තවද එක් සමයෙක්හි සකල ලෝකයාටම ආනන්දය ගෙන දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, වාසභක්ෂත්‍රියාවගේ කතාව අරමුණු කරගෙන මෙම ජාතක කතාව වදාළ සේක. මෙහි වර්තමාන කතාව දොළොස්වැනි නිපාතයෙහි වූ භද්‍ර සාල ජාතකයෙහි මතු පහළ වන්නේය. ඒ වාසභක්ෂත්‍රියාව වනාහී මහානාම නම් ශාක්‍ය රජතුමාගේ දියණියෝය; නාග මුණ්ඩා නම් දාසියගේ කුස පිළිසිඳ ගත්තාය. පසුව කොසොල් රජතුමාට අගමෙහෙසුන් වූවාය. ඈ රජතුමාට ප්‍රිය වූ පුතෙකු බිහි කළාය.
කොසොල් රජතුමා පසුව වාසභක්ෂත්‍රියාව දාසියක් බව දැනගෙන ඇයව තනතුරෙන් පහත හෙළුවේය. විඩුඩභ නම් පුත්‍රයාගේ ද තනතුර පහත හෙළුවේය. ඔහු දෙදෙනාම රජගෙය ඇතුළතම වාසය කළහ.
බුදුරජාණන් වහන්සේ ඒ කාරණය දැන වදාරා, පෙරවරු කාලයෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගෙට වැඩම කර, පනවන ලද ආසනයෙහි වැඩහිඳ, “මහරජ, වාසභක්ෂත්‍රියාව කොයිදැ?” යි වදාළ සේක. කොසොල් රජතුමා ඒ කාරණය දැන්වූයේය.
“මහරජ, වාසභක්ෂත්‍රියාව කවරෙකුගේ දියණියෝ දැ?” යි විචාළ කල්හි, “ස්වාමීන් වහන්ස, මහානාම නම් රජතුමාගේය” යි කීවේය. “කවරෙකු නිසා ආයේ දැ?” යි වදාළ කල්හි, “ස්වාමීන් වහන්ස, මා නිසා ය” යි කීවේය.
එවිට බුදුරජාණන් වහන්සේ, “මහරජ, වාසභක්ෂත්‍රියාව රජකුගේ දියණියකි. රජකු නිසාම අභිෂේක ලැබුවාය. රජකු නිසාම පුත්‍රයකු ලැබුවාය. ඒ පුත්‍ර තෙම කවර කාරණයකින් පියාණන් සතු රාජ්‍යයට හිමි නොවන්නේද? පූර්ව කාලයෙහි රජ දරුවෝ මොහොතක් කල් එක්ව වාසය කළා වූ දර කපන්නියකගේ බඩෙහි උපන්නාවූ පුත්‍රයකු ලැබ, ඒ පුත්‍රයාට රාජ්‍යය දුන්නාහුය” යි වදාළ සේක. එවිට කොසොල් රජතෙම ඒ කාරණය පැහැදිලි කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තිබූ කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර රාජ්‍යය කරන්නා වූ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් මහත් වූ පිරිවරින් උයනට ගොස්, එහි මල් සහ පලතුරු කෙරෙහි ඇති ලොබින් ඇවිදින සේක්, උයන් වන ලැහැබෙහි ගායනා කරමින් දර නෙළන්නාවූ එක් ස්ත්‍රියක් දැක, ඇය කෙරෙහි ඇලුණු සිත් ඇතිව තෘෂ්ණා සන්ථවය (කාම සේවනය) කළෝය. එකෙණෙහිම අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඒ ස්ත්‍රියගේ කුසෙහිම පිළිසිඳ ගත් සේක. එකෙණෙහිම ඇගේ බඩ වජ්‍රයක් පුරවන ලද්දක් මෙන් බර වූ කුසක් විය. ඒ ස්ත්‍රිය ගැබ පිහිටි බව දැන, “මහරජ, මාගේ ගර්භය පිහිටියේය” යි කීවාය.
එකල්හි ඒ රජතෙම අංගුෂ්ඨ මුද්‍රිකාව (ඇඟිල්ලේ පැළඳි මුදුව) දී, “ඉදින් දුවණියක වූ නම් මේ අංගුෂ්ඨ මුද්‍රිකාව විකුණා පෝෂණය කරව. ඉදින් පුත්‍රයෙක් වී නම් මුද්‍රිකාව හා සමග මාගේ සමීපයට රැගෙන එව” යි කියා රජමාලිගයට ගිය සේක. ඒ ස්ත්‍රියද ගර්භය මුහුකුරා ගිය කල්හි බෝධිසත්ත්වයන් වහන්සේ වැදුවාය. ඒ අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඔබ මොබ ඇවිදින කල්හි, කෙළි මඬුල්ලෙහි ලදරුවෝ උන් වහන්සේට මෙසේ කියන්නාහු, “පියාණන් නැත්තෙකු විසින් අපට පහර දෙන ලදී” යි කියන්නාහුය.
