කබලිංකාරාහාරය, ඵස්සාහාරය, මනෝසඤ්චේතනාහාරය, විඤ්ඤාණාහාරය යන ආහාර සතර මේ සූත්‍රයෙහි දැක්වෙන විශේෂ කරුණෙකි. “ආහරීයති අජ්ඣෝහරීයතීති ආහාරෝ” යන විග්‍රහයේ සැටියට “අනුභව කරනු ලබන දෙයට ආහාරය” යි කියනු ලැබේ. මෙහි ඒ සතරට ආහාර යන නම කියනුයේ ඒ අර්ථය අනුව නො වේ. ඵස්ස චේතනා යන දෙක චෛතසික දෙකකි. විඤ්ඤාණය නම් සිත ය. ඒවා අනුභව කරන්නට ගිලින්නට පිළිවන් දේ නො වේ. කබලිංකාරාදි සතරට ආහාරය යි කියනුයේ ඵලය ඇති කරන දෙයය යන අර්ථයෙනි.
“ආහාර” යනු යම්කිසි ඵලයක් ඇති කරන හේතුවට ද නමෙකි. එබැවින් අටුවාවෙහි “ආහාරාති පච්චයා. පච්චයා හි ආහාරන්ති අත්තනො ඵලං තස්මා ආහාරාති වුච්චන්ති” යි කීහ. අවිජ්ජා පච්චයා සංඛාරා යනාදි ප්‍රතීත්‍යසමුත්පාද දේශනාවේ සැටියට සංසාර චක්‍රයට අයත් සෑම ධර්මයක් ම ප්‍රත්‍යයෙකි. හෙවත් යම් කිසිවක් ඇති කරන හේතුවකි. “හේතු පච්චයො ආරම්මණපච්චයො” යනාදි ප්‍රස්ථාන දේශනාවේ සැටියට ද සෑම ධර්මයක් ම ප්‍රත්‍යයෙකි. ප්‍රත්‍යය නො වන, හේතුවක් නො වන කිසිම ධර්මයක් නැත.
යම් කිසිවකට හේතු වීමේ - ප්‍රත්‍ය වීමේ සැටියට නම තබනවා නම්, සියලු ම ධර්මයන්ට ආහාර යන නාමය කිය යුතු ය. එසේ තිබියදී කබලිංකාරාහාරාදි සතරට පමණක් ආහාර යන නම තථාගතයන් වහන්සේ විසින් තබන ලදුයේ කවර හේතුවකින් ද? යන ප්‍රශ්නය මෙහිදී උපදී. තථාගතයන් වහන්සේ මේ සතරට පමණක් විශේෂයෙන් ආහාර නාමය තබන ලදුයේ, ඒ සතර සංසාර චක්‍රයාගේ පැවැත්මට, තවත් ක්‍රමයකින් කියතහොත් පඤ්චස්කන්ධයා ගේ පැවැත්මට විශේෂයෙන් හේතුවන බැවිනි.
සංසාර චක්‍රයට අයත් ධර්මයන් ගෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. විඥාන නාමරූපාදීන්ට ප්‍රත්‍යය නො වේ. විඥානය නාමරූපයන්ට ප්‍රත්‍යය වේ. ෂඩායතනාදියට ප්‍රත්‍යය නො වේ. ආහාරයන් ගේ ප්‍රත්‍යය වීම එසේ එකකට දෙකකට නොව සියල්ලටම ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යි ද වදාරන ලදී. සකල සත්ත්වයෝ ම ආහාරය නිසා ප වත්නෝය, ජීවත් වන්නෝය යනු එහි තේරුම ය. එහි සත්ත්වයෝය යි කියා තිබෙන්නේ අවිද්‍යාදි ධර්ම පරම්පරාවට ය. තවත් ක්‍රමයකින් කියතහොත් ස්කන්ධ පරම්පරාවට ය.
