පඤ්චස්කන්ධය

star_outline

මේ දශබල සූත්‍රයේදී තථාගතයන් වහන්සේ විසින් පඤ්චස්කන්ධය පළමුකොට දක්වා වදාරා, පසුව පටිච්චසමුප්පාදය දක්වා තිබෙන්නේ පටිච්චසමුප්පාදය හොඳින් තේරුම් ගත හැකි වීමට පඤ්චස්කන්ධය පිළිබඳ දැනුම ඉතා ප්‍රයෝජන බැවිනි. පඤ්චස්කන්ධයට අයත් නාමරූපයන් වෙන් වෙන් වශයෙන් අභිධර්ම පොත්වල විස්තර කර ඇති සැටියට දැනගෙන ඉන්නා අයට ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය ඇසූ කල්හි එය හොඳින් වටහාගත හැකි ය. ඒ පරමාර්ථ ධර්මයන් ගැන නො දත් කෙනකු පටිච්චසමුප්පාදය ගැන කොතෙක් ඇසුවත් කොතෙක් එය ගැන පොතපත කියෙව්වත් ඔහුට පටිචච්සමුප්පාදය පිළිබඳ හොඳ අවබෝධයක් නො වේ. එබැවින් නාමරූප ධර්ම ටික බුදුදහම තේරුම් ගනු කැමති සැමදෙනා විසින් ම පළමුකොට උගත යුතු ය.

මෙය පඤ්චස්කන්ධය ගැන සෑහෙන විස්තරයක් කිරීමට සුදුසු තැනක් නො වේ. මෙහි එය ගැන සාමාන්‍ය හැඳින්වීමක් පමණක් කරනු ලැබේ. අප විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය නමැති පොතෙහි පඤ්චස්කන්ධය පිළිබඳ තරමක විස්තරයක් ඇත. පඤ්චස්කන්ධයට අයත් නාමරූප ධර්මයන් පිළිබඳ විස්තරයක් අප විසින් සම්පාදිත අභිධර්මයේ මූලික කරුණු නමැති පොතෙහි ද ඇත්තේ ය. පඤ්චස්කන්ධය ගැන දැනුම ඇතිකර ගැනීමට ඒ පොත් කියවීම ප්‍රයෝජන වන බව මතක් කරමු.

මිනිසාය - ඇතාය - අශ්වයාය - ගවයාය - බල්ලාය - බළලාය යනාදි නම් තබාගෙන පුද්ගලයන් සත්ත්වයන් සැටියට සලකන්නේ ධාතු සමූහයන් ය. මිනිසාය කියනුයේ එක් ධාතු සමූහයකට ය. ඇතාය කියනුයේ තවත් ධාතු සමූහයකට ය. අශ්වයාය කියනුයේ තවත් ධාතු සමූහයකට ය. ඇත්ත වශයෙන් මිනිසකු ඇතිනම් ඒ මිනිසා එක් දෙයක් විය යුතු ය. ඇතකු ඇති නම් ඒ ඇතාත් එක් දෙයක් විය යුතු ය. මිනිසාය කියා සලකන දෙය විභාගකර බැලුවහොත් එතැන ඇත්ත් ධාතු බොහෝ ගණනකි. ඒ ධාතූහු ද නිතරම ඇත්තාහු නො වෙති.

ගලායන ගංගාවක් දෙස යම් තැනක සිට බලන්නකුට ජලස්කන්ධයක් පෙනේ. අද ගඟ දෙස බලා නැවත හෙට බැලුවාමත් අනිද්දා බැලුවාමත් වෙනසක් නැතිව ජලස්කන්ධය පෙනෙන්නට තිබේ. බැලූ තැනැත්තා අද දුටුයේත් ඊයේ දුටුයේත් පෙරෙයිදා දුටුයේත් එකම ජලස්කන්ධය ය යි සිතයි. එහෙත් අද ගඟ බලා හෙට ඇවිත් බලන කල්හි ඔහුට අද දුටු ජලයෙන් බිඳක්වත් හෙට දක්නට නො ලැබේ. හෙට ඔහු පැමිණ බලන්නට කලින් අද එතැන තුබූ ජලය සම්පූර්ණයෙන් ම බැස යන්නේ ය. ඉහළින් තුබූ ජලය එතැනට පැමිණෙන්නේ ය. හෙට ඔහුට දක්නට ලැබෙන්නේ අද නුදුටු ඒ අලුත් ජලය ය. ඒ අලුත් ජලය දැක ඔහු ගිය පසු ඒ සියල්ල පහළට යන්නේ ය. අනිද්දා ඔහු ඇවිත් බැලුවාම ඔහුට දක්නට ලැබෙන්නේ ඊයේ දුටු ජලය නොව පසුව එහි පැමිණි ජලයෙකි.

