දශබල ඥානය දැක්වෙන ගාථා දෙකක් මෙසේ ය :-

“ඨානා ඨානේ විපාකේ ච - මග්ගෙ සබ්බත්ථ ගාමිනං,

නානාධාතුම්හි ලෝකස්මිං - අධිමුත්තිම්හි පාණිනං,

-

පරෝ පරියත්තෙ ඤාණං - ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං,

ඣානාදීසු ඤාණං - පුබ්බේ නිවාසේ දිබ්බචක්ඛු ච,

ආසවක්ඛයඤාණන්ති - දසඤාණබලං මතං.”

මේ බලඥාන දශය පිළිබඳ ව දීර්ඝ විස්තරයක් විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගයේ හා එහි අටුවාවෙහි එන්නේ ය.

(1) “ඉධ තථාගතෝ ඨානඤ්චඨානතෝ අට්ඨානඤ්ච අට්ඨානතෝ යථාභූතං පජානාති ඉදම්පි තථාගතස්ස තථාගතබලං හෝති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තෙති”යි.

විභංග පාළියෙහි දැක්වෙන පරිදි “මේ මේ දේ සිදුවීමට හේතු ඇත්තේ ය, මේ මේ දේ සිදුවීමට හේතු නැත්තේ ය, මේ හේතුවෙන් මෙය සිදුවන්නේ ය මේ හේතුවෙන් මෙය සිදු නො වන්නේ ය යි සියල්ල පිළිබඳ වූ ම හේතු අහේතූන් තථාගතයන් වහන්සේ තත්ත්වාකාරයෙන් දන්නාහ. හේතු අහේතු පිළිබඳ දැනුමෙහි අඩුවක් උන්වහන්සේට නැත. ඒ හේතු අහේතු දන්නා නුවණ තථාගතයන් වහන්සේ ගේ පළමුවන බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨස්ථානයේ ඉන්නා සේක. පිරිස්හි සිංහනාදය පවත්වනව සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.”

(2) “පුන ච පරං තථාගතෝ අතීතානාගාතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසෝ හේතුසේ විපාකං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තෙති”යි.

විභංග පාළියෙහි දැක්වෙන පරිදි “මේ මේ කර්මයෙන් මෙබඳු විපාකයක් ඇත්තේය යි අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් කර්මයන් ගේ විපාක තථාගතයන් වහන්සේ නිවැරදි ලෙස අඩුපාඩුවක් නැතිව ම හොඳින් දන්නා සේක. ඒ කර්ම විපාක දන්නා ඥානය තථාගතයන් වහන්සේ ගේ දෙවන මහා බලය ය. ඒ බලය නිසා ද තථාගතයන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාදය පවත්වන සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.”

(3) “පුන චපරං තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති” යි.

විභංග පාළියෙහි දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ “මේ සත්ත්වයා නරකයට පමුණුවන ප්‍ර‍තිපත්ති ය ය, මේ තිරිසන් බවට පමුණුවන ප්‍ර‍තිපත්තිය ය, මේ ප්‍රේතත්‍වයට පමුණුවන ප්‍ර‍තිපත්තිය ය, මේ මිනිස් ලොවට පමුණුවන ප්‍ර‍තිපත්තිය ය, මේ දෙව්ලොවට පමුණුවන ප්‍ර‍තිපත්තිය ය, මේ නිවනට පමුණුවන ප්‍ර‍තිපත්තිය ය කියා සැමතැනට ම පමුණුවන පිළිවෙත් දන්නා සේක. ඒ සැමතැනට ම යන පිළිවෙත් දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ තුන්වන තථාගත බලය ය. ඒ බලයෙන් තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද පවත්වන සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.

(4) “පුන ච පරං තථාගතෝ අනේකධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ අනේකධාතු නානාධාතු ලෝකං යථාභූතං පජානාති. ඉදම්පි තථාගතස්ස තථාගතබලං හෝති. බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති”යි.

විභංග පාළියෙහි දැක්වෙන පරිදි “මේ රූපය මේ වේදනාවය යනාදීන් ස්කන්ධයන්ගේ නානත්වය දන්නාහ, ආයතනයන්ගේ නානත්වය දන්නාහ, ධාතූන්ගේ නානත්වය දන්නාහ, මෙසේ අනේකධාතු නානාධාතු ලෝකයේ නානත්වය දන්නාහ. මේ අනේකධාතු නානාධාතු ලෝකයේ නානත්වය දන්නා නුවණ තථාගතයන් වහන්සේ ගේ සතරවන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි ඉන්නා සේක. සිංහ නාදය කරන සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.”

(5) “පුන ච පරං තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති” යි.

දැක්වෙන පරිදි “ලාමක අදහස් ඇත්තෝ ද ඇත, උසස් අදහස් ඇත්තෝ ද ඇත, ලාමක අදහස් ඇතියෝ ලාමක අදහස් ඇතියවුන් භජනය කරන්නාහ. උසස් අදහස් ඇතියෝ උසස් අදහස් ඇතියවුන් භජනය කරන්නාහ යනාදීන් සත්ත්වයන් ගේ අදහස් දන්නා නුවණ තථාගතයන් වහන්සේ ගේ පස්වන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද කරන්නාහ. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන්නාහ.”

