10. ධම්මධජ ජාතකය (220)

star_outline

“සුඛං ජීවිතරූපොසි” යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක්, තමන් වහන්සේ ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් මුල් කරගෙන දේශනා කළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, දෙව්දත් තෙරුන් මා මැරීමට උත්සාහ කළේ දැන් පමණක් නොවෙයි. පෙර ආත්මයකත් මාව මැරීමට උත්සාහ ගත්තේ වී නමුත්, මා තුළ මදකුදු තැති ගැන්මක්වත් ඇති කරවන්නට ඔහුට නොහැකි විය” යයි වදාරා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර යසපාණි නම් රජතුමා රාජ්‍යය කළේය. “කාලක” නමැත්තා ඔහුගේ සේනාපතියා විය. එකල “ධම්මධජ” නම් වූ බෝසතාණන් වහන්සේ ඔහුගේ පුරෝහිතයා වූ සේක. රජතුමාගේ හිසකෙස් සකසන කපුවා “ඡත්තපාණී” නම් විය. රජතුමා දැහැමින් රජකම් කළද, ඔහුගේ සේනාපතියා විනිශ්චය කරමින් අල්ලස් කයි. අසම්මුඛයෙහි (නැති තැන) දොස් කියන මොහු අල්ලස් ගෙන අයිතිකරුවන් අහිමියන් බවටත්, අහිමියන් හිමියන් බවටත් පත් කරයි. ඉක්බිති එක් දිනක් නඩු විනිශ්චයකින් පැරදුණු මිනිසෙක් දෑත් ඔසවා හඬමින් අධිකරණයෙන් නික්මෙන්නේ, රජුට උපස්ථාන කිරීමට යන්නා වූ බෝසතාණන් වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටුණේය. “ස්වාමීනි! නුඹවහන්සේ වැනි අය රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරද්දී ‘කාලක’ සේනාපතියා අල්ලස් ගෙන අහිමියන් හිමියන් බවට පත් කරයි” කියමින් තමාගේ පරාජය කීවේය. බෝසතාණන් වහන්සේ කරුණාව උපදවාගෙන, “පින්වත, එව! නුඹේ නඩුව මම විසඳන්නෙමි”යි ඔහු රැගෙන අධිකරණයට ගියහ. මහජනයා රැස් වූහ. බෝසතාණන් වහන්සේ ඒ නඩුව නැවත විසඳා සැබෑ අයිතිකරුටම අයිතිය ලබා දුන් සේක.

මහජනයා සාධුකාර දුන්හ. ඒ ශබ්දය විශාල විය. රජතුමා එය කිනම් ශබ්දයක්දැයි විචාළේය. “දේවයන් වහන්ස, වැරදි තීන්දුවක් දුන් නඩුවක් ධම්මධජ පඬිතුමා විසින් නැවත විනිශ්චය කරන ලදී. මේ එහි සාධුකාර ශබ්දයයි.” රජතුමා සතුටු වී බෝසතාණන් වහන්සේ කැඳවා, “ඇදුරුතුමනි, නුඹ නඩුව විසඳුවෙහිදැයි” ඇසීය. “එසේය මහරජ, කාලක විසින් වැරදි තීන්දුවක් දුන් නඩුවක් මා විසින් විසඳන ලදැයි” කී කල්හි, “මෙතැන් පටන් නුඹම නඩු විසඳන්න. එය මටද කනට සුවයක් වන්නේය. ලෝකයාටද වැඩක් සිදුවන්නේය”යි කියා, අකමැති වන්නා වූ ඔහුගෙන් “සත්ත්වයන්ට අනුකම්පාවෙන් විනිශ්චයාසනයෙහි හිඳිනු මැනවැ”යි ඉල්ලා සිට කැමති කරවා ගත්තේය. එතැන් පටන් බෝසතාණන් වහන්සේ අධිකරණයෙහි හිඳිමින් සැබෑ අයිතිකරුවන්ටම අයිතිය ලබා දෙති.