එක් එක් සන්තානයක අවිද්‍යාසංස්කාරාදි හේතූන් නිසා හටගන්නා වූ නාමරූප ධාතු සමූහයත් ගංගා ජලය මෙන් සලකාගත යුතු ය. ගඟෙහි හෙට දක්නට ලැබෙන ජලය අද දුටු ජලය නො වන්නාක් මෙන් අනිද්දා දක්නට ලැබෙන්නේ හෙට දක්නා ජලය නො වන්නාක් මෙන් පුද්ගලයකු වශයෙන් සලකන නාම රූප ධාතු සමූහයක අද ඇති ඒවායින් ස්වල්පයකුදු හෙට නැත. හෙට ඇති ඒවායින් ස්වල්පයකුදු අනිද්දාට නැත. උදේ තුබූ ධාතූන්ගෙන් ස්වල්පයකුදු සවස නැත. එක් පැයක තුබූ ධාතූන්ගෙන් ස්වල්පයකුදු ඊළඟ පැයෙහි නැත. එක් විනාඩියකදී තුබූ ඒවායින් ස්වල්පයකුදු ඊළඟ විනාඩියේදී නැත. ගඟෙහි පෙනෙන ජලය මෙන් නිතරම ඇත්තේ අලුත් නාම රූප ජාතීන් ය.

පුද්ගලයාය කියනුයේ අදත් හෙටත් අනිද්දාත් මේ සතියේදීත් මේ මාසයේදීත් ලබන මාසයේදීත් මේ වර්ෂයේදීත් ලබන වර්ෂයේදීත්, එක් කෙනකු වශයෙන් මැරෙන තුරු ඉන්නා කෙනෙකි. සමහරුන් සලකන සැටියට මැරෙන්නේත් නැතිව දෙවන තුන්වන ජාතිවලටත් යන දෙයකි. මේ නාම රූප ජාති පරම්පරාවෙහි එබඳු කල් පවත්නා කිසිම දෙයක් නැත. ඒ පුද්ගලයා, ඉබිලොම් - කවුඩුදත් - සා අං යනාදියි මෙන් සිතෙන් මවාගෙන ඇති සැටියට සලකන දෙයකි. ඇති සැටියට සලකන පුද්ගලයා ඇත්තටම නැතත් ඒ සැලකීමෙන් ඒ වැරදි හැඟීමෙන් ඇතිවන නපුර නම් සත්‍ය වශයෙන් ම ඇතියකි.

අවිද්‍යා සංස්කාරාදි ද්වාදශාංගයෙන් යුක්ත වන මේ දුඃඛස්කන්ධයා ගේ නො සිඳී පැවැත්මට, නැති පුද්ගලයකු ඇතය යන ඒ වැරදි හැඟීම බලවත් හේතුවකි. සත්කාය දෘෂ්ටියය කියනුයේ ද එයටම ය. අවිද්‍යාදි හේතුඵල ධර්ම පරම්පරාව වූ නාමරූප ධාතු සමූහය නිසා පවත්නා වූ සත්කාය දෘෂ්ටි සංඛ්‍යාත ඒ වැරදි හැඟීම් දුරුකර ගැනීම පහසු වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් ඒ නාම රූප ධාතු සමූහය රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සඤ්ඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියා ඖදාරික වශයෙන් කොටස් පසකට බෙදා තිබේ.