ආහාර සතරෙන් කබලිංකාර ආහාරය යනු අනුභව කරන ආහාරයෙහි ඇති ඕජාව ය. අනුභව කරන ආහාරය කුසට පිවිසි කල්හි එයින් කොටසක් ආමාශය ඇසුරු කොට වෙසෙන පණුවෝ කති. එක් කොටසක් පාචකාග්නියෙන් දැවී යයි. එක් කොටසක් මළ වෙයි. එක් කොටසක් මුත්‍ර වෙයි. ආහාරයෙහි හොඳම කොටස රස ධාතුව වී ආහාර ගෙන යන නහර දිගේ ගමන් කොට ශරීරය සැම තැනම පැතිරේ. ඒ ආහාරයේ ප්‍රධාන කොටසට ආහාර රූපය යි ද, ඕජා රූපය යි ද කියනු ලැබේ.
ඕජාරූප ඇත්තේ අනුභව කරන ආහාරයෙහි ම නො වේ. ශරීරයේ පිහිටි ලේ මස් ආදි සියල්ලෙහිත් ඒවා ඇත්තේ ය. ශරීරයෙහි ඇති ඕජාරූප ඒ ඒ තැන ම තිබෙනවා මිස අනුභව කරන ආහාරයේ ඕජාව මෙන් ශරීරයේ ගමන් නො කරයි. එහෙත් සත්ත්ව ශරීරයට ආහාරයෙන් කෙරෙන උපකාරය ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශරීරයෙහි ඇති ඕජා රූපවලිනි. පිටතින් ශරීරයට පැමිණෙන ඕජාරූපයන් ගෙන් ලැබෙන උපස්ථම්භනයෙන් ශාරීරික ඕජාරූප බලවත් වී ඒවායින් ආහාරජ රූප නම් වූ රූප කොට්ඨාශයක් උපදවනු ලැබේ. ශරීරය පවත්වන්නේත් මලානික නො වී තිබෙන්නේත් බලවත් වන්නේත් වැඩෙන්නේත් ඒ ආහාරජ රූපවල උපස්ථම්භනයෙනි.
අඹ ඇටයකට ශක්තිය ඇත්තේ කුඩා අඹ පැළයක් ඇති කිරීමට පමණකි. ඒ අඹ පැළය බොහෝ අතුපතර ඇති අඹ ගසක් වී මල්පල හටගන්වමින් දීර්ඝ කාලයක් පවත්නේ මුල් අඹ ඇටයේ අනුහසින් නොව පෘථිවි රස ආපෝ රසයන් ගේ අනුහසයෙනි. ඒවා නො ලද හොත් අඹ ගස නැසේ. එමෙන් කර්මයට ශක්තිය තිබෙන්නේ භවයෙහි ප්‍රථමයෙන් සත්ත්වයා ඉපදවීමට පමණකි. ඉපදීමෙන් පසු සත්ත්වයා වැඩෙන්නේත් ජීවත් වන්නේත් ආහාරයේ අනුහසිනි. ආහාරය නො ලදහොත් සත්ත්වයා වියළී මිය යන්නේ ය. ඉපදීමෙන් පසු සත්ත්වයා ජීවත් කරවීම ආහාරයේ කෘත්‍යය ය. සත්ත්වයා ජීවත් කරවීමය යි කියනුයේ නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාදි හේතුඵල ධර්ම පරම්පරාව චිරකාලයක් පැවැත්වීමට ය. සංසාර චක්‍රයට අයත් හේතුඵල පරම්පරාවට ම ප්‍රත්‍ය වන බැවින් කබලිංකාරාහාරය විශේෂ ප්‍රත්‍යයෙකි.
තණ්හාව සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතුවකි. තණ්හාව නැතහොත් සංසාරයක් නො පවතී. තණ්හාව ඇති වන්නේ ද වේදනාව නිසා ය. වේදනාව කියා දෙයක් ලෝකයේ නැති නම්, කවරෙකුටවත් තණ්හාවක් ඇති නො වේ. ඵස්සය නො මැති නම් කිසි කලෙක වේදනාවක් ඇති වන්නේ ද නැත. වේදනාව ඇති වන කල්හි තණ්හාව ඇති වීමෙන් සංසාර චක්‍රය නො සිඳී පවතී. එබැවින් වේදනාව ඇති කර, තණ්හාව ඇති වීමට උපකාර වන ඵස්සය අවිද්‍යා සංස්කාරාදි හේතුඵල ධර්ම පරම්පරාවේ ම චිරකාලයක් පැවැත්වීමට උපකාරයෙකි. එබැවින් ඒ ඵස්සය යම්කිසි එකකට - දෙකකට පමණක් ප්‍රත්‍යය වන අන්‍යධර්මයන් සේ නොව සකල සංසාරයාගේ ම ප්‍රවෘත්තියට උපකාර වන්නක් බැවින් විශේෂ ප්‍රත්‍යයක් වේ.
