“බ්‍රහ්මචක්කං පවත්තේති” යන තැන බ්‍රහ්මචක්‍රයයි කියනුයේ ධර්ම චක්‍රයට මය. බ්‍රහ්මචක්ක යන්නෙහි තේරුම ශ්‍රේෂ්ඨචක්‍රය යනුයි. බ්‍රහ්ම ශබ්දය ශ්‍රේෂ්ඨාර්ථයෙහි ය. කැරකෙන කල්හි එයට හසුවන සැමදෙයම කැපී යන රෝදයකට චක්‍රායුධය ය යි කියනු ලැබේ. එය පැරණි ආයුධයකි. තථාගතයන් වහන්සේ ගේ චතුරාර්‍ය්‍ය සත්‍යය දක්නා ඥානයත් කෙලෙස් සතුරන් විනාශ කරන්නක් බැවින් චක්‍රායුධයක් වැනි ය. තථාගතයන් වහන්සේ ගේ ඒ ඥානය ප්‍රතිවේධඥාන - දේශනාඥාන වශයෙන් දෙවැදෑරුම් වේ.
ප්‍රතිවේධ ඥානය එක් ධර්ම චක්‍රයෙකි. එයින් තථාගතයන් වහන්සේ ගේ සන්තානයෙහි වූ කෙලෙස් කැපී විනාශ වී ගියේ ය. දේශනා ඥානය මෙහෙයා දහම් දෙසන කල්හි එය අසන්නා වූ ජනයාගේ සන්තානයෙහි කෙලෙස් කැපී නැසී වැනසී යන්නේ ය. විනේයජනයන් ගේ සන්තානයෙහි කෙලෙස් නැසෙන වැනසෙන පරිදි දේශනාඥානයෙන් ධර්මය දේශනය කිරීම ධර්මචක්‍රය පැවැත්වීම ය. කරකැවීම ය. සෙස්සනට ද ප්‍රතිවේධ ඥාන දේශනාඥාන ඇතද බ්‍රහ්මචක්ක - ධම්මචක්ක යන නම් ඒවාට නො කියනු ලැබේ. ඒ නම් ව්‍යවහාර වන්නේ තථාගතයන් වහන්සේ ගේ ඥානයට පමණෙකි.