උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය වැඩි දුරටත් මේ මහා බෝධිසත්ත්ව චරිතයෙන් තේරුම් ගත හැකි ය. එක් කලෙක මහ බෝසතාණන් වහන්සේ බොහෝ සම්පත් ඇති කුලයක ඉපද, වැඩිවිය පැමිණ දිසාපාමොක් ඇදුරු වරයකු යටතේ වෙසෙමින් සිප් සතර මැනවින් උගෙන, සිය නිවසට පැමිණියහ. මාපියන්ගේ ඇවෑමෙන් උන්වහන්සේට මහා ධනස්කන්ධයක් හිමි විය. ඥාති මිත්‍රයෝ භාර්‍ය්‍යාවක් සරණ කරගෙන බූදලය පාලනය කර ගෙන වෙසෙන ලෙස බෝසතාණන් වහන්සේට කීහ.
එහෙත් බෝසතාණන් වහන්සේ අනිත්‍ය දුඃඛ දර්ශනයෙන් ලෝකය කෙරෙහිත් අශුභත්ව දර්ශනයෙන් ශරීරය කෙරෙහිත් කළකිරුණ සිත් ඇත්තාහු ගිහිගෙයි විසීමෙන් ඇති වන්නා වූ කෙලෙස් ජාලාවට හසු වන්නට නො කැමැති වූවාහු, නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙරටු කොට මහා ධනස්කන්ධය හැර දමා පැවිදි වන්නට සිතා; නැවතත් සිතන සේක්; පැවිදි වුවහොත් මා හට මහජනයා ගරු බුහුමන් පූජා සත්කාර කරන්නට පටන් ගන්නාහ. ඒ ගරු බුහුමන් ලාභ සත්කාර වලින් මට කමක් නැත. මම ලාභාදියෙන් විකාරයට නො පැමිණ විසීමට සමර්ථ වෙමිය. මම පැවිදි නොවීම, අනුන් කරන නින්දා අපහාසාදිය ඉවසීමේ ප්‍රතිපදාව පුරමින් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කෙරෙමි” යි සිතා, හැඳ සිටි ඇඳුමෙන් ම ගෙයින් නික්ම බොහෝ දෙනාගෙන් නින්දා අපහාසාදි නොයෙක් කරදර ලබමින් සියල්ල ඉවසමින් එක තැනක එක් රැයක් පමණක් වෙසෙමින් ගම් නියම් ගම් රාජධානිවල හැසිරෙන්නට වූහ.
බොහෝ පරිභව ලැබෙන තැන්වල උන්වහන්සේ වඩාත් කල් විසූහ. හැඳි වත දිරා ගිය පසු උන් වහන්සේ අන්‍යයන් දුන් වස්ත්‍ර නො පිළිගත්හ. කුඩා රෙදි කඩකින් විළි වසා ගෙන වාසය කළහ. එසේ හැසිරෙන බෝසතාණන් වහන්සේ එක් නියම් ගමකට පැමිණියහ. එය මඟ යන අහිංසක දුබල අසරණයන්ට ගල් මුල් ගසා පීඩා කොට විනෝදය ලබන අශික්ෂිත නපුරු ළමයින් බොහෝ ඇති ගමෙකි. ඔවුහු ඇතැම් රාජ වල්ලභයින්ගේ දරුවෝ ය. කලින් කල ක්‍රීඩාවෙන් කල් යවන ඒ නො හික්මුණු ගම් දරුවෝ මඟ යන මහලු දුබල ස්ත්‍රී පුරුෂයන් දුටු කල පිටි පසින් ගොස් පිටට අලු විසි කරති. වැටකේ පත් කිසිල්ලට දමා අදිති. එයින් කරදරයට පත් අය ආපසු හැරී බලන කල්හි ඔවුනට නොයෙක් ලෙස කවටකම් කෙරෙති.
එහි පැමිණි බෝසතාණන් වහන්සේ ඔවුන් දැක, “උපේක්ෂා පාරමිතාව පිරීමට හොඳ තැනක් ලදිමි’යි සිතා එහි විසූහ. ඒ ගම් දරුවෝ මහබෝසතාණන් දැක විසුළු පාන්නට සැරසෙති. බෝසතාණෝ ඒවාට නො කැමැත්තෙන් හෝ ඔවුනට බියෙන් හෝ යන්නාක් මෙන් හුන් තැනින් නැඟී යෙති. ගම් දරුවෝ ද විසුළු කරමින් බෝසතු ලුහුබැඳ යෙති. බෝසතාණන් වහන්සේ එක් සොහොනකට ගොස් “මෙහි ඔවුන් නවත්වන්නට, ඔවුනට කිසිවක් කියන්නට කෙනකු නැතය’යි සිතා මිනී ඇටකටු ටිකක් එකතු කොට, කොට්ටයකට තබා ගෙන එහි සැතපෙති. උන්වහන්සේ මිනි ඇට කොට්ටයට ගන්නේ වස්තුවල ඉෂ්ටානිෂ්ට විභාගයක්, පරමෝපේක්ෂාවෙහි පිහිටි උන්වහන්සේට නැති බැවිනි. පවිත්‍ර වූ ද, අපවිත්‍ර වූ ද, සියල්ල ම උන් වහනසේ ඒකත්වයෙන් සැලකූහ.
