බුදු සමයෙහි උපෙක්ඛා යන නාමය ධර්ම බොහෝ ගණනකට යෙදේ. තමාට කරදර කරන දුක් ඇති කරන පුද්ගලයන්ට විරුද්ධ වීමක් ද නැති ව, තමාට ඇලුම් කරන ගරු බුහුමන් කරන උපකාර කරන හිතකාමීන්ට ඇලුම් කිරීමක් හෝ විශේෂයෙන් මෛත්‍රිය කිරීමක් හෝ නැතිව, ලෝකයා ලස්සනය කියා හොඳය කියා ඇලුම් කරන ඉෂ්ට වස්තූන්ට ඇලුම් නො කර, ලෝකයා විසින් කැතය නරකය කියා පිළිකුල් කරන අනිෂ්ට වස්තූන් පිළිකුල් කිරීමක් ද නැතිව, සකල සත්ත්වයන් කෙරෙහි හා සකල වස්තූන් කෙරෙහි සම සිත පවත්වන ස්වභාවය මේ පාරමිතා විෂයෙහි අදහස් කරන උපේක්ෂාව ය.
තුන්තරා බෝධිය අතුරෙන් එක්තරා බෝධියක් පිණිස පවත්වන්නා වූ ඒ උපේක්ෂාව උපේක්ෂා පාරමිතාව ය. චරියා පිටක අටුවාවෙහි -
“කරුණුපාය කොසල්ලපරිග්ගහිතා අනූනය පටිඝ විද්ධංසනී ඉට්ඨානිට්ඨෙසු සත්ත සංඛාරෙසු සමප්පවත්ති උපෙක්ඛා පාරමිතා”
යනුවෙන් මහාබෝධී උපේක්ෂා පාරමිතාව දක්වා තිබේ. කරුණාවෙන් හා උපාය කෞශල්‍යඥානයෙන් පරිගෘහිත වූ ඇලීම් - විරුද්ධවීම් දෙක දුරු කරන ඉෂ්ටානිෂ්ට සත්ත්ව සංස්කාරයන්හි සමව පැවැත්ම උපේක්ෂා පාරමිතාව’ ය යනු එහි තේරුම ය.
උපේක්ෂා බ්‍රහ්මවිහාරය ද බෝසතුන් වඩන ධර්මයෙකි. එහෙත් එය උපේක්ෂා පාරමිතාව නො වේ. උපේක්ෂා බ්‍රහ්මවිහාර - උපේක්ෂා පාරමිතා දෙක්හි වෙනස මෙසේ ය: මෙත්වැඩීම් වශයෙන් සත්ත්වයන් සුවපත් කිරීමේ උත්සාහය හා සත්ත්වයන් දුකින් මිදවීමේ උත්සාහය හැර, සත්ත්වයන් ගැන මධ්‍යස්ථ වීම උපේක්ෂා බ්‍රහ්මවිහාරය ය. හිතාහිත සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇලීම් විරුද්ධ වීම් දෙක හැර මධ්‍යස්ථ වන ස්වභාවය උපේක්ෂා පාරමිතාව ය.