- මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන්ට කථාකළ සේක. භික්ෂූහු ‘ස්වාමීනි’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
- මහණෙනි: උපන්නා වූ සත්ත්වයන් ගේ ජීවත් වීම පිණිස ද, ඉපදීම සොයන්නා වූ සත්ත්වයනට අනුග්‍රහය පිණිස ද, මේ ආහාරයෝ සතරදෙනෙක් වෙති. කවර සතරදෙනෙක් ද යත්? ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද කබලිංකාර ආහාරය ය, දෙවෙනි වූ ඵස්ස ආහාරය ය, තුන්වැනි වූ මනෝසඤ්චේතනා ආහාරය ය, සතරවෙනි වූ විඤ්ඤාණ ආහාරය ය යන මොහුය. මහණෙනි! ආහාරයෝ සතරදෙන උපන් සත්ත්වයන් ගේ පැවැත්මට ද ඉපදීම සොයන්නා වූ සත්ත්වයන් හට අනුග්‍රහය පිණිස ද පවත්නාහ.
- මහණෙනි! මේ ආහාරයෝ සතරදෙන කුමක් හේතුකොට ඇත්තාහු ද?
- ආහාරයෝ සතරදෙන තණ්හාව හේතු කොට ඇත්තෝ ය.
- මහණෙනි! මේ තණ්හාව කුමක් හේතු කොට ඇත්තේ ද?
- තණ්හාව වේදනාව හේතුකොට ඇත්තේ ය.
- මහණෙනි! මේ වේදනාව කුමක් හේතුකොට ඇත්තේ ද?
- වේදනාව ස්පර්ශය හේතු කොට ඇත්තේ ය.
- මහණෙනි! මේ ස්පර්ශය කුමක් හේතුකොට ඇත්තේ ද?
- ස්පර්ශය ෂඩායතනය හේතුකොට ඇත්තේ ය.
- මහණෙනි! මේ ෂඩායතන කුමක් හේතු කොට ඇත්තේ ද?
- ෂඩායතන නාමරූපය හේතු කොට ඇත්තේ ය.
- මහණෙනි! මේ නාමරූපය කුමක් හේතුකොට ඇත්තේ ද?
- නාමරූපය විඥානය හේතු කොට ඇත්තේ ය.
- මහණෙනි! මේ විඥානය තමන් හේතු කොට ඇත්තේ ද?
- විඥානය සංස්කාරයන් හේතු කොට ඇත්තේ ය.
- මහණෙනි! මේ සංස්කාරයෝ කුමක් හේතු කොට ඇත්තෝ ද?
- සංස්කාරයෝ අවිද්‍යාව හේතුකොට ඇත්තෝ ය.
මහණෙනි! මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ වන්නාහ. සංස්කාරයන් නිසා විඥානය උපදනේ ය, විඥානය නිසා නාමරූපය උපදනේ ය, නාමරූපය නිසා ෂඩායතනය උපදනේ ය, ෂඩායතනය නිසා ස්පර්ශය උපදනේ ය, ස්පර්ශය නිසා වේදනාව උපදනේ ය, වේදනාව නිසා තණ්හාව උපදනේ ය, තණ්හාව නිසා උපාදානය උපදනේ ය, උපාදානය නිසා භවය උපදනේ ය. භවය නිසා ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාශයෝ වන්නාහ. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වන්නේ ය.
අවිද්‍යාවගේ ම ලෝකෝත්තර මාර්ගඥානයෙන් නිරවශේෂයෙන් නිරුද්ධවීම හේතු කොට සංස්කාරයන්ගේ නිරෝධය වේ. -පෙ- මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේ.
මෙතෙකින් ආහාර සූත්‍රයේ භාවය නිමි.
මේ සූත්‍රයෙහි එන “කිං නිදානා - කිං සමුදයා - කිං ජාතිකා - කිං පභවා” යන වචන සතර එක ම අර්ථයක් දෙන වචන සතරකි. එකම අර්ථයක් දෙන වචන සතරක් මෙසේ එකතැන යෙදීම තථාගතයන් වහන්සේ ගේ දේශනා විලාශයේ සැටියට නම් ශෝභන ය. එක අර්ථය දෙන වචන සතර එකතැන යෙදීමෙන් අසන්නහු ගේ සිතට කාරණය තදින් කා වැදේ. එසේ ම අසන්නහුට කාරණය හොඳින් අවබෝධ වේ. වචන සතර යෙදීමෙන් අසන්නවුන්ට දේශනය අප්‍රිය නො වේ.
තථාගතයන් වහන්සේ ගේ දේශනා විලාශයේ සැටියට එක අර්ථය කියවෙන වචන සතර එක තැන යෙදීම හොඳ වුව ද සිංහල භාෂා ශෛලියේ සැටියට එබඳු යෙදුම් අශෝභන ය. සිංහල වාක්‍යයක එසේ යෙදුව හොත් එය කියවන්නවුන්ට - අසන්නවුන්ට අප්‍රිය වාක්‍යයක් වේ. එබැවින් අප විසින් මේ සූත්‍රයේ භාවය ලිවීමේදී “කිං නිදානා කිං සමුදයා කිං ජාතිකා කිං පභවා” යන වචන සතර වෙනුවට “කුමක් හේතුකොට ඇත්තාහු ද” කියා එක වචනයක අර්ථය පමණක් යොදන ලදී.