ගම් දරුවෝ සොහොනෙහි දී බෝසතාණන්ට රිසි සේ විසුළු කෙරෙති. ඇතැමෙක් ගල් මුල් වලින් ගසති. ඇතැමෙක් ඇඟට වැලි විසි කරති. ඇතැමෙක් ඇඟට කෙළ ගසති. ඇතැමෙක් කෝටුවලින් අනිති. ඇතැමෙක් කන් නාස් සිදුරු වල ඉරටා ගසති. මෙසේ ඔවුහු දිනපතා බෝසතාණන් වහන්සේට කරදර කරති. බෝසතාණන් වහන්සේ ඔවුන් කෙරෙහි මඳකුදු කෝප නො වෙති. නුවණැති මනුෂ්‍යයෝ බෝසතාණන්ට කරදර කිරීම වළක්වා “මෙ පමණ කරදර කරද්දී නො කිපෙන කරුණා මෛත්‍රියෙන් ඉවසීමෙන් වෙසෙන මෙතුමා සාමාන්‍ය පුද්ගලයකු නොවිය හැකි ය. මෙතුමා මහානුභාව සම්පන්න තවුසෙක, මහා යෝගියෙකැ’යි බෝසතාණන් වහන්සේට බොහෝ සත්කාර සම්මාන කරති. ඇතැම්හු “මෙතුමා වරද කරන්නවුන්ට නම් නො කිපෙන්නේය. සත්කාර කරන්නවුන්ට කුමක් කෙරේ දැ’යි විමසිය යුතුය යි සිතා විමසනු පිණිස උන් වහන්සේට සත්කාර කරති. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේට කෙළ ගැසීම් ආදියෙන් අවමන් කරන්නවුන් කෙරෙහි කෝපයකුත්, සත්කාර කරන්නවුන් කෙරෙහි ඇලීමකුත් නැතිව සැම දෙනා කෙරෙහි ම සාමාන්‍ය සිතින් විසූහ. ලාභාලාභ යසායස නින්දාප්‍රශංසා සුඛදුඃඛ යන අෂ්ටලෝක ධර්මයන් නිසා සැලීමක් නැතිව සම සිතින් විසූහ. උන් වහන්සේ ලොවුතුරා බුදු බවට පැමිණි පසු ඒ බව මෙසේ වදාළ සේක.
“සුසානෙ සෙය්‍යං කප්පෙමි ඡවට්ඨිං උපධාය ’හං
ගොමණ්ඩලා උපාගන්ත්වා රූපං දස්සෙන්ති නප්පකං
-
අපරෙ ගන්ධඤ්ච භොජනං විවිධං බහුං
උපායනානි උපනෙන්ති භට්ඨා සංවිග්ගමානසා
-
යෙ මෙ දුක්ඛං උපදහන්ති යෙ ච දෙන්ති සුඛං මම
සබ්බෙසං සමකො හොමි දයා කොපො න විජ්ජති
-
සුඛ දුක්ඛෙ තුලාභූතො යසෙසු අයසෙසු ච
සබ්බත්ථ සමකො හොමි එසා මෙ උපෙක්ඛා පාරමී”
මෙහි බෝධිසත්වයන් වහන්සේ ගේ ‘කැමති කෙනෙක් ගනිත්වා යි සකල ධන සම්භාර පරිත්‍යාග කිරීම හා මේ ශරීරය ගෙන කැමති කෙනෙක් කැමති දෙයක් කර ගනිත්වා යි තමන් ගේ ආත්ම භාවය පරිත්‍යාග කිරීම දාන පාරමිතාව ය. නො කළ යුතු සියල්ලෙන් වෙන් වීම ශීල පාරමිතාව ය. වස්තු හැර ගිහි ගෙයින් බැහැර වීම හා ශරීරය කෙරෙහි අශුභ සංඥාව වැඩීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතා ය. බෝධි සම්භාරයන්ට උපකාරක ධර්ම සොයා ගැනීමෙහි හා බෝධි සම්භාරයන්ට ප්‍රතිපක්ෂ ධර්ම ප්‍රහාණය කිරීමෙහි ද දක්ෂතාව හා ධර්මයන් ගේ ස්වභාව විමසීම ද ප්‍රඥා පාරමිතාව ය. කාම විතර්කාදිය දුරු කිරීමෙහි වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාවය. සාපිපාසාදි දුක් හා පරාපරාධ ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය. සත්‍යයෙහි පිහිටීම සත්‍ය පාරමිතාව ය. විශේෂයක් නැතිව සලකා සත්ත්වයන් කෙරෙහි මෙත් සිත පැවැත්වීම මෛත්‍රී පාරමිතාව ය. මේ ජාතිය මහබෝසතාණන් වහන්සේ විශේෂයෙන් උපේක්ෂා පාරමිතාව පිරූ ජාතියකි. එය කථාවෙහි දැක්වුණු පරිදි දත යුතු ය.