රූපස්කන්ධය යනු පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු සතර හා ඒ සතර නිසා හටගන්නා වූ වර්ණ ගන්ධ රසාදි රූප සමූහය ය. රූපස්කන්ධය යි වෙන්කර ඇත්තේ පුද්ගලයා වශයෙන් සලකන ධාතු සමූහයෙහි ඉතා ඖදාරික වූ කොට්ඨාශය ය. අභිධර්ම ක්‍ර‍මයේ සැටියට වෙන් වෙන් වශයෙන් කියත හොත් රූප අටවිස්සක් ඇත්තේ ය. රූප අටවිස්සක් ඇතත් සෑම ශරීරයක ම රූප අටවිස්සක් නැත්තේ ය. අංග සම්පූර්ණ වූ එක් ශරීරයක තිබිය හැකි වැඩිම රූප ගණන සත්විස්සකි. අටවිස්ස යන මේ ගණන ශරීරවල තිබිය හැකි සියලුම රූප එක්කළ කල්හි ලැබෙන ගණන ය.

බඹයක පමණ උසට වැඩී ඇති මිනිස් සිරුර රූපස්කන්ධය ය. අනිකුත් සත්ත්වයන් ගේ ශරීරත් රූපස්කන්ධ ම ය. රූපස්කන්ධයට දැනීමක් නැත. ක්‍රියා කිරීමේ සමත් බවකුත් නැත. රූපස්කන්ධය ක්‍රියා කරන්නාක් මෙන් පෙනෙන්නේ කාරක ශක්තියක් එහි ඇති නිසා නොව විඤ්ඤාණ ධාතුවේ බලයෙන් විඤ්ඤාණ ධාතුව අනුව එහි යාම් ඊම් ආදි සෙලවීම් සිදුවන බැවිනි.

රූපස්කන්ධය කරත්තයක් වැනි බව කිය යුතු ය. යා හැකි ශක්තියක් කරත්තයට නැත, තුබූ තැනම දිරා යනවා මිස කරත්තය කවදාවත් නො යන්නේ ය. කිසි කලෙක යන්නට සිතෙන්නේ නැත. කරත්තය සෙලවෙන්නේ කරත්තය තැනින් තැන යන්නේ, ගොනකු විසින් හෝ මිනිසකු විසින් ඇද්දහොත් ය. එමෙන් රූපස්කන්ධය ද තුබූ තැන ම තිබෙන්නකි. සෙලවෙන්නේ විඤ්ඤාණ ධාතුව විසින් සෙලවුව හොත් පමණෙකි. කිසි ක්‍රියාවක් කිරීමට සමත් කමක් නැති කිසි ක්‍රියාවක් කවදාවත් නො කරන රූපස්කන්ධය හැමදෙයම කරන සුවදුක් විඳින පුද්ගලයකු විය හැකි ද? නො විය හැකිම ය.

වේදනාස්කන්ධය මෙසේ දත යුතු ය. වස්තු දෙකක් එකට සැපුණාම පෙර නො තුබූ හඬක් පහළ වන්නාක් මෙන්, ගිනි පෙට්ටියෙහි ගිනිකූර ඇතිල්ලුනාම නො තුබූ ගින්නක් පහළ වන්නාක් මෙන්, චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මන යන මේ ඉන්ද්‍රියයන්හි රූපාදි අරමුණක් සැපුණාම සුඛස්වභාවයක් හෝ දුඃඛ ස්වභාවයක් හෝ ඒ අරමුණ පිළිබඳව මධ්‍යස්ථ ස්වභාවයක් හෝ ඒ සන්තානයෙහි ඇති වේ. මේ ධර්මයන්හි වේදනා නාමයෙන් හඳුන්වන්නේ ඒ ස්වභාව තුන ය.

සාමාන්‍ය ජනයා අතර රිදීමට හෙවත් ඉවසිය නො හෙන ස්වභාවයට වේදනාව ය යි කියනු ලැබේ. වේදනාස්කන්ධ ය යි කියනුයේ ඒ රිදීමට ය කියා වරදවා නො ගත යුතු ය. බුදු දහමෙහි උගන්වන වේදනා ස්කන්ධයට ඒ රිදීමත් ඇතුළත් ය. දුඃඛ වේදනාව ය - දෝමනස්ස වේදනාවය කියනුයේ ඒ රිදීමට ය. බුදු දහමේ දැක්වෙන වේදනා ස්කන්ධයට සනීපයත් අයිති ය. සුඛ වේදනාවය - සෝමනස්ස වේදනාවය යන නම් කියනුයේ සාමාන්‍ය ජනයා විසින් සනීපයය - සැපයය කියා සලකන දෙයට ම ය.

