තවද එක් කලෙක ශාක්‍ය වංශයට චින්තා මාණික්‍යක් බඳු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක්, එක්තරා බොහෝ බඩුබාහිරාදිය රැස් කළ (බහු භාණ්ඩික) භික්ෂූන් වහන්සේ නමක් අරබයා මෙම ජාතකය වදාළ සේක.
සැවැත් නුවර විසූ එක් සිටු පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය ගිය කල්හි ශාසනයෙහි පැවිදි වූයේය. එතුමා මහණ වීමට පෙරම තමාට විසීම පිණිස පන්සලකුත්, ගිනිහල් ගෙයකුත් (මුළුතැන්ගෙයක්), බඩු ගබඩාවකුත් කරවා, එම බඩු ගබඩාව ගිතෙල්, තල තෙල් ආදියෙන් පුරවා ගෙන මහණ වූයේය.
පැවිදි වූ පසු තමාට අයත් වැඩකරන කොල්ලන් සහ කෙල්ලන් කැඳවා ගෙන්වාගෙන, තමාට රුචි වූ පරිද්දෙන් බත් සහ මාළු පිසවාගෙන අනුභව කරන්නේය. උන්වහන්සේ සතුව සිවුරු ආදී වූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් (සිවුරක්) පොරවන්නේය. දවල් කාලයෙහි වෙනත් අඳනයක් හා වෙනත් පොරවනයක් පරිහරණය කරන්නේය. ඔහු විහාරයේ එක් කෙළවරක වාසය කරන්නේය.
ඉක්බිති එක් දවසක් භික්ෂූන් වහන්සේලා සිවුරු හා ඇතිරිලි ආදිය ගබඩාවලින් පිටතට ගෙන මළුවේ වනා අව්වෙහි වේලන කල්හි, බොහෝ දනව්වාසී භික්ෂූන් වහන්සේලා සේනාසන චාරිකාවෙහි (විහාර නරඹමින්) ඇවිදිනා සේක්, ඒ බහු භාණ්ඩික භික්ෂුවගේ මළුවට ගොස් එතැන තිබූ සිවුරු ආදිය දැක, “මේවා කාගේ දැයි?” යි විචාළ සේක. ඒ බහු භාණ්ඩික භික්ෂුව, “ඇවැත්නි, මේවා මාගේය” යි කී සේක.
“ඇවැත්නි, මේ සිවුරත්, මේ අඳනයත්, මේ අඳනයත්, මේ ඇතිරියත්, මේ ඇතිරියත් යන සියල්ලම ඔබගේ දැ?” යි උන්වහන්සේලා නැවත විචාළ සේක.
“එසේය. ඇවැත්නි” යි කී කල්හි භික්ෂූන් වහන්සේලා කියන සේක්, “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේ තුන් සිවුරු පමණි. මෙසේ අල්පේච්ඡ වූ (ආශාවන් අඩු) සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි ඔබ මහණ වී, මෙසේ බොහෝ පිරිකර ඇති කර ගත්තේ ඇයි? අපි යමු, ඔබව සර්වඥයන් වහන්සේ වෙත ගෙන යන්නෙමු” යි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක.
බුදුහු ඔවුන් දැක, “කිමෙක්ද මහණෙනි; මේ භික්ෂුව අකමැති වුවත් බලෙන්ම කැඳවාගෙන ආවේදැ?” යි වදාළ සේක.
එකල්හි භික්ෂූන් වහන්සේලා කියන සේක්, “ස්වාමීනි, මේ මහණ බහු භාණ්ඩිකය (බොහෝ බඩු ඇත්තේය), බොහෝ පිරිකර ඇත්තේය” යි දැන්වූ සේක.
ඒ බස් අසා බුදුහු, “මහණ, තොප බහුභාණ්ඩික වූයේ සැබෑදැ?” යි විචාරා වදාළ සේක.
“ස්වාමීනි, සැබෑව” යි ඒ මහණ දැන්වීය.
ඒ බස් ඇසූ බුදුහු, “මහණ, තොප කවර කාරණයකින් බහු භාණ්ඩික වූවෙහිද? මම නොයෙක් කාරණයෙන් අල්පේච්ඡ බව හා සන්තුෂ්ට භාවයෙහිද, කාය විවේක චිත්ත විවේක හා විදර්ශනා භාවනා කිරීමෙහි වීර්යය වැඩීමෙහි ගුණ කීවා නොවේදැ?” යි වදාළ සේක.
ඒ බහු භාණ්ඩික භික්ෂූන් වහන්සේ බුදුන් වදාළ බස් අසා කෝප වී, “එසේ නම් මේ ආකාරයෙන් ඇවිදින්නෙම්දැ?” යි අසා පොරෝණය (සිවුර) ගලවා දමා, භය ලජ්ජා නැතිව පිරිස මැද තනි අඳනයෙන්ම සිටි සේක.
එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුවට පිහිට වන සේක්, “මහණ, තොප පෙර බලවත් වූ භය ලජ්ජා ඇත්තේ නොවේද? දියරකුස්ව උපන්නා වූ කාලයෙහිත් ‘භය ලජ්ජා’ (හිරි ඔතප්) දෙක සොයමින් දොළොස් අවුරුද්දක් විසූයේ නොවේදෝ? එසේ වූ තොප දැන් කවර කාරණයකින් මෙබඳු ගරු වූ සර්වඥ ශාසනයෙහි මහණව සිව්වණක් පිරිස මැද පොරෝණය දමා භය ලජ්ජා හැර සිටියෙහිදැ?” යි වදාළ සේක.
ඒ බස් ඇසූ මහණ භය හා ලජ්ජා දෙක නැවත උපදවාගෙන, දමා පූ සිවුර නැවත පොරවාගෙන බුදුන් වැඳ පසෙක වාඩි උන්නේය. සෙසු භික්ෂූන් වහන්සේලා ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. බුදුරජාණන් වහන්සේ පෙර භවයෙහි සිදුවූ කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.
යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ජනතාව සතුටු කරමින් රාජ්‍යය කරන්නාහුය. එකල මහා බෝසතාණෝ ඒ රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසවගේ කුස පිළිසිඳ ගත්තාහුය. උපන්නා වූ කුමාරයාට නම් තබන දවස් ‘මහිංසාස කුමාරයෝ’ යයි නම් තැබූහ.
ඒ කුමාරයා ඇවිදින දුවන වයසට පැමිණි විට රජ්ජුරුවන්ට තවත් පුතෙකු උපන්නේය. ඒ උපන් කුමාරයාට නම් තබන්නාහු ‘චන්ද්‍ර කුමාරයෝ’ යයි නම් තැබූහ. ඒ දෙවැනි කුමාරයා ඇවිදින දුවන වයසට පැමිණි අවස්ථාවෙහි බෝධිසත්ත්වයන්ගේ මෑණියෝ කළුරිය කළෝය.
රජ්ජුරුවෝ අන් බිසෝ කෙනෙකුන් අගමෙහෙසුන් තනතුරෙහි තැබූහ. ඒ බිසව රජ්ජුරුවන්ට ඉතා ප්‍රිය වූවාය; මන වඩන්නීය; සිත් සතුටු කරමින් වාසය කරන්නීය. එකල ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් ඒ බිසව එක් පුතෙකු වැදූය. ඒ උපන් කුමාරයාට ‘සූර්ය කුමාරයෝ’ යයි නම් තැබූහ.
රජ්ජුරුවෝ පුතණුවන් දැක සතුටු වූ සිත් ඇතිව, “සොඳුර, තොපගේ පුතණුවන්ට කැමති වරයක් ඉල්ලා ගන්න” යි කිවූය. බිසව, “ඒ වරය මා කැමති විටෙක ලබාගනිමි” යි පසුව ගතයුතු කොට තබා ගත්තාය.
ඒ බිසවගේ පුතණුවන් වැඩිවිය පැමිණි කල්හි ඇය රජ්ජුරුවන්ට කියන්නී, “ස්වාමීනි, නුඹ වහන්සේ විසින් මාගේ පුතණුවන් උපන් දවස් වරයක් දෙන ලදී. එසේ හෙයින් මාගේ පුතණුවන්ට රාජ්‍යය ලබා දුන මැනවැ” යි කිවූය.
රජ්ජුරුවෝ ඒ අසා කියන්නෝ, “මාගේ දරුවෝ දෙදෙන මහත් වූ ගිනිකඳන් මෙන් බබළමින් සිටිති. තොපගේ පුතණුවන්ට රාජ්‍යය දෙන්නට නොහැකිය” යි ප්‍රතික්ෂේප කළහ. එහෙත් නැවත නැවතත් ඒ බිසව තමාගේ පුතණුවන්ට රාජ්‍යය ඉල්ලා සිටින්නා දැක, “මෝ තොමෝ මාගේ දරුවන්ට අනර්ථයක්, අවැඩක් හෝ උපායක් කොට විනාශ කර දමාවි දෝ” යි සිතා පුතුන් දෙදෙනා සමීපයට කැඳවා මෙසේ කිවූය.
“එම්බා දරුවෙනි, මම සූර්ය කුමාරයන් උපන් අවස්ථාවේ ඔහුට වරයක් දුනිමි. දැන් උන්ගේ මෑණියෝ රාජ්‍යය ඉල්ලති. මම උන්ට රාජ්‍යය නොදෙනු කැමැත්තෙමි. ස්ත්‍රීහු නම් පාපී සිත් ඇත්තෝය. එසේ හෙයින් තොපට නපුරක් සිතුවහොත් එය නපුරක්ම වන්නේය. තොපි දැන් වනයට වැදී මා මියගිය පසුව අවුත් තොප සන්තක මේ නුවර රාජ්‍යය කරව” යි කියා අඬා වැළපී හිස සිඹ සනසා යැවූය.