කාලක එතැන් පටන් අල්ලස් නොලබන්නේ ලාභයෙන් පිරිහී, බෝසතාණන් වහන්සේ සමඟ වෛර බැඳ ගත්තේය. හෙතෙම, “මහරජ! ධම්මධජ පඬිතුමා නුඹවහන්සේගේ රාජ්‍යය පතන්නේය”යි කියා බෝසතාණන් හා රජතුමා අතර භේද ඇති කළේය. රජතුමා එය නොඅදහා, “එසේ නොකියව”යි ප්‍රතික්‍ෂේප කළේය. නැවතත් ඔහු විසින්, “ඉදින් මගේ කීම නොපිළිගන්නේ නම්, ඔහු පැමිණෙන අවස්ථාවෙහි කවුළුවෙන් බලනු මැනවි. මොහු විසින් සියලු නගරයම තමන් අතට පත් කරගෙන ඇති සැටි එවිට පෙනෙනු ඇතැ”යි කියන ලදී. රජතුමා ඔහුගේ නඩු අසන පිරිස දැක, “මේ ඔහුගේම පිරිසය”යි සිතා භේදභින්න වී, “කුමක් කරමුද සේනාපතිය?”යි ඇසීය. “දේවයන් වහන්ස, මොහු මැරීම වටී” යයි හෙතෙම කීය. “ප්‍රසිද්ධ දෝෂයක් නොදක්නේ කෙසේ මරන්නෙමුදැයි” රජු ඇසීය. “එක් උපායක් ඇතැ”යි කීය. “කවර උපායක්දැයි” ඇසීය. “ඔහුට කළ නොහැකි වැඩක් පවරා, එය කළ නොහැකි වූ විට ඒ දෝෂයෙන් මරන්නෙමු”යි කීය. “කළ නොහැකි ක්‍රියාව කුමක්දැයි” ඇසීය. “මහරජ, සරුබිමක සිටුවන ලද ගස් ඇති උයනක් ඵල දරන්නේ වසර දෙක තුනකිනි. නුඹ වහන්සේ ඔහු කැඳවා, ‘හෙට උයන් කෙළි කෙළින්නෙමි. මට උයනක් මවා දෙන්නැ’යි කියනු මැනවි. ඔහුට උයන මවා දීමට නොහැකි වන්නේය. එවිට ඒ දෝෂය මුල්කොට ගෙන මරන්නෙමු”යි කීවේය.

රජතුමා බෝසතාණන් වහන්සේ අමතා, “පඬිතුමනි, අපි පැරණි උයනේ බොහෝ කලක් ක්‍රීඩා කළෙමු. දැන් අලුත් උයනක ක්‍රීඩා කරනු කැමැත්තෙමු. හෙට ක්‍රීඩා කරන්නෙමු. අපට උයනක් මවා දෙව. ඉදින් උයනක් මවා දෙන්නට නොහැකි වන්නෙහි නම් නුඹගේ ජීවිතය නැතැ”යි කීය. බෝසතාණන් වහන්සේ ‘අල්ලස් නොලැබෙන කාලක විසින් රජතුමා බිඳවන ලද වන්නේය’යි දැන, “පුළුවන් වී නම් කරන්නෙමු මහරජතුමනි”යි කියා ගෙට ගොස් යහපත් බොජුන් අනුභව කොට සිතමින් සයනෙහි වැතිරුණහ. ශක්‍රයාගේ වාස භවනය උණුසුම් ආකාරයක් දැක්වීය. ශක්‍රයා ඒ ගැන ආවර්ජනා කරන්නේ බෝසතාණන් වහන්සේගේ සිත දැන, වහා පැමිණ බෝසතුන්ගේ සිරියහන් ගැබට පිවිස අහසෙහි සිට, “පඬිතුමනි, කුමක් සිතන්නෙහිදැයි” විචාළේය. “නුඹ කවරෙක්දැයි” ඇසීය. “මම ශක්‍රයා වෙමි”යි කීවේය. “රජතුමා මට උයනක් සාදන්නට කීවේය. ඒ ගැන සිතන්නෙමි”යි කීය. “පඬිතුමනි, නොසිතව. මම නුඹට නන්දන වනය හා චිත්‍රලතා වනය බඳු උයනක් මවා දෙන්නෙමි. කවර ස්ථානයක මවම්දැයි” ඇසීය. “අසවල් ස්ථානයේ මවනු මැනවි”යි කීය. ශක්‍රයා උයන මවා දෙව්පුරයටම ගියේය.

පසුදින බෝසතාණන් වහන්සේ උයන ඇසින් දැක ගොස් රජතුමාට, “මහරජතුමනි, මා විසින් උයනේ වැඩ නිම කරන ලදී. එහි ක්‍රීඩා කළ මැනවැ”යි කීහ. රජතුමා ගොස් දහඅට රියන් උසැති මනෝශිලා පාටින් යුත් ප්‍රාකාරයකින් වටකරන ලද, දොරටු අට්ටාලවලින් යුතු, මල් හා ගෙඩිවල බරෙන් නැමුණු නොයෙක් ගස්වැල්වලින් අලංකාර කරන ලද උයන දැක කාලකගෙන් විචාළේය. “පඬිතුමා විසින් අපගේ වචනය ඉටු කරන ලදී. දැන් කුමක් කරමුදැයි” ඇසීය. “මහරජතුමනි, එක රැයකින් උයනක් මවන්නට හැකි අයෙකුට රජකම ගන්නට නොහැකි වෙයිද? දැන් කුමක් කරමුදැයි” ඇසීය. “කළ නොහැකි තවත් ක්‍රියාවක් ඔහු ලවා කරවමු”යි කීය. “කුමන ක්‍රියාවක්දැයි” ඇසීය. “සත්රුවන්වලින් යුත් පොකුණක් නිර්මාණය කරවමු”යි කීය. රජතුමා “යහපතැ”යි කියා බෝසතාණන් අමතා, “ඇදුරුතුමනි, ඔබ පළමුකොට උයන මවන ලදී. ඊට සුදුසු සත්රුවනින් කරන ලද පොකුණක් මවනු මැනවි. ඉදින් මවා දෙන්නට නොහැකි වන්නේ නම් ඔබගේ ජීවිතය නැතැ”යි කීය. බෝසතාණන් වහන්සේ, “යහපති මහරජතුමනි, හැකි වන්නාහු නම් ඉදිකරන්නෙමු”යි කීහ. ඉක්බිති ශක්‍රයා ඔහු වෙනුවෙන් සෝභාවෙන් අගතැන් පත්, බසින තොටවල් සියයකින් යුත්, ආරුක්කු දහසකින් යුත්, පස් පියුමෙන් ගැවසී ගත් නන්දා පොකුණ හා සමාන පොකුණක් මැවීය.