සැප සනීප කෙසේ දැයි ඇසුව හොත් සැප දුක් දෙකම නැති කල්හි එයට දෙන පිළිතුර වරදක් නැතය කියා ය. එයින් අදහස් කරන්නේ මධ්‍යස්ථ භාවය ය. බුදු දහමෙහි උපේක්‍ෂා වේදනාවය යන නාමය ව්‍යවහාර කරන්නේ ඒ වරදක් නැතය කියන ස්වභාවයට ය. සුඛ වේදනාවය දුඃඛ වේදනාවය උපේක්‍ෂා වේදනාවය කියා එක් ක්‍ර‍මයකින් වේදනා තුනක් ද, සුඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය, දුඃඛ වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්‍ෂා වේදනාවය කියා තවත් ක්‍ර‍මයකින් වේදනා පසක් ද තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. ඒවායේ විස්තර වුවමනා නම් අභිධර්ම පොත්වලින් උගත යුතු ය. වේදනා ස්කන්ධය යි කියනුයේ ඒ වේදනා රාශියට ය.

දුඃඛ වේදනාවක් ඇතිකරවන අනිෂ්ටාරම්මණයක් ඉන්ද්‍රියයන්හි ගැටුණාම දුඃඛ වේදනාවක් ඇතිවීම වැළැක්වීමේ ශක්තියක් කාහටවත් නැත්තේ ය. කාගේවත් විධානයක් නැතිව දුඃඛ වේදනාවට හේතුවන අරමුණ ඉන්ද්‍රියයන්හි ගැටුණාම දුඃඛ වේදනා ඉපිද නිරුද්ධ වන්නේ ය. සුඛ වේදනාව ඇති කරන අරමුණක් ඉන්ද්‍රියයන්හි ගැටුණාම ද කාගේවත් විධානයක් නැතිව සුඛ වේදනාවක් ඇති වී නිරුද්ධ වන්නේ ය. සුඛ වේදනාව හොඳය කියා එය නිරුද්ධ වන්නට නොදී කල් පවත්වා ගැනීමේ ශක්තියක් කාහටවත් නැත්තේ ය.

ඒ ඒ අරමුණ ගැටීම හේතු කොට ගෙන මේ නාම රූප ධර්ම පරම්පරාවෙහි ඒ ඒ වේදනා ඇතිව නැතිව යනවා මිස ඒවා පාලනය කරන පවත්වන කිසිවකු ඒ නාම රූප ධර්ම අතර නැත. වේදනාව ඇතිව නැතිව යනවා මිස, විඳින පුද්ගලයෙක් නැත. හේතූන් ගේ සංයෝගයෙන් ඉපිද බිඳී යන ඒ වේදනා රාශිය ද පුද්ගලයකු නො විය හැකි ය.

සංඥාස්කන්ධය මෙසේ දතයුතු. චක්ෂුරාදි ද්වාර සයට රූපශබ්දාදි අරමුණු පැමිණෙන කල්හි, රූපශබ්දාදි අරමුණු ද්වාරයන්හි ගැටෙන කල්හි, ඒ අරමුණු නිසා සැපදුක් ඇතිවන්නාක් මෙන් ම, නිලය - රතය - සුදය - උස් දෙයය - මිටි දෙයය - කුඩා දෙයය - මහත් දෙයය - වට දෙයය - සතරැස් දෙයය - මිනිසාය - සිංහලයාය - දෙමළාය - ගැහැනියාය - පිරිමියාය - ළමයාය - තරුණයාය - මහල්ලාය - මවය - පියාය - සහෝදරයාය - සහෝදරීය - ගවයාය - එළුවාය - බල්ලාය - බළලාය - ඉරය - සඳය - තාරකාවය - පොළොවය - කන්දය - ගසය - ගලය - ගෙයය - ඇඳය - පුටුවය යනාදි හැඟීම් ඇති වේ. එසේ ඇති වන්නා වූ හැඟීම් රාශියට සංඥාස්කන්ධය යි කියනු ලැබේ.