මරණින් පසු සත්ත්වයා ගේ ස්කන්ධ පරම්පරාව සිඳී නො යන පරිදි යම් කිසි තැනක අභිනව ප්‍රතිසන්ධියක් ඇති කරවන්නේ කුශලාකුශල කර්ම සංඛ්‍යාත මනෝසඤ්චේතනා ආහාරයෙනි. ඉදින් කුශලාකුශල චේතනාවක් නැති නම් ප්‍රතිසන්ධියක් ඇති නො වන්නේ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති නො වුව හොත් නාමරූප සළායතන ඵස්ස වේදනාදි හේතුඵල පරම්පරාව ද ඇති නො වන්නේ ය. ස්කන්ධ පරම්පරාව සිඳී යන්නේ ය. ප්‍රතිසන්ධි විඥානය පහළ වීම නිසා ම නාමරූප ෂඩායතනාදි හේතුඵල පරම්පරාව නො සිඳී පවත්නේ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති කරන කුශලාකුශල චේතනාව එකකට දෙකකට පමණක් නොව ස්කන්ධ පරම්පරාවට ම ප්‍රත්‍යය වන බැවින් විශේෂ ප්‍රත්‍යයෙකි. විශේෂ හේතුවකි.
සංසාර චක්‍රයට අයත් ධර්මයන් ගෙන් බොහෝ ගණනක් ම විඥානය ඇසුරු කොට විඥානය හා බැඳී උපදින ධර්මයෝ ය. විඥානයක් නැතහොත් අවිද්‍යාවකුත් නැත. සංඛාරයකුත් නැත: නාමරූපයකුත් නැත: ඵස්සයකුත් නැත: වේදනාවකුත් නැත: තණ්හාවකුත් නැත: කර්ම භවයකුත් නැත: ඒ ධර්මයන්ගේ ඉපදීමටත් පැවැත්මටත් විඥානය තිබිය යුතුම ය. එබැවින් ඒ විඥානයත් ධර්ම එකකට දෙකකට පමණක් ප්‍රත්‍යය වන්නක් නොව හේතුඵල වශයෙන් පවත්නා සම්පූර්‍ණ සංසාර චක්‍රයට ම උපකාරක ධර්මයක් වන බැවින් විශේෂ ප්‍රත්‍යයෙකි.
මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයන් ගේ උත්පත්තියට හා පැවැත්මට ආහාර සතර හේතුවන බව දක්වා අනතුරුව ආහාර සතර ඇතිවීමටත් යම් කිසි හේතුවක් තිබිය යුතු බැවින් ඒ ප්‍රශ්නය තමන් වහන්සේ විසින් ම මතු කොට තෘෂ්ණාව ආහාර ඇති වීමේ හේතුව ය යි වදාළ සේක.
