පටිය

“අනුජානාමි භික්ඛවෙ ද්වෙ කායබන්ධනානි පට්ටකං සූකරන්තකං” යනුවෙන් පට්ටිකාය සූකරන්තකය යි කායබන්ධන (පටි) දෙකක් භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේ ය. “පට්ටිකා” යනු සාමාන්‍ය වියමනෙන් හෝ මාලුකටු පෙළක් සේ හෝ වියන ලද පටිය ය. “සූකරන්තක” යනු ඇතුළ කුහරය සිටින සේ වියන ලද හෝ රෙදිවලින් මසන ලද හෝ පටිය ය.

“න භික්ඛවෙ උච්චාවචානි කායබන්ධනානි ධාරෙතබ්බානි, කලාබුකං දෙඩ්ඩුභකං මුරජං මද්දවීණං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

“මහණෙනි, කලාබුකය දෙඩ්ඩුභකය මුරජය මද්දවීණය යන උසස් පහත් පටි නො දැරිය යුතු ය. යමෙක් දරා නම් ඒ මහණහට දුකුළා ඇවැත් වේ.”

එහි “කලාබුක” යනු බොහෝ රැහැන් ඇති පටිය ය. “දෙඩ්ඩුභක” යනු පටියේ හිස දියබරි හිසක් සේ ගොතන ලද පටිය ය. “මුරජ” යනු බොහෝ ලණු පොටවල් එකතු කොට එකකින් වෙළා මිහිඟුබෙර සටහනින් කළ කායබන්ධනය ය. “මද්දවීණ” යනු හවඩියක් සේ ගොතන ලද පටිය ය. නොයෙක් පාට ඇති නූල් එකතු කොට නානා වරණයෙන් වියූ පටි ද, තැනින් තැන නූල් අඩු වැඩි කිරීමෙන් විසිතුරු කළ පටි ද, නොයෙක් රූ සටහන් ඇති පටි ද අකප්පිය පටිවලට අයත් බැවින් නො දැරිය යුතු ය. දැනට ගිහියන් පාවිච්චි කරන නොයෙක් ආකාර ගාංචු ඇති පටි ගැන විනයෙහි සඳහන් නොවතු දු ඒවා ද අකප්පිය කොට්ඨාසයට අයත් වන ඒවා ලෙස සැලකිය හැකි ය.

  1. චූල - 216 පි.