බෝසතාණන් වහන්සේ පසු දින එයද ප්‍රත්‍යක්‍ෂ කරගෙන, “දේවයන් වහන්ස, පොකුණ මවන ලදී” යයි රජුට දැන්වූහ. රජතුමා එයද දැක, “දැන් කුමක් කරමුදැයි” කාලකගෙන් විචාළේය. “උයනට යෝග්‍ය ගෙයක් මවන ලෙස අණ කරනු මැනවි දේවයන් වහන්සැ”යි හෙතෙම කීය. රජතුමා බෝධිසත්ත්වයන් අමතා, “දැන් ඇදුරුතුමනි, මේ උයනට ද පොකුණට ද යෝග්‍ය වන මුළුමනින්ම දළවලින් (ඇත් දළින්) කරන ලද ගෙයක් ඉදිකරව. ඉදින් ඉදි නොකරන්නේ නම් නුඹේ ජීවිතය නැතැ”යි කීවේය. ඉක්බිති ඔහු වෙනුවෙන් ශක්‍රයා ගෙයක්ද මැව්වේය. බෝසතාණන් වහන්සේ දෙවන දවසේ එයද ප්‍රත්‍යක්‍ෂ කොට රජුට දැනුම් දුන්හ. රජතුමා එයද දැක “කුමක් කළයුතුදැයි” කාලකගෙන් විචාළේය. “ගෙට යෝග්‍ය වූ මැණිකක් මවන ලෙස අණ කරව මහරජතුමනි”යි කීවේය. රජතුමා බෝධිසත්ත්වයන් වහන්සේ අමතා, “පඬිතුමනි, මේ දන්තයෙන් කළ ගෙට යෝග්‍ය මැණිකක් සකස් කරන්න. මැණික් එළියෙන් හැසිරෙන්නෙමු. ඉදින් සකසන්නට නොහැකි වන්නේ නම් නුඹේ දිවි නැතැ”යි කීවේය. ඉක්බිති ඔහු වෙනුවෙන් ශක්‍රයා මැණිකද මැවීය.

Story Illustration බෝධිසත්ත්වයන් වහන්සේ රජතුමාට විශ්මිත ඇත්දළ මාලිගාව පෙන්වීම

බෝසතාණන් වහන්සේ දෙවන දවසේ එයද ප්‍රත්‍යක්‍ෂ කොට රජතුමාට දැන්වූහ. රජතුමා එය දැක, “දැන් කුමක් කරන්නෙමුදැයි” විචාළේය. “මහරජතුමනි, ධම්මධජ බමුණාට කැමති කැමති දේ කරදෙන දෙවියෙකු ඇතැයි සිතමි. දැන් දෙවියෙකුටත් මවන්නට නොහැකි යමක් කරන්නට අණ කරනු මැනවි. චතුරංගයෙන් (අංග හතරකින්) යුත් මිනිසෙකු දෙවියෙකුටවත් මවන්නට නොහැකිය. ඒ නිසා අංග හතරකින් යුත් උයන් පාලකයෙක් මා වෙනුවෙන් මවන්නැයි කියනු මැනවැ”යි කීය. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා, “ඇදුරුතුමනි, නුඹ විසින් අපට උයනක්, පොකුණක්, දතින් නිමවන ලද ප්‍රාසාදයක් හා එය ආලෝක කිරීම පිණිස මැණිකක් මවන ලදී. දැන් මගේ උයන රකින අංග හතරකින් යුත් උයන්පල්ලෙකු මවනු මැනවි. ඉදින් නොමවන්නේ නම් නුඹේ ජීවිතය නැතැ”යි කීවේය. බෝසතාණන් වහන්සේ “යහපත සාමීනි, පුළුවන් වී නම් මවන්නෙමි” කියා ගෙට ගොස් යහපත් අහර වළඳා සැතපී උදෙන්ම පිබිදී, “සක්දෙව් රජ යමක් තමන්ට මවන්නට හැකි නම් ඒ දේ මැව්වේය. එහෙත් අංග හතරකින් යුත් උයන් පාලකයෙකු මැවිය නොහැකිය. මෙසේ ඇති කල්හි අනුන් අතින් මැරෙනවාට වඩා වනයෙහි අනාථව මරණයට පත්වීම උතුම්ය”යි සිතූහ. ඔහු කිසිවෙකුට නොකියා පහයෙන් බැස ප්‍රධාන දොරටුවෙන්ම නුවරින් නික්මී වනයට පිවිස එක්තරා ගසක් මුල සත්පුරුෂ ධර්මය සිහිපත් කරමින් හිඳ ගත්හ.

