එක් එක් සන්තානයක බොහෝ නාමරූපයෝ උපදිති. උපදින උපදින සෑම නාම රූප ධර්‍මයක් විසින් ම යම් කිසි කෘත්‍යයක් ද සිදු කරනු ලැබේ. සෑම නාමයකට ම සෑම රූපයකට ම අයත් වෙන් වූ කෘත්‍යයක් ඇත්තේ ය. එක් ධර්මයකට අයත් කෘත්‍යයක් සිදු කිරීමේ සමත් කමක් තවත් ධර්මයකට නැත්තේ ය. එක් සන්තානයක උපදනා අනේක ප්‍රකාර නාමරූපයන් විසින් සිදු කරන එකිනෙකට වෙනස් වූ කෘත්‍යයන්හි යම් කිසි අන්‍යොන්‍ය සම්බන්ධයක් ද ඇත්තේ ය. ඒ සම්බන්ධය නිසා විදර්ශනා ඥානය දියුණු කර නැති සාමාන්‍ය ජනයාට ඒ ඒ කෘත්‍යය සිදුකරමින් උපන් අනේක නාමරූප ධර්ම එක් දෙයක් සැටියට වැටහෙන්නේ ය. එක් දෙයක් සැටියට වැටහීම ය, ආත්මය සැටියට වැටහීම ය යන අනේක නාම රූපයන් ආත්මය නමැති එක් දෙය සැටියට වැටහීමට හේතු වන අන්‍යොන්‍ය සම්බන්ධය ඇත්තා වූ නාම රූපයන්ගේ කෘත්‍ය සමූහයට කෘත්‍ය ඝනය යි කියනු ලැබේ.
නාම රූපයන්ගේ කෘත්‍යයෝ නම් දැකීම් ඇසීම් ශරීරාවයවයන් හැකිළවීම් දිගුකිරීම් එසවීම් පහත් කිරීම් ආදීහු ය. යම්කිසි වස්තුවක් චක්ෂුඃප්‍රසාදයෙහි හෙවත් ඇසෙහි ගැටෙයි. ගැටුණු දෙය අනුව චක්ෂුඃප්‍රසාදයෙන් දර්ශන චිත්තය ඇතිකරනු ලබයි. චක්ෂූර්විඥාන නම් වූ ඒ දර්‍ශන චිත්තය රූපය දකී. වර්‍ණ රූපය ය චක්ෂුඃප්‍රසාදය ය දර්‍ශන චිත්තය ය යන මේ තුනෙන් සිදු කරන කෘත්‍ය තුන ඒකාබද්ධව ඇතිවන බැවින් ධර්ම විභාග දැකීමට නො සමත් පුද්ගලයාට චක්ෂුර්විඥානය චක්ෂුඃප්‍රසාදය යන නාමරූප ධර්‍ම දෙක ආත්මය නමැති එක් දෙය සැටියට වැටහේ. එයින් ඔහු මම දකිමිය, දක්නේ මම ය යි වරදවා සිතයි. චක්ෂුඃප්‍රසාද චක්ෂුර්විඥාන වර්ණ යන මේවාට අයත් කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍ය ඝනය ය. (දැකීමක් සම්පූර්ණ ව්නනේ සම්පටිච්ඡින සන්තීරණ වොත්ථපන ජවන යන නම්වලින් කියන තවත් බොහෝ සිත් ද එකතු වීමෙනි. ඒවා ගැන කියුවත් අභිධර්මය නූගතුන්ට නො වැටහෙන බැවින් ඒවා ගැන මෙහි සඳහන් නොකරන ලදි.)
ශබ්දය ශ්‍රෝත්‍රප්‍රසාදයේ ගැටේ. ශ්‍රෝත්‍රප්‍රසාදය ඒ ශබ්දය අනුව සෝත විඤ්ඤාණ නම් වූ ශ්‍රවණ චිත්තය ඇති කරවයි. ශ්‍රෝතවිඥාන නම් වූ ශ්‍රවණ චිත්තය ශබ්දය අසයි. හෙවත් ශබ්දය දැන ගනී. ශබ්ද, ශ්‍රෝත්‍රප්‍රසාද, ශ්‍රෝත විඥාන යන මොවුන් විසින් සිදුකරන ශ්‍රෝත්‍රප්‍රසාදයේ ගැටීම ය ඇස්වීම ය ඇසීම ය යන කෘත්‍ය තුනේ බද්ධභාවය ඒවා වෙන් වශයෙන් නො දක්නා බැවින් ශ්‍රෝත්‍රප්‍රසාද ශ්‍රෝත්‍රවිඥාන දෙක අසන්නා වූ මම සැටියට වරදවා තේරුම් ගනී. ශ්‍රෝත්‍රප්‍රසාදයෙහි ගැටීම ශ්‍රෝත්‍රවිඥානය ඇතිකර වීමය. ශබ්දය දැනීමය යන මේ කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍යඝනය ය. ගඳ දැනීම් රස දැනීම් හැපීම් දැනීම් සම්බන්ධයෙන් ද ඇත්තා වූ කෘත්‍ය ඝනය කියන ලද ඒවායේ අනුසාරයෙන් සිතා ගත යුතු.