“තෘෂ්ණාව නිසා ආහාර ඇතිවන්නේ කෙසේද?” යනු මෙහිදී විසඳා ගත යුතු ය. සත්ත්වයකු භවයෙහි ප්‍රථමයෙන් උපදින්නේ - පිළිසිඳ ගන්නේ අතීත භවයෙහි වූ තණ්හාව නිසා ය. පරිපූර්‍ණආයතන ඇති සත්ත්වයකු භවයෙහි උපදනා කල්හි ඒ සත්ත්වයාහට ප්‍රතිසන්ධිචිත්තය සමග ම චක්ෂුර්දශකය - ශ්‍රෝත්‍රදශකය - ඝ්‍රාණදශකය - ජිහ්වාදශකය - කායදශකය - භාවදශකය - වස්තුදශකය යන රූප කලාප සත පහළ වේ. ආයතන සම්පූර්‍ණ නො වන ප්‍රතිසන්ධි ඇතියවුන්ට එයට අඩු ගණනක් රූප කලාපයෝ ප්‍රතිසන්ධි චිත්තය සමග උපදිති. ඒ සෑම රූප කලාපයක ම කබලිංකාරාහාරය යි කියනු ලබන ඕජා රූපය ඇත්තේ ය. එය අතීත භවයේ පැවති තෘෂ්ණාව උපනිඃශ්‍රය කොට ඇතිවන කර්මජ කබලිංකාරාහාරය ය. ප්‍රතිසන්ධි චිත්තය අතීත භවයට අයත් තණ්හාව හේතු කොට ඇති වන විඥානාහාරය ය. ප්‍රතිසන්ධි චිත්තය සමග ඇති චේතනාව මනෝසඤ්චේතනාහාරය ය. ප්‍රතිසන්ධි චිත්තය සමග උපදනා ඵස්ස චෛතසිකය ඵස්සාහාරය ය.
මෙසේ ජීවිත කාලය මුළුල්ලෙහි ම අතීත භවයට අයත් තණ්හා ප්‍රත්‍යය වී ආහාර සතර සංසාර චක්‍රයේ ම අංග වී ඇති වන සැටි තේරුම් ගත යුතු ය. අභිධර්මය උගත් අයට මෙය පහසුවෙන් වැටහෙනු ඇත. ආහාරයේ හේතුව දක්වා අනතුරුව තෘෂ්ණාදියේ හේතූන් ද වදාරා ඇත්තේ ය. බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනය කොට තිබෙන්නේ දේශනය අනාගතයට යොමු කොට ය. මේ සූත්‍රයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය දක්වා තිබෙන්නේ අතීතයෙන් ය.
මේ සූත්‍රයෙහි දැක්වෙන ආහාර මූලික පටිච්චසමුප්පාදයට ඇත්තේ ආහාර, තණ්හා, වේදනා, ඵස්ස, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංඛාර, අවිජ්ජා යන අංග නවය ය.
එහි ආහාර වශයෙන් ගනු ලබන්නේ වර්තමාන පඤ්චස්කන්ධය ය. තෘෂ්ණාවය යනු වර්තමාන භවය ඇති කළ කර්මය ය. වේදනා ඵස්ස සළායතන නාම රූප විඤ්ඤාණ යන අංගවලින් දක්වන්නේ වර්තමාන උත්පත්තියට හේතු වූ කර්මය කළ අතීතානන්තර භවය ය. සංඛාර අවිජ්ජා යන අංග දෙකින් ගනු ලබන්නේ අනන්තරාතීත භවය ඇති කළ කර්මය ය. මෙසේ මේ සූත්‍රයෙහි ස්ථාන දෙකක භවයත් ස්ථාන දෙක්හි උප්පත්තියට හේතු වූ කර්මයත් දැක්වීම් වශයෙන් සංක්ෂේපයෙන් කර්මවෘත්ත විපාකවෘත්තයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්වා ඇත්තේ ය.
මෙහි ද පෙර දැක් වූ පටිච්චසමුප්පාදයෙහි මෙන් ම සන්ධි තුනක් ඇත්තේ ය. ආහාර - තණ්හා දෙදෙනා ගේ අතර එක් සන්ධියකි. තණ්හා - වේදනාවන් අතර එක් සන්ධියකි. විඤ්ඤාණ - සංඛාරයන් අතර එක් සන්ධියෙකි. සන්ධි තුනක් වන කල්හි කොටස් සතරක් ඇත්තේ ය. මේ චක්‍රයට භව තුනක් සම්බන්ධ වී ඇත්තේ ය. මෙසේ අතීතයට යොමු කොට සංසාර ප්‍රවෘත්තිය දැක් වූ කල්හි ඒ නයින් අනාගත සංසාර ප්‍රවෘත්තිය දත හැකි ය. මෙතෙකින් ආහාර සූත්‍ර විස්තරය අවසන් කරන ලදී.