සක්දෙවිඳු ඒ කාරණය දැන වැද්දෙකු මෙන් වෙස් වළාගෙන බෝසතුන් වෙත එළඹ, “බමුණාණෙනි, සියුමැලි වූ, දුකක් දැක නැත්තා වූ කෙනෙකු මෙන් පෙනෙන නුඹ මේ අරණට පිවිස කුමක් කරමින් සිටින්නෙහිදැයි” කියා ඒ කරුණ විචාරමින් පළමු ගාථාව කීවේය.

“ඔබ සැපසේ දිවි ගෙවූ ස්වභාවයකින් යුක්තය. රටින් පිටව ජලය නැති වනයට පැමිණියෙහිය. ඒ නුඹ හුදකලාව කැලේ ගසක් මුල දිළින්දෙකු මෙන් ධ්‍යාන කරන්නෙහිය.”

එහි සුඛං ජීවිත රූපොසි යනු, නුඹ සැපසේ ජීවත් වූවෙකුට සමානව සැපසේ වැඩී, දැන් ඒ සැප විනාශ වූවෙකු මෙනි. රට්ඨා යනු ජනාකීර්ණ ස්ථානයෙන් හෙවත් රටින් නික්මයි. විවන මාගතො යනු ජලය නැති ස්ථානය වන වනයට පිවිසියේය. රුක්ඛ මූලෙ යනු ගස ළඟයි. කපණො විය ඣායසි යනු දිළින්දෙකු මෙන් තනිව හිඳිමින් සිතින් ගැඹුරෙන් සිතයි. “මේ කුමක් සිතහිදැ”යි විචාළේය.

ඒ අසා බෝසතාණන් වහන්සේ දෙවන ගාථාව කී සේක.

“මා සැපසේ ජීවත් වූ ස්වභාව ඇත්තෙමි. තම රටින් නික්ම ජලය නැති වනයට ආයෙමි. තනිව දිළින්දෙකු මෙන් බුද්ධාදී සත්පුරුෂයන්ගේ දහම් සිහි කරමින් ධ්‍යාන කෙරෙමි.”

එහි සතං ධම්මං අනුස්සරං යන්නෙහි අරුත මෙයයි: “යහලුව, එය සත්‍යයකි. මම සැපවත් දිවියක් ඇත්තේ සිය රටින් වනයට පැමිණියෙමි. ඒ මම තනිව මේ කැලයෙහි ගස් මුලක හිඳගෙන දිළින්දෙකු මෙන් ධ්‍යාන කරමි. ඔබ ‘මේ කුමක් සිතහිද’ යනුවෙන් මගෙන් යමක් විමසුවේද, එය ඔබට කියා දෙමි. මම වනාහි සත්පුරුෂ ධර්මය සිහි කරමින් මෙහි සිටින්නෙමි.” සතං ධම්මං යනු බුදු, පසේ බුදු, ශ්‍රාවක ආදී සත්පුරුෂයන්ගේ හා නුවණැතියන්ගේ ධර්මයයි. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යනු මේ අටවැදෑරුම් වූ ලෝක ධර්මයයි. මේ අටලෝ දහමින් මඩනා ලද සත්පුරුෂයෝ කම්පා නොවෙති; නොසැලෙති. මේ මෙහි කම්පා නොවන ස්වභාවයෙන් යුත් සත්පුරුෂයන්ගේ ධර්මයයි. “මේ සත්පුරුෂ ධර්මය සිහි කරමින් හිඳින්නෙමි”යි මෙයින් දක්වයි.

ඉක්බිති ඔහුට ශක්‍රයා, “බමුණාණෙනි! මෙසේ ඇති කල්හි මේ ස්ථානයෙහි කුමක් හෙයින් හිඳින්නෙහිදැ”යි ඇසීය. “රජතුමා අංග හතරකින් සමන්විත උයන් පාලකයෙකු ගෙන්වයි මට නියම කරයි. එවැන්නෙකු ලැබිය නොහැකිය. අනුන් අතින් සිදුවන මරණයෙන් මට පලක් නැත. කැලයට පිවිස අනාථව මැරෙන්නෙමියි සිතා මෙහි පැමිණ හුන්නෙමි”යි කීහ. “බමුණ! මම සක්දෙව් රජය. මා විසින් නුඹට උයන් ආදිය මවන ලදී. එහෙත් අංග සතරකින් යුත් උයන් පල්ලෙකු මැවීමට මට නොහැකිය. තොපගේ රජතුමාගේ හිසකෙස් සරසන කපුවා ඡත්තපාණි නම් වෙයි. ඒ කපුවා අංග සතරකින් යුක්තය. ඔහු උයන් පල්ලා කරන ලෙස කියව”යි කීය. මෙසේ ශක්‍රයා බෝසතාණන් වහන්සේට ඔවදන් දී, “බිය නොවන්නැ”යි සනසා තමන්ගේ දෙව්ලොවටම ගියේය.

