මේ සත්ත්වයනට, නිවනට නො පැමිණ සසර ම රැඳී සිටින්නට හේතුව වී තිබෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය නො දැකීම නිසා ය. සංස්කාරයන්ගේ ඒ ලක්‍ෂණත්‍රය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා තැනැත්තේ මඟපල ලබා නිවන් දක්නේය. යෝගාවචරයන් විදර්ශනා වඩන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණ තුන දැක ගැනීම සඳහා ය. විදර්ශනා භාවනාවය යනු සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණ තත්ත්වාකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම සඳහා කරන උපක්‍රමය ය. භාවනාවෙහි යෙදී සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණ සොයා නොගත් සාමාන්‍ය ජනයා හට අනිත්‍ය වූ සංස්කාර විෂයෙහි නිත්‍යය යන සංඥාවක් ද, දුක්වන සංස්කාරයන් කෙරෙහි සැපය යන සංඥාවක් ද, ආත්ම නොවන සංස්කාරයන්හි ආත්ම සංඥාවක් ද ඇත්තේ ය. මඟපල ලබා නිවන් දැකීමට නම් ඒ සංඥා තුනම නැති කරගත යුතුය.
යෝගාවචරයනට සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ ලක්‍ෂණ දෙක දැක, නිත්‍ය සුඛ සංඥා දෙක දුරු කර ගැනීම එතරම් ම අපහසු නොවේ. ආත්ම සංඥා දුරු කිරීමට ඉතා අපහසු ය. විදර්ශනා ඥානයෙන් සංස්කාරයන් අවුස්සා බලන යෝගාවචරයාට ඒ අවස්ථාවට නම් ඒවා ආත්ම නොවන බවත් ඒවායේ ආත්මයක් නැති බවත් ඒවා පාලනය කරන ආත්මයක් නැති බවත් පෙනේ. එහෙත් පසුව ඔහුට නැවත නැවත ආත්ම සංඥා ඇති වේ. ආත්ම සංඥා ප්‍රහාණය කිරීම දුෂ්කර යැයි කීයේ එබැවිනි. ඒ දුෂ්කරත්වය ඇත්තේ ඝන සංඥා නිසා ය. අනාත්ම ලක්‍ෂණය යන සංඥාවෙන් වසනු ලැබේ. අනාත්ම ලක්‍ෂණය දැකීමට නම් මේ ඝනය ගැන හොඳ අවබෝධයක් ඇති කර ගත යුතුය.
අපේ අත්පොතෙහි මේ ඝනය ගැන සෑහෙන විස්තරයක් නැත. එබැවින් ඝනය ගැන සෑහෙන දැනුමක් ඇති අය සාමාන්‍ය බෞද්ධයන් අතර තබා වනගතව භාවනා කරන යෝගාවචරයන් අතර ද සුලභ නැත. ඒ නිසා යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සඳහා ඝනය ගැන විස්තරයක් ලිවීමට අප සිත නැමිණ. ඒ ගැන හොඳ විස්තරයක් කරතහොත් තරමක පොතක් පමණ දිග ලිපියක් සැපයිය යුතු ය. මේ ලිපියෙන් අප කරන්නටන බලාපොරොත්තු වන්නේ ඝනය ගැන තරමක විස්තරයකි. මෙයින් ද යෝගාවචරයනට බොහෝ වැඩ සිදුවනු ඇත.
එක් සන්තානයක සමූහ වශයෙන් හා පරම්පරා වශයෙනුත් ළං ළංව ඉපද ඉපද බිඳි බිඳී යන වෙන් වෙන් වූ නාමරූප ධර්මයන්හි සාමාන්‍ය ජනයාට එක් දෙයක් සේ පෙනෙන ස්වභාවයක් ඇත්තේ ය. ඝනය යි කියනුයේ ඒ ස්වභාවයට ය. සන්තති ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය කියා එය සතර ආකාර වේ.