(6) “පුන ච පරං තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති යම්පි තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථාභූතං පජානාති ඉදම්පි තථාගතස්ස තථාගතබලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති.”

යනුවෙන් දැක්වෙන පරිදි “තථාගතයන් වහන්සේ මොවුන් ගේ ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයෝ තරුණ අවස්ථාවෙහි පවත්නාහ. මොවුන්ට මේරූ දියුණු වූ ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයෝ ඇත්තාහ යි සත්ත්වයන් ගේ ඉන්ද්‍රියයන් මෝරා ඇති නැති බව තත් වූ පරිද්දෙන් දන්නාහ. තථාගතයන් වහන්සේ ගේ ඒ පරසත්ත්‍වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්‍වය දක්නා ඥානය සවන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද කරන සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.

(7) “පුන ච පරං තථාගතො ඣානවිමොක්ඛ සමාධිසමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ ඣානවිමොක්ඛ සමාධිසමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති.”

යනුවෙන් දැක්වෙන පරිදි “තථාගතයන් වහන්සේ ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන චතුෂ්කයා ගේ ද අෂ්ට විමෝක්ෂ යන් ගේ ද සවිතර්ක සවිචාර සමාධ්‍යාදි ත්‍රිවිධ සමාධිය ගේ ද නව වැදෑරුම් අනුපූර්වසමාපත්තීන් ගේ ද පිරිහෙන අතට වැටී ඇති බව ද දියුණුවන බව ද ධ්‍යානාදියෙන් නැඟී සිටීම ද තත් වූ පරිදි දන්නාහ. තථාගතයන් වහන්සේ ගේ ඒ ධ්‍යානය ගැන දන්නා නුවණ සත්වන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහ්නසේ ලෝකයෙහි ශ්‍රෙෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද කරන සේක. බ්‍ර‍හ්ම චක්‍ර‍ය පවත්වන සේක.

(8) “පුන ච පරං තථාගතෝ පුබ්බේනිවාසානුස්සතිං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ පුබ්බේනිවාසානුස්සතිං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති.”

යනුවෙන් දැක්වෙන පරිදි “තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ පෙර උපන් ජාති පිළිවෙළ මැනවින් දක්නාහ. ඒ පෙර උපන් ජාති පිළිවෙළ දක්නා ඥානය තථාගතයන් වහන්සේ ගේ අටවන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද කරන්නාහ. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන්නාහ.”

(9) “පුන ච පරං තථාගතෝ සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති. යම්පි තථාගතෝ සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හෝති, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති.”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ අසවල් සත්ත්වයා චුතව අසවල් තැන උපන්නේ ය යි සත්ත්වයන් ගේ ච්‍යුති උත්පත්ති දෙක තත් වූ පරිදි දන්නාහ. තථාගතයන් වහන්සේ ගේ ඒ පරසත්ත්වයන් ගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ නව වන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද පවත්වන සේක. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන සේක.”

(10) “පුන ච පරං තථාගතෝ ආසවානං ඛයං යථාභූතං පජානාති, යම්පි තථාගතෝ ආසවානං ඛයං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍ර‍හ්මචක්කං පවත්තේති.”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ කාමාදි සකලාශ්‍ර‍වයන් ක්ෂයකොට අර්හත්ඵල සමාධිය ලබා සිටින සේක. නිර්වාණය දක්නා වූ ඒ අර්හත්ඵල ඥානය තථාගතයන් වහන්සේ ගේ දසවන තථාගත බලය ය. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයෙහි ශ්‍රේෂ්ඨස්ථානයෙහි ඉන්නා සේක. පිරිස්හි සිංහනාද කරන්නාහ. බ්‍ර‍හ්මචක්‍ර‍ය පවත්වන්නාහ.”

මේ දශබලඥානය සංක්ෂේපයෙන් දැක්වීම ය. විස්තර දනුකැමැත්තෝ මජ්ඣිම නිකායේ මහාසීහනාද සූත්‍රයෙන් හා අභිධර්ම පිටකයේ විභංගප්‍ර‍කරණයෙන් ද අප විසින් සම්පාදිත “සූවිසි මහ ගුණය” පොතෙන් ද බලාගත යුතු ය. තථාගතයන් වහන්සේට නොයෙක් ඥාන ඇත්තේ ය. ඇතමෙක් “දශබලඥානය කියා අමුතු ඥාන දශයක් නැත. ඒවාත් සර්වඥතාඥානයේ ප්‍රභේදමය” යි කියති. එය වැරදි මතයෙකි. සර්වඥතාඥානය අනෙකකි. දශබලඥානය එයින් අන්‍ය ඥාන දශයෙකි. ඒ ගැන වැඩිදුරු කරුණු විභංග අටුවාවෙන් බලාගත යුතු.