බෝසතාණන් වහන්සේ ගෙට ගොස් උදේ ආහාර අනුභව කොට, රජගෙට ගොස් “ඡත්තපාණි” ද එහිදීම දැක අතින් අල්ලාගෙන, “යහලුව ඡත්තපාණි! නුඹ අංග සතරකින් සමන්විත වූවෙක්දැයි” විචාළහ. “කවරෙක් නුඹට මගේ අංග හතරකින් යුත් බව කීවහුදැයි” කී කල්හි, “සක්දෙව් රජය”යි කියා, “කුමක් සඳහා කීවාදැයි” විමසන ලද්දාහු මේ කාරණය සඳහා යැයි සියල්ල කීහ. හෙතෙම, “එසේය, මම අංග සතරකින් යුක්ත වෙමි”යි කීවේය. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඔහු අතින් අල්ලාගෙනම රජු සමීපයට ගොස්, “මහරජතුමනි! මේ ඡත්තපාණි අංග සතරකින් සමන්විතයි. උයන් පාලකයෙකුගෙන් ප්‍රයෝජනයක් ඇති නම් කැමති පරිදි මොහු උයන් පාලකයා කරනු මැනවැ”යි කීහ. ඉක්බිති රජතුමා, “නුඹ චතුරංග සමන්නාගතදැයි” ඔහුගෙන් විචාළේය. ඔහු “එසේය මහරජතුමනි”යි කීහ. “කවර අංග සතරකින් යුක්ත වූවෙහිදැයි” ඇසීය.

“දේවයන් වහන්ස! මම ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමි. මත්පැන් පානය නොකරන්නෙක් වෙමි. මම ඇලුම් නැත්තෙක් වෙමි. අක්‍රෝධයෙහි පිහිටියේ වෙමි යන කරුණු හතරින් යුක්ත වෙමි.”

“මහරජතුමනි! මා තුළ ඊර්ෂ්‍යාව නැත. මා විසින් මත්පැන් පානය කරනු නොලබයි. අනුන් කෙරෙහි මට ඇල්මක් හෝ ක්‍රෝධයක් නැත. මේ සතර අංගයන්ගෙන් මම යුක්ත වෙමි”යි කීය.

ඉක්බිති රජතුමා, “එම්බා ඡත්තපාණි, ‘ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමි’යි කියන්නෙහිදැ”යි ඔහුගෙන් ඇසීය. “එසේය දේවයන් වහන්ස! ඊර්ෂ්‍යා නොකරන්නෙක්මි.” “කිනම් අරමුණක් දැක ඊර්ෂ්‍යා නොකරන්නෙක් වූවෙහිද?” “දේවයන් වහන්ස! අසන සේක්වා”යි කියා තමා ඊර්ෂ්‍යා නොකරන කාරණය කියමින් මෙම ගාථාව කීවේය.

“රජතුමනි! ස්ත්‍රියක් නිසා පුරෝහිත බමුණා බන්ධනයට (සිර කිරීමට) පැමිණවීමි. හෙතෙම මාව යහපතෙහි පිහිටවීය. ඒ නිසා මම ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙමි.”

එහි අර්ථය මෙසේය: “දේවයන් වහන්ස! මම පෙර මෙම බරණැස් නගරයෙහිම නුඹ වැනිම රජකෙනෙක් වී බිසවගේ කීමට රැවටී පුරෝහිත බමුණා බන්ධනයට පැමිණ වූයෙමි.”

“යම් තැනක බාලයෝ (මෝඩයෝ) බැබළෙද්ද (බලවත් වෙද්ද), එහි නොබැඳුණු අය බඳිනු ලැබෙත්. යම් තැනක නුවණැත්තෝ බැබළෙද්ද, එහි බැඳුණු අයද මුදනු ලැබෙත්.”

මේ ජාතකයෙහි ආවා වූ ක්‍රමයටම, එක් කලෙක මොහු ඡත්තපාණී රජ වී සිටියදී, තමාගේ මනදොළ නොපුරන බෝසතුන් නසනු කැමති දේවිය විසින් බිඳවන ලද්දේ, සේවකයන් හැටහතර දෙනෙකු සමඟ බෝසතුන්වද බැන්දවූහ. එකල බැඳ ගෙනෙන ලද බෝසතාණන් වහන්සේ දේවියගේ දොස් සිදුවූ පරිදි කියා තමා මිදුනාහු, රජතුමා විසින් හිර කරන ලද ඒ සියලුම සේවකයන් ද නිදහස් කරවා, “ඔවුන්ගේද දේවියගේද අපරාධය ඉවසනු මැනවි මහරජතුමනි”යි අවවාද කළහ. සියල්ලම යට කියන ලද ආකාරයටම විස්තර වශයෙන් දත යුතුය.