ස්කන්ධ පස අතුරෙන් සංඥාස්කන්ධය විශාල ම ස්කන්ධය සැටියට කිය යුතු ය. ලෝකයෙහි බොහෝ භාෂා ඇත්තේ ය. එක් එක් භාෂාවක වචන ද බොහෝ ගණනක් ඇත්තේ ය. භාෂාවල ඇති ඒ වචන ගණනාවට එක එක සංඥාව බැගින් ඇත්තේ ය. ලෝකයෙහි අප්‍ර‍මාණ සත්ත්වයෝ ඇතහ. සත්ත්ව ගණනට ම සංඥා ද ඇත්තේ ය. ලෝකයෙහි ප්‍ර‍මාණයක් නො කළ හැකි තරමට ද්‍ර‍ව්‍ය ද ඇත්තේ ය. ඒ සියලුම ද්‍ර‍ව්‍යයන් සම්බන්ධයෙන් ද්‍ර‍ව්‍ය ගණනට ම සංඥා ද ඇත්තේ ය. ද්‍ර‍ව්‍යයන්ගේ චලනයන් වූ ක්‍රියා ද බොහෝ ඇ්තතේ ය. ක්‍රියා ගණනට සංඥා ද ඇත්තේ ය. මෙසේ බලන කල්හි ප්‍ර‍මාණය නො කළ හැකි තරමට සංඥා ඇති බව තේරුම් ගත හැකි ය.

ලෝකයෙහි ඇති තාක් සංඥා සියල්ල ම එක් සන්තානයක ඇති වන්නේ නොවේ. සංඥාස්ක්නධයට අයත් අප්‍ර‍මාණ සංඥාවන්ගෙන් යම් කිසි ප්‍ර‍මාණයක් එක් සන්තානයක ඇති වේ. ඉගෙනීම ය යි කියනුයේ ද සංඥාස්කන්ධ මහත් කිරීම ය. දියුණු කිරීම ය. උගතුන් ගේ සන්තානයෙහි බොහෝ සංඥා ඇත්තේ ය. නූගතුන් ගේ සන්තානයෙහි ඇත්තේ සංඥා ස්වල්පයකි. තිරිසන් සතුන් ගේ පටන් සැමදෙනා කෙරෙහි ම සංඥා එක්තරා ප්‍ර‍මාණයක් ඇත්තේ ය. තිරිසනුන්ට ආහාර පානාදිය සපයා ගැනීමටත් ආත්මය ආරක්‍ෂා කර ගැනීමටත් උපකාර වන්නේ මේ සංඥාව ම ය.

කිසිවකු ගේ සංවිධානයක් නැතිව ද්වාරයන්හි අරමුණු ගැටීමෙන් ඒ අරමුණේ සැටියට යම් කිසි වේදනාවක් ඇතිවන්නාක් මෙන් ම සංඥාව ද ද්වාරයන්හි අරමුණු ගැටීම නිසා කිසිවකු ගේ සංවිධානයක් නැතිව ම ගැටීමට පැමිණි අරමුණුවල සැටියට ම ඇති වන්නකි. ඕනෑ සැටියට සංඥාවන් ඇති කරවන්නා වූ සංඥා කෙරෙහි අධිපති කම පවත්වන සංඥාවන් ගේ අයිතිකාරයකු වූ පුද්ගලයෙක් මේ නාමරූප ධර්ම අතර නැත. ඉන් පිටත ද නැත. ද්වාරයන්හි අරමුණු ගැටීම නිසා වේදනාව සේ ම ඉපද ඉපද බිඳි බිඳී යන සංඥාව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. ධාතු මාත්‍රයෙකි.

