උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

උපේක්ෂා පාරමිතාවට උත්සාහය ඇති වනු පිණිස මතු දැක්වෙන කරුණු මෙනෙහි කළ යුතු ය. තමන්ට ස්තුති කරන, ගරු බුහුමන් කරන, උපකාර කරන, සත්ත්වයන් ගැන සතු‍ටු වී, ඔවුන් කෙරෙහි ඇලීමත්, අවමන් කරන කරදර කරන සත්ත්වයන් කෙරෙහි කිපී ඔවුනට වෛර කිරීමත් - එසේ ම ඉෂ්ට වස්තූන්ට ඇලුම් කිරීමත් - අනිෂ්ට වස්තුන් පිළිකුල් කොට බැහැර කිරීමත්, ලෝකයෙහි සාමාන්‍ය සත්ත්වයන් ගේ ස්වභාවය ය.

එය උසස් ගතියක් නොව ලාමක ගතියකි. ඒ ස්වභාවය පවත්නා තුරු ඔවුනට සසර දුකින් නො මිදිය හැකි ය. හිතාහිත සත්ත්වයන් කෙරෙහි හා ඉෂ්ටානිෂ්ට වස්තුන් කෙරෙහි සමසිත් ඇති බව මහා ගුණයෙකි. ෂඩංගෝපේක්ෂාව නම් වූ රහත් ගුණයටත්, තාදී ගුණය නම් වූ රහත් ගුණයටත් මේ උපේක්ෂා පාරමිතාව බොහෝ සමාන කම් ඇති ගුණයෙකි. එය දානාදි පාරමිතා නවයට ම ඉතා උපකාරක ගුණ ධර්මයෙකි.

උපේක්ෂාවෙහි නො පිහිටි තැනැත්තාට දානාදි පාරමිතා මැනවින් නො පිරිය හැකිය. සත්ත්වයන් ගෙන් කොටසකට ඇලුම් කරන, කොටසකට වෛර කරන තැනැත්තාට ශුද්ධ චේතනාවෙන් දන්දීම දුෂ්කර ය. හේ ඇලුම් කරන පුද්ගලයන්ට ඇල්ම නිසා දෙන්නේ ය. වෛර කරන, පිළිකුල් කරන පුද්ගලයන්ට නො දෙන්නේ ය. ඉෂ්ට වස්තුන්ට ඇලුම් කිරීමත් දීමට බාධාවෙකි.

උපේක්ෂාවක් නැති කෙනකු විසින් ලොවුතුරා බුදු බව පතා අඹු දරුවන් කෙසේ දිය හැකි වේ ද? නො දිය හැකි ම ය. තමන් ඇලුම් කරන කෙනකුට දීමත් තෘෂ්ණාව නිසා කරන්නක් බැවින් පිනක් වුවත් සම්බෝධියට පැමිණ වීමට තරම් ශක්තියක් ඇති පිනක් නො විය හැකිය. ලෝකය, කෙරෙහි මධ්‍යස්ථතාව නැතියකුට උසස් ලෙස සිල් ‍රැකීමත් දුෂ්කර ය. ඇලීම ය, ගැටීම ය යන දෙක සිල් කිලිටි වීමට හා බිඳීමටත් කරුණු වේ. උසස් ලෙස සිල් ‍රැකිය හැකි වීමට සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාව තිබිය යුතුය. උපේක්ෂාවක් නැති, වස්තුව කෙරෙහි අඹුදරුවන් කෙරෙහි ඇලීම් ඇති තැනැත්තාට ඒවා හැර දැමීම ඒවායින් බැහැරවීම වූ නෛෂ්ක්‍රම්‍ය නො පිරිය හැකි ය. හොඳ නරක දෙක, යුක්ත්‍යායුක්ති දෙක හරියට පෙනීමටත් උපේක්ෂාව තිබිය යුතුය.

පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට විරුද්ධ වන තැනැත්තාට හොඳ නරක දෙක යුක්ත්‍යායුක්ති දෙක ආවරණය වේ. ඔහුට ඇලුම් කරන තැනැත්තාත්, කරන වැඩත්, ඔහු කියන දෑත් හොඳ සැටියටත්, සත්‍ය සැටියටත්, යුක්තිය සැටියටත් පෙනේ. තමන් වෛර කරන - පිළිකුල් කරන - පහත් කොට සිතන අයත්, ඒ අය කරන කියන දෑත් නරක සේ පෙනේ. ඒ සම්මෝහය ප්‍රඥා පාරමිතාවට බාධාවකි. සත්‍ය දර්ශනය වූ ප්‍රඥාව ඇති වීමට සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාව තිබිය යුතු ය. එබැවින් උපේක්ෂාව ප්‍රඥා පාරමිතාවට ද ඉතා උපකාරක ධර්මයක් වේ.