එකල්හි ඒ මම මෙසේ සිතුවෙමි: “මම සොළොස් දහසක් ස්ත්‍රීන් හැර මේ එකම තැනැත්තියට කෙලෙස් වශයෙන් සංග්‍රහ කරන්නේ නමුදු ඇය තෘප්තියට පත් කරන්නට නොහැකි වීමි. මෙසේ ආසාව පුරවන්නට අපහසු ස්ත්‍රීන් කෙරෙහි කිපීම නම්, ඇඳි වත කිළිටි වන කල්හි ‘කුමක් නිසා වස්ත්‍රය කිලිටි වන්නෙහිදැ’යි කියා වස්ත්‍රයට කිපීමට සමානය. අනුභව කළ බත අසූචි බවට පත්වන කල්හි ‘කුමක් නිසා මේ ස්වභාවයට පත් වූයෙහිදැ’යි කියා බතට කිපීමට සමාන වෙයි. මෙතැන් පටන් යම්තාක් රහත් බවට නොපැමිණෙම්ද, ඒ තාක් කෙලෙස් නිසා මට ඊර්ෂ්‍යාව නූපදීවා”යි අධිෂ්ඨාන කළෙමි. එතැන් පටන් මම ඊර්ෂ්‍යාව නැත්තෙක් වෙමි. මේ කරුණු සඳහා තස්මාහං අනුසුය්‍යකො යි කීය.

ඉක්බිති රජතුමා, “යහලු ඡත්තපාණිය! කිනම් අරමුණක් දැක මත්පැන් නොබොන්නෙක් වූයෙහිදැ”යි විචාළේය. ඔහු ඒ කරුණ ප්‍රකාශ කරමින් මෙම ගාථාව කීවේය.

“මහරජ! සුරාවෙන් මත් වූ මම පුතුගේ මස් කෑවෙමි. ඒ ශෝකයෙන් මඩනා ලද මම, මත්පැන් බීමෙන් වැළකුණෙමි.”

මහරජතුමනි! මම පෙර නුඹ වගේම බරණැස් රජ වී මත්පැනින් තොරව පැවතීමට නොහැකි වීමි. මස් නැතිව බත් බුදින්නට නොහැකි වීමි. නගරයෙහි පොහෝ දිනයන්හි සතුන් මරන්නේ නැත. අරක්කැමියා දින පහළොවකට සෑහෙන්නට මස් ගෙනවිත් තැබුවේය. එසේ තැබූ ඒ මස් බල්ලෝ කෑවාහුය. අරක්කැමියා පොහෝ දිනයේ මස් නොලැබ, රජතුමාට නොයෙක් රසයෙන් යුත් බොජුන් පිස ප්‍රාසාදයට ගෙන ගොස් පිළිගන්වන්නට නොහැකි ව, බිසවුන් වෙත එළඹ, “දේවීන් වහන්ස! අද මා විසින් මස් නොලබන ලදී. මස් නැති ආහාර ගෙනවිත් තැබීමට නොහැක්කෙමි. කුමක් කරම්දැ”යි ඇසීය. “දරුව! මගේ පුතා රජතුමාට ප්‍රියමනාපයි. මගේ පුතා දැක රජතුමා දරුවා සිඹිමින් වැළඳ ගනිමින් තමන් අනුභව කරන බවක්වත් නොදනියි. මමම පුතා සරසා රජතුමාගේ උකුලෙහි හිඳුවන්නෙමි. ඔහු පුතා සමග සෙල්ලම් කරන අවස්ථාවෙහි නුඹ බත් ගෙනවිත් තබව”යි කීවාය. ඈ මෙසේ කියා තම සුරතල් පුතු සරසා රජතුමාගේ උකුලෙහි හිඳවූවාය. රජතුමා පුතා සමග සෙල්ලම් කරන අවස්ථාවෙහි අරක්කැමියා බත් පිළිගැන්වීය. රජතුමා සුරාමදයෙන් මත් වූයේ බඳුනෙහි මස් නොදැක, “මස් කොහිදැ”යි විචාරා, “දේවයන් වහන්ස! අද පෝය නිසා සතුන් නොමරන බැවින් මස් නොලැබුණේය”යි කී කල්හි, “මට නම් මස් හිඟ නැතැ”යි කියා උකුලෙහි හුන් ආදරණීය පුතුගේ ගෙල කරකවා මරණයට පත්කොට අරක්කැමියා ඉදිරියට දමා, “වහා සකසාගෙන එව”යි කීවේය. අරක්කැමියා එසේ කළේය. රජතුමා පුතුගේ මස් සමග බත් අනුභව කළේය. රජතුමාට ඇති බිය නිසා හැඬීමට හෝ වැළපීමට හෝ කථා කිරීමට හෝ සමත් එක් කෙනෙක්වත් නොවීය.