සංස්කාරස්කන්ධය මෙසේය :- රූපාදි අරමුණු චක්ෂුරාදි ද්වාරයන්හි ගැටුණු කල්හි වේදනාව හා සංඥා ඇතිවීමෙන් පමණක් නවත්නේ නො වේ. ඒවායින් සමහරක් ගැන හොඳය කියා තණ්හාව ඇති වේ. සමහරක් ගැන නරකය කියා ද්වේෂය ඇති වේ. එබැවින් ද්වාරයන්හි ගැටුණු ඒ රූපාදිය නිමිත්තෙන් ඒවා ඇති කිරීම් - රැස්කිරීම් - පරෙස්සම් කිරීම් - විනාශ කිරීම් - ඉවත් කිරීම් - ඉවත්වීම් - භුක්තිවිඳීම් ආදිය සම්බන්ධයෙන් යාම් - ඊම් - දීම් - ගැනීම් - කෑම් - පීම් - අනුබල දීම් - පීඩා කිරීම් - බොරු කීම් - කේළාම් කීම් - ඵරුෂ වචන කීම් - සාමාන්‍යයෙන් කතා කිරීම් ආදි බොහෝ කායික වාචසික මානසික ක්‍රියා සිදු වේ. ඒ ක්‍රියා සිදුකරන ශක්තිය වූ චේතනාව ප්‍ර‍ධාන වශයෙන් සංස්කාර නම් වේ.

සිදු කරන්නා වූ ක්‍රියාවන්ගේ නානත්වයෙන් බොහෝ චේතනා ඇත්තේ ය. ඒ චේතනා සමූහය එක්කොට සියල්ලට ම සංස්කාරස්කන්ධ ය යි කියනු ලැබේ. චේතනාව හා එක්වන ලෝභ - ද්වේෂ - මාන - දෘෂ්ටි - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - ශ්‍ර‍ද්ධා - ප්‍ර‍ඥා - මෛත්‍රී - කරුණාදි තවත් ධර්ම රාශියක් ඇත්තේ ය. ඒ සියල්ල ද සංස්කාරස්කන්ධයට ම අයත් ය. සංස්කාරස්කන්ධයට අයත් චෛතසික ධර්ම පනසක් ඇත්තේ ය. ඒවා වුවමනා නම් අභිධර්ම පොත්වලින් උගත යුතු ය.

සංඛාර යන වචනය පිටකත්‍රයෙහි නොයෙක් තැන්වල යෙදී ඇත්තේ ය, ඒ වචනයේ අර්ථ කීපයක් ඇත්තේ ය. මේ ස්කන්ධ කථාවෙහි එන සංස්කාර යන පදයේ අර්ථය වශයෙන් ගත යුත්තේ දෙපනස් චෛතසිකයන්ගෙන් වේදනා - සඤ්ඤා යන චෛතසික දෙක හැර ඉතිරි චෛතසික පනස ය. අනික් තැන්වල එන සංඛාර යන වචනයෙන් ඒ ඒ තැනට සුදුසු අර්ථය ගත යුතු ය. සෑම තැනදීම එකම අර්ථය ගන්නට ගොස් ධර්මය අවුල් කර නො ගත යුතු ය.

සාමාන්‍යයෙන් බලන කල්හි ගමනාදි ක්‍රියා ශරීරය විසින් සිදු කරන්නාක් මෙන් පෙනේ. ශරීරයට ක්‍රියා කළ හැකි ශක්තියක් නැත. ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ උත්සාහය වූ චේතනාව සිත හා බැඳී උපදින චෛතසික ධර්මයකි. චේතනාව උපදනා කල්හි එයට අනුව සිත ද තවත් චෛතසික ද ඇති වේ. ඒ චිත්ත චෛතසික ධර්ම රාශිය නිසා උත්සාහ කරන ක්‍රියාව සිදුවීමට සුදුසු පරිදි අත්පා ආදිය සොලවන එහා මෙහා යවන වායුවක් ශරීරය තුළ ඇති ව්. එයින් ගමනාදිය සිදු වේ. එය සිදු කරන ප්‍ර‍ධාන ධර්මය එකම චේතනාවය. එබැවින් එයට සංඛාර ය යි කියනු ලැබේ.

