චතුර්වෛශාරද්‍ය ඥානය

තථාගතයන් වහන්සේ ගේ වෛශාරද්‍ය ඥාන සතර මහාසීහනාද සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ.

  1. “සම්මාසම්බුද්ධස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධාති, තත්‍ර‍ වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍ර‍හ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්ත මේතං සාරිපුත්ත! න සමනුපස්සාමි. ඒතම්පාහං සාරිපුත්ත! නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.
  2. ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති, තත්‍ර‍ වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍ර‍හ්මා වා කෝචි වා ලෝකස්මිං පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත! න සමනුපස්සාමි. ඒතම්පාහං සාරිපුත්ත! නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තො අභයප්පත්තෝ වෙසාරජ්ජප්පත්තෝ විහරාමි.
  3. යේ ඛෝ පන තේ අන්තරායිකා ධම්මා වුත්තා තේ පටිසෙවතෝ නාලං අන්තරායාති, තත්‍ර‍ වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍ර‍හ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත! න සමනුපස්සාමි. ඒතම්පාහං නිමිත්තං සාරිපුත්ත! අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.
  4. යස්ස ඛෝ පන තේ අත්ථාය ධම්මෝ දේසිතෝ සෝ න නිය්‍යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාති. තත්‍ර‍ වත මං සමණෝ වං බ්‍රාහ්මණෝ වා දේවෝ වා මාරෝ වා බ්‍ර‍හ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත! න සමනුපස්සාමි. ඒතම්පාහං සාරිපුත්ත! නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

තේරුම:

  1. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ සියල්ල ම මනාකොට දැන සිටින්නාහ යි ප්‍ර‍තිඥා කෙරෙති. “නුඹ වහන්සේ සියල්ල දනිම්හ යි ප්‍ර‍තිඥා කරතත් අසවල් කරුණ දැන ගෙන නැතය කියා” ශ්‍ර‍මණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍ර‍හ්මයකු විසින් හෝ අන් කවරකු විසින් හෝ කරුණු සහිතව චෝදනා කරනු ඇතය කියා කිසි බියක් තථාගතයන් වහන්සේට නැත. තමන් වහන්සේ ගේ සර්වඥත්වය පිළිබඳව කිසි අඩුවක් නැති බව දන්නා උන්වහන්සේ ගේ ඥානය එක් වෛශාරද්‍ය ඥානයකි.
  2. තථාගතයන් වහන්සේ කාමාදි සකලා ශ්‍ර‍වයන් ක්ෂය කර සිටිම්හ යි ප්‍ර‍තිඥා කරන්නාහ. “සකලාශ්‍ර‍වයන් ක්ෂය කර සිටිම්හ යි ප්‍ර‍තිඥා කරන ඔබ තවම අසවල් ආශ්‍ර‍වය ක්ෂය කර නැතය” යි හේතු සහිතව කිසිවකු විසින් චෝදනා කරනු ඇතය යන බියක් උන් වහන්සේට නැත. තමන් වහන්සේ ගේ ආශ්‍ර‍වක්ෂයෙහි කිසි අඩුවක් පාඩුවක් නැති බව දන්නා ඥානය එක් වෛශාරද්‍ය ඥානයෙකි.
  3. “තථාගතයන් වහන්සේ විසින් අන්තරායික ධර්ම සැටියට ප්‍ර‍කාශ කර ඇති යම්කිසි කරුණක් අන්තරායික නො වේය” යි හේතු සහිතව දක්වා යම්කිසි කෙනකුන් විසින් චෝදනා කරනු ඇතය කියා බියක් උන් වහන්සේ ට නැත. තථාගතයන් වහ්නසේ ගේ ඒ බව දක්නා ඥානය එක් වෛශාරද්‍ය ඥානයෙකි.
  4. “තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය අනුව පිළිපදින්නාහට ඒ පිළිවෙතින් දුක් කෙළවර කළ නො හේය” යි යම් කිසිවකු විසින් හේතු සහිතව චෝදනා කරනු ඇතය කියා බියක් උන් වහන්සේට නැත. තථාගතයන් වහන්සේ ගේ ඒ බව දක්නා ඥානය එක් වෛශාරද්‍ය ඥානයෙකි. මෙසේ වෛශාරද්‍ය ඥාන සතරක් ඇත්තේ ය.

බල ඥාන දශය, වෛශාරද්‍ය ඥාන සතරය යන මේ ඥාන තුදුස යමකුට ඇත්තේ නම් ඒ තැනැත්තා ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. එබඳු පුද්ගලයකුට කිසි විටෙක වැරදීමක් නො විය හැකි ය. යම්කිසි දේශනයක් අසන්නහුට අවබෝධ වේ නම් එය ගැන අසන්නහුට සැකයක් ඇති නො වේ. එකෙණෙහි ම එය පිළිගැනේ. යම් දේශනයක් අසන්නහුට අවබෝධ නො වේ නම් එය ගැන සැක ඇති වේ. වාද ඇති වේ. පරම ගම්භීර ප්‍ර‍තීත්‍ය සමුත්පාද ධර්මය අසන්නහුට ලෙහෙසියෙන් අවබෝධ වන්නේ නො වේ. එබැවින ්එය ගැන සැක ඇති වේ. වාද ඇති වේ. අවබෝධ නො වන දෙයක් පිළිගන්නවා නම් පිළිගැනෙන්නේ දේශකයා කෙරෙහි ඇති විශ්වාසය උඩය.

ගැඹුරු ධර්මයක් දේශනය කරන කල්හි ශ්‍රාවකයන් කෙරෙහි ශ්‍ර‍ද්ධාව නො තුබුණ හොත් ඔවුහු “ඕවා අපට තේරෙන්නේ නැත” කියා ඒ ධ්මය අහක දමනවා මිස එය ගැන සැලකිල්ලක් නො දක්වති. ශ්‍ර‍ද්ධාව ඇත්තෝ නො තේරෙන ධර්මය වුවද ඇසූ කල්හි “මෙය නො තේරෙන්නේ අපේ දුබලකම නිසා ය. මෙය තේරුම් ගැනීමට අප උත්සාහ කරන්නට ඕනෑය”යි සිතා ඒ ධර්මය මතක තබා ගන්නටත් අවබෝධකර ගන්නටත් උත්සාහ කෙරෙති. ධර්මය ගැන සැලකිල්ල දක්වති. ඒ සැලකිල්ල නිසා ශ්‍රාවකයෝ ඒ ධර්මය මතක තබා ගෙන එයට අනුව පිළිපැද කවදා හෝ ඒ ධර්මය අවබෝධ කර ගෙන නිවන් පසක් කර ගනිති. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දී දශබලඥාන චතුර්වෛශාරද්‍ය ඥානයන් දැක්වීමෙන් ආත්ම වර්ණනාවක් හා ධර්ම වර්ණනාවක් කරන ලදුයේ භික්‍ෂූන්ට ශ්‍ර‍ද්ධාව ඇතිකරනු පිණිස ය.