පරෝපකාරය පිණිස දානාදි ක්‍රියා විෂයෙහි කරන වීර්‍ය්‍යය අනුන් ගේ වරදක් දැක අනුන් ගැන කිපුණු කල්හි, කලකිරුණු කල්හි ලිහිල් වේ. ඇලුම් කරන පුද්ගලයන් හා වස්තුන් නිසා ද, සුවයට ඇලුම් කිරීම නිසා ද ලිහිල් වේ. එබැවින් වීර්‍ය්‍ය පාරමිතාව පවත්වා ගෙනයාමට ද උපේක්ෂා පාරමිතාවත් තිබිය යුතුම ය. ක්ෂාන්ති පාරමිතා - උපේක්ෂා පාරමිතා දෙක එකිනෙකට උපකාර, එකිනෙක හා බැඳී පවත්නා පාරමිතා දෙකකි. මධ්‍යස්ථ විය හැකි වීමට ඉවසන ස්වභාවය තිබිය යුතු ය. ඉවසිය හැකි වීමට ද මධ්‍යස්ථ ස්වභාවය තිබිය යුතුය.

මේ පාරමිතා දෙක ඉතිරි පාරමිතා අටට මා පිය දෙදෙනකු සේ උපකාරක ය. පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට ක්‍රෝධ කරන තැනැත්තාට සත්‍යයෙහි පිහිටීමත් දුෂ්කර ය, අධිෂ්ඨානයෙහි පිහිටීමත් දුෂ්කර ය. පක්ෂයකට ඇලුම් කිරීම හා පක්ෂයකට කිපීම නිසා නොයෙක් විට පොරොන්දු කඩ කිරීම ආදියෙන් සත්‍යයෙන් ද, අධිෂ්ඨානයෙන් ද බැහැර විය හැකි ය. සත්‍යාධිෂ්ඨාන පාරමිතා දෙක මැනවින් පිරිය හැකි වීමටත් උපේක්ෂා පාරමිතාව තිබිය යුතු ම ය.

තමා යමකුට උපකාර කළේ නම් උපකාර ලැබූ තැනැත්තා විසින් තමාට කරන අපරාධය, තද කෝපයට හා තද කලකිරීමට හේතුවකි. මහ බෝසත් මහාකපි රාජයා තමාගේ ජීවිතය ගැන ද නො තකා බොහෝ මහන්සියෙන් ප්‍රපාතයෙහි වැටී හුන් පුරුෂයා ගොඩ ගෙන ඔහු ගේ ජීවිතය ‍රැක දුන්නේ ය. දුෂ්ඨ පුරුෂයා තමා ඔසවා ගෙන ඒමෙන් වූ වෙහෙසීම නිසා මඳක් නිදාගත් බෝසත් තුමා මරා මස් කා සාගින්න නිවා ගන්නට සිතා මහ ගලකින් බෝසත් තුමාගේ හිසට පහර දින. එය ඉවසීම පුරුදු කළ කෙනකුට ද ඉවසිය නො හෙන, දකින - අසන අය පවා කෝප කරවන මහා අපරාධයකි.

එහෙත් මහ බෝසත් මහාකපි රාජයා එය ඉවසී ය. එයත් ආශ්චර්‍ය්‍යයක් නො වේ. ආශ්චර්‍ය්‍යය නම් බෝසත්තුමා නො කලකිරී ඒ දුෂ්ට පුද්ගලයාට නැවතත් උපකාර කිරීම් වශයෙන් තමා ගේ හිසෙන් ගලනා ලේ බින්දුවලින් ම මඟ සලකුණු දක්වමින් ඒ දුෂ්ටයා මිනිස් පියසට යැවීම ය. එබඳු වැඩක් බලවත් උපේක්ෂාවක් නැතියකුට නො කළ හැකි ය. බෝසත් තුමාට එය කළ හැකි වීම උපේක්ෂා පාරමිතාවේ බලය ය.

රජ කෙනකු ගේ දරුවන් දාසත්වයට ඉල්ලීම අසන්නවුන් ගේ පවා සිත් ප්‍රකෝප කරවන කරුණකි. එහෙත් වෙසතුරු රජතුමා තමාගේ දරුවන් ඉල්ලා ආ පූජකයා දෙස මෙත් සිතින් යුක්තව ප්‍රිය චක්ෂූන් බලා දරුවන් ගැන ආලය ද දුරු කොට දරු දෙදෙනා ඔහුට දින. වෙසතුරු රජතුමාට බලවත් උපේක්ෂාවක් නො තිබුණේ නම් ඒ අවස්ථාවෙහි දී සිත් වන්නේ දරුවන් දීමට නොව පහර දී පූජකයා පලවා හැරීමට ය. එසේ නොකොට දරු දෙදෙනා පූජකයාට දී බෝසත් තුමාට දාන පාරමිතාව සම්පූර්ණ කළ හැකි වූයේ උපේක්ෂා පාරමිතාව නිසා ම ය.