චේතනාව නිසාම ගමනාදි ඒ ඒ ක්‍රියා සිදු වෙනවා මිස සත්ත්වයා ලෙස සලකන මේ නාමරූප ධාතු පුඤ්ජයෙහි ගමනාදි ක්‍රියා සිදු කරන පුද්ගලයෙක් නැත. ආත්මයක් නැත. වේදනා සංඥාවන් සේ ද්වාරයන්ට අරමුණු පැමිණීම නිසා ඉපද ඉපද ඒ ඒ මොහොතේ ම නැතිවී යන ඒ චේතනාද පුද්ගලයකු නො විය හැකි ය. ආත්මයක් නො විය හැකි ය.

විඥානස්කන්ධය මෙසේය :- ඇසට රූපයක් එළඹ සිටින කල්හි ඒ දෙය පෙනේ. පෙනීමය යි කියනුයේ ඒ රූප දක්නා සිත ඇතිවීමට ය. විඥානය යි කියනුයේ සිතට ය.

ඇසට රූපයක් එළඹ සිටි කල්හි ඇතිවන, දක්නා සිතට චක්ඛුවිඤ්ඤාණය යි කියනු ලැබේ. කනට ශබ්දයක් පැමිණි කල්හි ඇසීම සිදු වේ. ඒ ඇසීම කෙරුණු සිත සෝත විඤ්ඤාණ නම් වේ. නැහැයට ගන්ධයක් පිවිසි කල්හි ගඳ දැනීමක් සිදු වේ. ගඳ දැනගන්නා වූ ඒ සිත ඝාණවිඤ්ඤාණ නම් වේ. දිවට රසය ඇති දෙයක් පැමිණි කල්හි රස දැනීම සිදු වේ. රසය දැන ගන්නා වූ සිත ජිව්හාවිඤ්ඤාණ නම ්වේ. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි ඒ සැපීම දැනේ. සැපීම දන්නා වූ සිත කායවිඤ්ඤාණ නම් වේ. මනෝද්වාරය යම් කිසිවකට යොමු වූ විට ඒදෙය දැනගැනීම් වශයෙන් සිතක් උපදී. ඒ සිත මනෝවිඤ්ඤාණ නම් වේ. චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ ඝාණවිඤ්ඤාණ ජිව්හා විඤ්ඤාණ කායවිඤ්ඤාණ මනෝවිඤ්ඤාණ යන මේ සියල්ලට විඥානස්කන්ධ ය යි කියනු ලැබේ.

විඥානස්කන්ධයට අයත් සිත් එක් ක්‍ර‍මයකින් අසූනවයක් ද තවත් ක්‍ර‍මයකින් එකසිය විසිඑකක් ද වේ. ඒවා දනු කැමති නම් අභිධර්ම පොත්වලින් උගත යුතු ය. චක්ඛුවිඤ්ඤාණ නම් වූ සිත ඇසෙහි රූපච්ඡායාව ගැටීම නිසා ඇතිවන්නකි. එය අන්කිසි හේතුවකින් ඇතිවන්නේ නො වේ. කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක් ද නො වේ. එබැවින් තමාගේ කැමැත්ත අනුව චක්ඛුවිඤ්ඤාණය උඵදවන චක්ඛුවිඤ්ඤාණය කෙරෙහි අධිපතිකම පවත්වන පුද්ගලයෙක් නැත.

ඇසෙහි රූපච්ඡායාව ගැටීම සිදුවුවහොත් චක්ඛු විඤ්ඤාණයේ ඉපදීම වැළැක්වීමට සමත් පුද්ගලයෙක් ද නැත. ඇසෙහි රූපච්ඡායාව ගැටීම නිසා ඉපද එකෙණෙහි බිඳී යන චක්ඛු විඤ්ඤාණය ද පුද්ගලයෙක් නො වේ. චක්ඛු විඤ්ඤාණය මෙන් ම සෝතවිඤ්ඤාණාදි විඤ්ඤාණ පස ද පුද්ගලයකු නො වන බව ආත්ම නො වන බව තේරුම් ගත යුතු ය.