ඒ අසා බෝධිසත්ත්වයන් වහන්සේ මෑණියන් සමීපයට ගොස්, “මෑණියනි මාගේ පියාණෝ කවුරු දැ?” යි විචාළ සේක. “පුත්‍රය, තෙපි බරණැස් රජතුමාගේ පුත්‍රයෙකැ” යි කීවාය. “මෑණියනි, ඊට කිසි ලකුණක් ඇත්තේදැයි?” යි විචාළ සේක. “පුත්‍රය, රජ්ජුරුවෝ මේ මුද්‍රිකාව දී, ‘ඉදින් දුවණියක වී නම් මේ මුද්‍රිකාව විකුණා පෝෂණය කරව, ඉදින් පුත්‍රයෙක් වී නම් මේ මුද්‍රිකාව හා සමග ගෙන එව’ යි කියා ගිය සේකැ” යි කීවාය.
“මෑණියනි එසේ නම් කවර කාරණයකින් මා පියාණන්ගේ සමීපයට කැඳවාගෙන නොයන්නෙහිදැ?” යි කී සේක. ඒ ස්ත්‍රිය අප මහ බෝසතාණන්ගේ අදහස දැන රාජවාස භවන ද්වාරයට (මාලිගාවේ දොරටුවට) ගොස් රජතුමාට දැන්වූවාය. රජු විසින් කැඳවනු ලැබූ ඇය රජ ගෙට වැද රජතුමාට වැඳ, “මහ රජ්ජුරුවන් වහන්ස, මේ දරුවා නුඹ වහන්සේගේ පුත්‍රයෙකැ” යි කීවාය. රජ්ජුරුවෝත් කාරණය දන්නා සේක්ම පිරිස මැද ලජ්ජාවෙන්, “මාගේ පුත්‍රයෙක් නොවේ” යි කී සේක. “මහ රජ්ජුරුවන් වහන්ස, නුඹ වහන්සේගේ මේ මුද්‍රිකාවය, මේ දැනගනු මැනව” යි කීවාය. “මේද මාගේ මුද්‍රිකාවක් නොවේ” යි රජු කී සේක.
“මහරජ්ජුරුවන් වහන්ස, දැන් සත්‍ය ක්‍රියාව හැර මට අනික් සාක්ෂියක් නැත්තේය. මේ ළදරු තෙම නුඹ වහන්සේ නිසා උපන්නේ වී නම් අහසේ සිටීවා. ඉදින් එලෙස නොවූයේ වී නම් බිම වැටී මරණයට පැමිණේවා” යි කියා බෝධිසත්ත්වයන් වහන්සේගේ පාද දෙකෙන් අල්ලාගෙන අහසට දැමුවාය.
අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ අහස්හි පලක් බැඳ හුන් සේක්, මිහිරි වූ කටහඬින් පිය මහරජතුමාට කතා කොට මෙසේ වදාළ සේක. “මහරජ, මම නුඹ වහන්සේගේම ලෙයින් උපන් පුත්‍රයෙක්මි. ජන ප්‍රධාන වූ මහරජ, නුඹ වහන්සේ මා රක්ෂා කොට වදාළ මැනව. මහ රජ්ජුරුවන් වහන්ස, ඇතුන් බලාගන්නා, අශ්වයන් බලාගන්නා වූ මනුෂ්‍යයන් ද, හස්තියා, අශ්වයා ආදී වූ තිරිසන් සත්ත්වයන්ද රක්‍ෂා කරන්නා වූ ඔබ, ස්වකීය පුත්‍ර වූ මා රක්ෂා නොකරන්නේ මන්දැ?” යි නින්දා කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් මෙසේ වදාළ සේක.
බෝධිසත්වයන් වහන්සේ අහසෙහි පලක් බැඳ සිට සත්‍ය ක්‍රියා කරන අයුරු
අහස්හි හිඳ මෙසේ ධර්ම දේශනා කරන්නා වූ බෝධිසත්ත්වයන් වහන්සේගේ ධර්මය අසා, “පුත්‍රය, මෙසේ එව, මම්ම පෝෂණය කරමි, මම්ම පෝෂණය කරමි” යි කියා රජතුමා අත දිගු කළ සේක. අනිකුත් සත්ත්වයෝද දහස් ගණන් අත් දිගු කළාහුය. බෝධිසත්ත්වයන් වහන්සේ අනික් කෙනෙකුන්ගේ අතට නොබැස රජතුමාගේ අතටම බැස ඇකයෙහි හුන් සේක. රජ්ජුරුවෝ අප මහ බෝධිසත්ත්වයන් වහන්සේට යුව රාජ්‍යය දුන් සේක. මෑණියන් වහන්සේ අග මෙහෙසි කළ සේක.
බෝධිසත්ත්වයන් වහන්සේ පියරජුගේ ඇවෑමෙන් ‘කාෂ්ඨ වාහන’ නම් රජව දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක.
ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, අතීත කථාව හා වර්තමාන කථාව දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ කට්ඨහාරි ජාතකය නිමවා වදාළ සේක. “එසමයෙහි මෑණියෝ නම් දැන් මහාමායා දේවියයි, පියාණෝ නම් සුදොවුන් මහරජාණෝය, කාෂ්ඨ වාහන නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.