“නෛෂ්ක්‍රම්‍ය - මෛත්‍රී - ක්ෂාන්ති” පාරමිතා තුන උපේක්ෂා පාරමිතාවට විශේෂයෙන් උපකාරක ධර්මයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇති තැනැත්තාට ලාභාදියට හා උපකාරක පුද්ගලයන්ට ද ඇති වන ඇල්ම දුරු කර ගෙන මධ්‍යස්ථ විය හැකි ය. ක්ෂාන්ති මෛත්‍රී දෙක ඇති කල්හි අපරාධ කරන්නවුන් කෙරෙහි කෝප නො වී මධ්‍යස්ථ විය හැකි ය. එබැවින් නෛෂ්ක්‍රම්‍ය - ක්ෂාන්ති - මෛත්‍රී පාරමිතාවන් සම්පාදනය කිරීමත් සමග උපේක්ෂාව පුරුදු කළ යුතුය.
එය පුරන බෝසත් තුමා විසින් අනුන් ගරු බුහුමන් කරන, උපකාර කරන අවස්ථාවල දී අනුන්ට ගරු බුහුමන් කිරීම උපකාර කිරීම සත්ත්වයන්ගේ එක්තරා ස්වභාවයකැ යි සිතා ඒ අය ගැන මධ්‍යස්ථ විය යුතු ය. අනුන් අවමන් කරන, කරදර කරන, දුක් දෙන අවස්ථා වලදී ද අනුන්ට කරදර කිරීමත් සත්ත්වයන්ගේ එක් ස්වභාවයකැ යි සලකා ඔවුන් ගැන මධ්‍යස්ථ විය යුතු ය.
ආහාරයෙහි රසය ගැන අපේක්ෂා නො කොට එහි ප්‍රයෝජනය පමණක් සලකා වැළඳිය යුතු ය. වස්ත්‍ර හා වාසස්ථාන පිළිබඳව ද එසේ ම පිළිපැදිය යුතු ය. වස්තූන් ලැබෙන කල්හි ද ලැබීමත් එක්තරා ලෝක ස්වභාවයකැ යි එයින් උඩඟු නො වී, ඒවාට ඇලුම් නො කර, ලාභය ගැන මධ්‍යස්ථ විය යුතු ය. තමාගේ වස්තු විනාශ වන කල්හි ද ලෝකයේ අනිත්‍යතාව සලකා අලාභය ගැන මධ්‍යස්ථ විය යුතු ය. ඥාති මිත්‍රාදීන් තමා හා එක් වන කල්හි පිරිස් ඇතිවීමත් ලෝක ස්වභාවයකැ යි සලකා ඒ ගැන අහංකාර නොවී මධ්‍යස්ථ විය යුතුය. තමාට කවුරුවත් නැති වී තනි වූ කල්හි ද සියල්ලෙන් වෙන් වීමත් ලෝක ස්වභාවයකැ යි සිතා දොම්නසට නො පැමිණ මධ්‍යස්ථ විය යුතුය.
නින්දා ලැබෙන කල්හි නින්දා ලැබීමත් එක් ලෝක ස්වභාවයකැ යි සලකා ඒ ගැන දොම්නසට නො පැමිණ මධ්‍යස්ථ විය යුතු ය. ප්‍රශංසා ලැබෙන කල්හි ද ඒ ගැන සොම්නසට නො පැමිණ එයත් එක් ලෝක ස්වභාවයකැ යි සලකා මධ්‍යස්ථ විය යුතු ය. සැප දුක් දෙක ගැන ද එසේ ම පිළි පැදිය යුතු ය. රාගයට හේතු වන ස්ත්‍රී රූපාදිය දක්නා කල්හි ඒවායේ අනිත්‍යතාව හා අශුභ භාවය මෙනෙහි කොට ඒවා ගැන මධ්‍යස්ථ විය යුතුය. ජරපත් වූ ද, භයානක රෝගයන් ගෙන් පෙළෙන්නා වූ ද, පිළිකුල් කළ යුතු පුද්ගලයන් දක්නා කල්හි ද, ලෝක ස්වභාවය මෙනෙහි කොට ඔවුන් පිලිකුල් නො කර මධ්‍යස්ථ විය යුතු ය.