රූපස්කන්ධාදි වශයෙන් පස් කොටසකට බෙදා තිබෙන්නේ ද සංසාර චක්‍ර‍යට අයත් අවිද්‍යා - සංස්කාර - විඥාන - නාමරූප - සළායතන - ස්පර්ශ - වේදනා - තෘෂ්ණා - උපාදාන - භව - ජාති ජරා මරණ යන ප්‍ර‍තීත්‍යසමුත්පාදාඞ්ග දොළොසම ය. ඒවා කොටස් පසකට බෙදා තිබෙන්නේ සත්ත්වයාය පුද්ගලයාය ආත්මය කියා වරදවා ගැනීමේ දී විශේෂයෙන් අල්ලා ගන්නා ධර්මයන් ඒ ඒ කොටස්වලට ඇතුළු කිරීමෙනි. සත්ත්වයාය, පුද්ගලයාය, මමය කියා වරදවා ගන්නෝ වරින් වර එක එක දෙය ආත්මය කොට නිති. වරකට රූප සමූහය ආත්ම වශයෙන් ගනිති. වරකට වේදනාව ආත්ම වශයෙන් ගනිති. වරකට සංඥාව ආත්මය වශයෙන් ගනිති. වරකට සංස්කාරයන් ආත්මය වශයෙන් ගනිති. වරකට විඤ්ඤාණය ආත්මය වශයෙන් ගනිති.

රූපය ප්‍ර‍ධාන කර ගෙන සිතන කථා කරන අවස්ථාවලදී සන්තානයෙහි ඇතිතාක් රූප එකක් කොට සත්ත්වයා පුද්ගලයා වශයෙන් ගෙන, මම කුඩාය - මම මහත්ය - මම උස්ය - මම මිටිය -මම කළුය - මම රතුය යනාදීන් කථා කරති. අසවලා කුඩාය - මහත්ය - උස්ය - මිටිය - කළුය - රතුය යනාදි පර - සන්තානගත රූප පුද්ගලයා කොට සිතති, කථා කරති.

වේදනාවත් උසස් කොට සලකන එක්තරා ධර්මයක් වන බැවින් වේදනාව ගෙන මම සැප විඳිමිය, දුක් විඳිමිය, අසවලා සැප විඳීය, දුක් විඳීය කියා වේදනාව පුද්ගලයා කොට සිතති. කථා කරති. වේදනාව හැර සුවදුක් විඳින අනිකකු නැති බැවින් මම සැප විඳිමියි කියන කල්හි මම යනුවෙන් ගැනෙන්නේ වේදනාස්කන්ධය ය.

සංඥාව ගැන සිතන කියන අවස්ථාවලදී මම මේ මෙ කරුණු දනිමිය, අසවලා මේ මේ දේ දන්නේ ය යි සංඥාව පුද්ගලයා වශයෙන් ගෙන සිතති. කථා කරති. ඒ ඒ දෙය හැඳිනීම සංඥාව මිස හඳුනන පුද්ගලයකු නැති බැවින් මම දනිමියි කියන කල්හි මම යනුවෙන් ගැනෙන්නේ සංඥාස්කන්ධය ය.

සංස්කාරයන් ගැන සිතන කථා කරන අවස්ථාවලදී මම යමිය - එමිය - දෙමිය - ගනිමිය - අසවලා යන්නේ ය - එන්නේ ය - ගන්නේ ය - දෙන්නේ ය කියා සිතන කියන කල්හි පුද්ගලයා කොට ගන්නේ සංස්කාරස්කන්ධය ය.

මම දකිමිය අසමිය යනාදීන් විඥානය ප්‍ර‍ධාන කොට සිතන කියන කල්හි මම යනුවෙන් අදහස් කරන්නේ විඥානස්කන්ධය ය. බොහෝ සෙයින් ආත්මසංඥාව ඇති වන්නේ මේ රූපාදි කොටස් පස සම්බන්ධයෙනි. ඒවා වෙන් වශයෙන් තේරුම් ගත්තාම ආත්ම සංඥාව - ආත්ම දෘෂ්ටිය දුරුකර ගැනීම පහසු වේ. එබැවින් තථාගතයන් වහන්සේ සංසාර චක්‍ර‍යට අයත් අවිද්‍යාදි ධර්ම සමූහය මෙසේ පස් කොටසක් කොට වදාළ සේක. විස්තර කළයුතු තවත් කරුණු ඇතත් ග්‍ර‍න්ථය මහත් වන බැවින් දශබල සූත්‍ර‍ විස්තරය මෙපමණකින් නවත්වනු ලැබේ.