කල්පනා කිරීම හෙවත් ඒ ඒ අරමුණුවලට සිත යොමු කිරීම විතර්ක චෛතසිකයේ කෘත්‍යය ය. යමක් ඇති සැටියට දැනගැනීම ප්‍රඥා චෛතසිකයේ කෘත්‍යය ය. දක්නා රූපාදියේ හොඳ ගතිය ආස්වාදනය කිරීම සුඛ වේදනාවේ කෘත්‍යය ය. අරමුණුවල නරක ගතිය ආස්වාදනය කිරීම දුඃඛවේදනාවේ කෘත්‍යය ය. අරමුණේ මධ්‍යම භාවය විඳීම උපේක්ෂා වේදනාවේ කෘත්‍යය ය. සිත ප්‍රබෝධ කරවීම ප්‍රීතියේ කෘත්‍යය ය. අරමුණට ඇලුම් කිරීම ලෝභයේ කෘත්‍යය ය. අරමුණට විරුද්ධවීම ද්වේෂයේ කෘත්‍යය ය. අනුන්ගේ සම්පත් නො ඉවසීම ඊර්‍ෂ්‍යාවේ කෘත්‍යය ය. පවට ලජ්ජා නො වී බිය නොවී එඩිතරවීම අහිරික අනොත්තප්පයන්ගේ කෘත්‍යය ය. පවට ලජ්ජාවීම හිරියේ කෘත්‍යය ය. පවට බියවීම ඔත්තප්පයේ කෘත්‍යය ය. පැහැදීම ශ්‍රද්ධාවේ කෘත්‍යය ය. අනුන්ගේ සැපයට කැමතිවීම මෛත්‍රියේ කෘත්‍යය ය. අනුන්ගේ දුක ගැන කම්පාවීම කරුණාවේ කෘත්‍යය ය. මෙතෙකින් කියන ලදුයේ නාම ධර්‍මයන්ගේ කෘත්‍යවලින් එක්තරා කොටසකි.
කියන ලද්දා වූ නොකියන ලද්දා වූ ද අනේක ප්‍රකාර කෘත්‍යයන් සිදු කරන නාම රූපයන් වෙන වෙනම ඉපද ඒ කෘත්‍යය සිදුකොට වෙන වෙන ම බිඳී යන නමුත් වෙන් වශයෙන් නාමරූප ධර්ම තේරුම් ගැනීමේ ශක්තිය නැත්තා වූ සාමාන්‍ය ජනයාට පෙනෙන්නේ එක සන්තානයක ඇතිවන්නා වූ ඒ නාම රූප කෘත්‍ය සියල්ල ම ආත්මය ය කියාත් මම ය කියාත් සලකන එක් දෙයකින් ම ඒ කෘත්‍ය සියල්ල ම සිදුකරන්නාක් සේ ය. ඔවුහු දක්නේත් මා ය. අසන්නේත් මා ය, ගඳ දැනෙන්නේත් මා ය, කල්පනා කරන්නේත් මා ය, කරුණු තේරුම් ගන්නේත් මාා ය, සැප විඳින්නේත් මා ය, දුක් විඳින්නේත් මා ය, මැදහත්ව ඉන්නේත් මා ය, ප්‍රීති වන්නේත් මා ය, ඇලුම් කරන්නේත් මා ය, කිපෙන්නේත් මා ය, අනුන් ගේ යහපතට විරුද්ධ වන්නේත් මා ය, ලජ්ජා නො වන්නේත් මා ය, බියපත් නො වන්නේත් මා ය, ලජ්ජිත වන්නේත් මා ය, බියපත් වන්නේත් මා ය, පැහැදෙන්නේත් මා ය, මෙත් කරන්නේත් මා ය, කරුණා කරන්නේත් මා ය යි වරදවා සිතති. මෙසේ අනේක කෘත්‍යයන් එක් දෙයකින් එක් තැනකින් සිදුවන්නා සේ පෙනෙන පරිදි කෘත්‍යයන්ගේ බද්ධ භාව්‍ය කෘත්‍ය ඝනය ය.
යෑමෙහිදී ඇතිවන යාමට උත්සාහ කරන සිත ය, එක් පයක් එසවීමට උත්සාහ කරන සිත ය, ඉහළට එන පයෙහි රූපයෝ ය, එස වූ පය ඉදිරියට යැවීමට උත්සාහ කරන සිත ය, පයෙහි ඉදිරියට යන රූපයෝ ය, පය බිම තැබීමට උත්සාහ කරන සිත ය, පයෙහි පහළට ඉපදී යන රූපයෝ ය යන මේවා වෙන් වෙන් වූ කෘත්‍ය ඇත්තෝ ය. නාමරූප විභාග සලකා ගැනීමට නො සමත් සාමාන්‍ය පුද්ගලයන්ට ඒ සියල්ල එක් දෙයක කෘත්‍යයක් සේ පෙනීමට හේතුවන පරිදි ඒ කෘත්‍ය සමූහයේ බද්‍ධභාවය කෘත්‍ය ඝනය ය . කෘත්‍ය ඝනයෙන් වැසීමෙන් ඒ ඒ කෘත්‍යය සිදු කරන නාම රූපයන් වෙන් කර ගත නො හැකි වීමෙන් ඒ නාම රූප සියල්ල ම එක්කොට යන්නේ මා ය යි වරදවා තේරුම් ගනිති. අනිකුත් සියලු ම ක්‍රියා සම්බන්ධයෙන් ද කෘත්‍ය ඝනය කියන ලද්දට අනුව සලකා ගත යුතුය.