ධිපාදය යි.