රජතුමා අනුභව කොට යහන් මතුයෙහි නින්දට එළඹ, අලුයම් කාලයෙහි පිබිදී පහවූ මත් ගතිය ඇත්තේ, “මගේ පුතා ගෙනව”යි කීවේය. ඒ අවස්ථාවෙහි දේවීන් වහන්සේ අඬමින් රජ පාමුල වැටුණාය. “කිම සොඳුරිය?”යි කී කල්හි, “දේවයන් වහන්ස, ඊයේ නුඹ වහන්සේ විසින් පුතා මරා පුතාගේ මස් සමග බත් අනුභව කරන ලදී”යයි කීවාය. රජතුමා පුත්‍ර ශෝකයෙන් අඬා වැළපී, “මට මේ දුක සුරාපානය නිසා උපන්නක්” යයි සිතා සුරාපානයෙහි දොස් දැක, “මෙතැන් පටන් යම්තාක් රහත් බවට නොපැමිණෙම්ද, ඒ තාක් මෙබඳු විනාශකාරී සුරාව නම් නොබොන්නෙමි”යි පස් ගෙන මුඛය පිසදමා අධිෂ්ඨාන කළේය. එතැන් පටන් මම මත්පැන් නම් නොබීවෙමි. මේ කරුණු පැහැදිලි කිරීම සඳහා මත්තො අහං මහාරාජා යන මේ ගාථාව කීවේය.

ඉක්බිති රජතුමා, “යහලුව! කිනම් අරමුණක් දැක ඇලුම් නැත්තෙක් (ස්නේහයක් නැත්තෙක්) වූයේදැ”යි ඔහුගෙන් විචාළේය. ඔහු ඒ කරුණ කියමින් මෙම ගාථාව කීවේය.

“රජතුමනි! මම කිතවාස නම් රජුගේ පුතා වූයෙමි. පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය බිඳ දමා මරණින් මතු අපාගත වූයෙමි. මා තුළ කිසිවක් කෙරෙහි ඇල්මක් නැත්තේ ඒ කාරණය නිසාය.”

මහරජතුමනි! පෙර මම බරණැස් නුවර කිතවාස නම් රජ වීමි. ඒ මට පුතෙක් උපන්නේය. දේහ ලක්‍ෂණ පාඨකයෝ කුමරු දැක, “මහරජතුමනි! මේ කුමාරයා පැන් නොලබා මැරෙන්නේය”යි කීවාහුය. එබැවින් ‘දුෂ්ට කුමාරයා’ යයි ඔහුට නම් තැබීය. ඔහු වැඩිවියට පත්වූයේ යුවරජකම කරවීය. රජතුමා දුෂ්ට කුමාරයා පසුපස හෝ ඉදිරිපස හෝ තබාගෙන හැසිරෙයි. පැන් නොලැබ මැරෙන්නේය යන බියෙන් සතර දොරටුවෙහිද නගරය ඇතුළතද ඒ ඒ තැන ඔහු වෙනුවෙන් පොකුණු කරවීය. සතර මංසන්‍ධිවල මණ්ඩප කරවා පැන් තාලි තැබ්බවීය. හෙතෙම (කුමරා) එක් දිනක් අලංකාරයෙන් සැරසී තමන්ම උයනට යන්නේ අතරමගදී පසේ බුදුවරයෙකු දුටුවේය. මහජනයා පසේ බුදුරජුන් දැක උන්වහන්සේටම වඳිති; පසසති; ඇඳිලි බඳිති.

රජකුමරා, “මා වැන්නෙකු සමග යන්නෝ මේ මුඩු මහණාට වඳිති; පසසති; ඇඳිලි බඳිති” යයි සිතුවේය. ඔහු කිපුණේ ඇතා පිටින් බැස පසේ බුදුන් වෙත එළඹ, “ශ්‍රමණය, ඔබ විසින් බත් ලබන ලදීදැ”යි අසා, “එසේය කුමාරයෙනි”යි වදාළ කල්හි, උන්වහන්සේගේ අතින් පාත්‍රය ගෙන බිම හෙළා, බත් සමග පොඩි කර, පා පහරින් සුණු විසුණු කළේය. පසේ බුදුරජාණන් වහන්සේ “ඒකාන්තයෙන් මේ සත්ත්වයා විනාශ වී”යයි සිතා ඔහුගේ මුහුණ බැලූ සේක. කුමාරයා, “ශ්‍රමණය! මම කිතවාස රජුගේ පුත්‍රයාය. නමින් දුෂ්ට කුමාරයාය. නුඹ මා කෙරෙහි කිපී ඇස් ඇර බලන්නේ කුමක් කරන්නෙහිදැ”යි ඇසීය.

පසේ බුදුරජාණන් වහන්සේ දානය අහිමිව අහසට පැන නැගී උතුරු හිමාලයෙහි පිහිටි ගන්ධමූල පර්වත පෙදෙසටම වැඩි සේක. කුමාරයාටද ඒ අවස්ථාවෙහිදීම කළා වූ පව විපාක දුන්නේය. හෙතෙම “දැවෙන්නෙමි! දැවෙන්නෙමි!” යයි හටගත් ශරීර දාහයෙන් එහි වැටුණේය. තිබූ තාක් සියලු පැන් සිඳුණේය. සැලිවල ජලයද සිඳී ගියේය. ඔහු එතනම මරණයට පත්ව අවීචි මහ නිරයෙහි උපන්නේය. රජතුමා ඒ පුවත අසා පුත්‍ර ශෝකයෙන් මඬනා ලද්දේ මෙසේ සිතුවේය: “මට මේ ශෝකය ප්‍රිය වස්තුවක් නිසා උපන්නේය. ඉදින් මට ස්නේහයක් නොතිබුණා නම් ශෝකයක්ද නොවන්නේය. මෙතැන් පටන් මට සිත් ඇති හෝ නැති කිසිම වස්තුවක් කෙරෙහි ආදරයක් (ස්නේහයක්) නම් නූපදීවා”යි අධිෂ්ඨාන කළේය. එතැන් පටන් මොහුට ස්නේහයක් නම් නැත. ඒ සඳහා “කිතවාසො නාම හං” යන ගාථාව කීවේය.

එහි පුත්තො පච්චෙකබොධි මෙ පත්තං භින්දිත්වා චවිතො යනු, මගේ පුතා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය බිඳ දමා චුත වුණේය (මළේය) යන අර්ථයි. නිස්නෙහො තස්ස කාරණා යනු, එදා උපන්නා වූ ස්නේහ වස්තුව පිළිබඳ ඛේදවාචකය හේතුවෙන් ස්නේහ නැත්තෙක් වූයේය යන අර්ථයි.

ඉක්බිති රජතුමා, “යහලුව, කුමන අරමුණක් දැක ක්‍රෝධ නැත්තෙක් වූයේදැ”යි ඔහුගෙන් විචාළේය. ඔහු ඒ කරුණ ප්‍රකාශ කරමින් මෙම ගාථාව කීවේය.

“මහරජතුමනි! මම අරක නම් තාපසව සිටියදී, සත් වසක් මෛත්‍රී සිත වඩා, කල්ප හතක් බඹලොව විසුවෙමි. ඒ නිසා මම ක්‍රෝධ නොකරන්නෙක් වෙමි.”

එහි අර්ථය මෙසේය: “මහරජතුමනි! මම අරක නම් තාපසව සත් වසක් මෛත්‍රී සිත වඩා, සංවට්ට-විවට්ට (ලොව වැනසෙන හා යලි වැඩෙන) කල්ප හතක් බඹලොව විසුවෙමි. ඒ නිසා මම දිගු කලක් මෛත්‍රී භාවනාව පුරුදු කළ බැවින් ක්‍රෝධ නොකරන්නෙක් වුණෙමි.”

මෙසේ “ඡත්තපාණි” විසින් තමන්ගේ සිව් අංගය කී කල්හි රජතුමා පිරිසට ඉඟියක් දුන්නේය. ඒ අවස්ථාවේදීම අමාත්‍යවරුද බමුණු ගහපතිවරුද නැගිට, “එම්බා අල්ලස් කන දුෂ්ට සොර, නුඹ අල්ලස් නොලැබ පඬිතුමාට දොස් කියා මරවනු කැමැත්තේ වීයැ”යි කියමින්, කාලක සේනාපතිගේ අත් පාවලින් ගෙන රජ මාලිගයෙන් බිමට ඇද දැමූහ. ගත් ගල් මුගුරුවලින් ගසා හිස පලා මරණයට පත් කොට, පාවලින් ගෙන අදින්නේ කසල ගොඩට දැමූහ. එතැන් පටන් රජතුමා දැහැමින් රජකම් කොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල්හි ‘කාලක’ සේනාපති වූයේ දැන් මේ දෙව්දත්ය. ‘ඡත්තපාණි’ නම් කපුවා සැරියුත්ය. සක්දෙවිඳු අනුරුද්ධය. ‘ධම්මධජ’ පඬිතුමා වනාහි මම ම වූවෙමි”යි වදාළ සේක.

ධම්මධජ ජාතක වර්ණනාව දසවැනියි.

සත්වන බීරණත්ථම්භක වර්ගය නිමියේය.

එහි උද්දානය (සාරාංශ ගාථාව):

  1. සෝමදත්ත
  2. උච්ඡිට්ඨ
  3. කුරු ධම්ම
  4. පුණ්ණනදී
  5. කච්ඡප
  6. මච්ඡ
  7. සෙග්ගු
  8. කූටවාණිජ
  9. ගරහිත
  10. ධම්මධජ

යන මේ ජාතක දසයයි.