ඔවුන් දෙදෙන පිය රජ්ජුරුවන් වැඳ මාලිගාවෙන් බසින විට, රාජාංගනයේ සෙල්ලම් කරමින් සිටි සූර්ය කුමාරයෝ ඔවුන් දැක, ඒ කාරණය දැන, “මමත් දෙබෑයන් වහන්සේ හා සමග යෙමි” යි කියා ඔවුන් සමඟම පිටත් වූහ.
මෙසේ නික්ම ගොස් කුමාරවරු තිදෙනම හිමාලය වනයට ගියෝය. බෝධිසත්ත්වයෝ මාර්ගයෙන් යන අතරතුර පාරෙන් ඉවත්ව රුකක් මුල ඉඳ සූර්ය කුමාරයන්ට මෙසේ කීහ. “මලණුවනි සූර්ය කුමාරයෙනි, අර පෙනෙන විලට ගොස් නා පිරිසිදු වී පැන් බී, නෙළුම් කොළයකින් අපටත් පැන් ගෙනෙව” යි කිවූය.
ඒ විල වනාහි වෙසමුණි රජ්ජුරුවන්ගෙන් එක් දිය රකුසෙකු විසින් ලබන ලද්දේය. වෙසමුණි රජ්ජුරුවෝ ඔහුට කියන්නෝ, “දේව ධර්මය දන්නා කෙනෙකුන් හැර යම් අන් කෙනෙක් මේ විලට බැස්සේ නම් ඔවුන් කන්නට තා ලබන්නෙහිය. විලට නොබැස සිටින කෙනෙකු කන්නට නොලබන්නෙහිය” යි කිවූය. එතැන් පටන් දිය රකුසා යම් කෙනෙක් ඒ විලට බැස්සේ නම් ඔවුන්ගෙන් ‘දේව ධර්මය’ කුමක්දැයි විචාරා, යම් කෙනෙක් එය නොදනිත් නම් ඔවුන්ව කන්නේය.
ඉක්බිත්තෙන් සූර්ය කුමාරයෝ ඒ විලට ගොස් පරීක්ෂා නොකොටම දියට බැස්සාහුය. එකල්හි උදක රාක්ෂසයා ඒ කුමාරයන් අල්වා, “දේව ධර්මය දන්නෙහිද?” යි විචාළේය.
එකල්හි සූර්ය කුමාරයෝ කියන්නෝ, “දේව ධර්මය නම් චන්ද්‍ර සූර්ය දෙදෙනා වේදැ” යි කිවූය. ඉක්බිත්තෙන් දිය රකුසා ඔහුට, “තොපි දේව ධර්මය නොදන්නෙහිය” යි කියා දිය යට ගිල්වා තමා වසන්නා වූ ස්ථානයෙහි සිරකර තැබුවේය.
බෝධිසත්ත්වයෝ සූර්ය කුමාරයන් ප්‍රමාද වන බව දැක චන්ද්‍ර කුමාරයන් යැවූය. දිය රකුසා චන්ද්‍ර කුමාරයන් ද අල්වාගෙන, “දේව ධර්මය දන්නෙහිද?” යි විචාළේය.
“දනිමි, දේව ධර්මය නම් සතර දිග වේදැ” යි චන්ද්‍ර කුමාරයෝ කිවූය.
දිය රකුසා, “තොපිත් දේව ධර්මය නොදන්නෙහිය” යි කියා ඔහුත් අල්වාගෙන එසේම දිය යට සඟවා තැබුවේය.
බෝධිසත්ත්වයෝ ඒ චන්ද්‍ර කුමාරයාත් ප්‍රමාද වී නොඑන හෙයින්, “එක්තරා අන්තරායක් විය යුතුය” යි සිතා ස්වයංවම එතැනට ගොස්, දෙදෙනාම විලට බැස ඇති නමුත් ගොඩට ආ පියවර සටහන් නොදැක, “මේ විල රාක්ෂසයකු විසින් අරක් ගත් විලක් විය යුතුය” යි සිතා, කඩුව උරයේ එල්ලාගෙන, දුන්න අතට ගෙන ඊතල සූදානම් කරගෙන සිටියාහුය.
දිය රකුසා බෝධිසත්ත්වයන් දියට නොබසිනා බව දැක, දර කපමින් ඇවිදින පුරුෂයෙකු මෙන් තමාගේ ස්වරූපය වෙනස් කර පෙන්වා බෝධිසත්ත්වයන්ට මෙසේ කීවේය. “පින්වත් වූ පුරුෂය, තොපි මග ගමන් යාමෙන් වෙහෙසට පත්ව ඇත. කුමක් හෙයින් මේ විලට බැස නා පිරිසිදු වී පැන් බී, නෙළුම් අල හා නෙළුම් දඬු කා, මල් පැළඳ සැපසේ නොයන්නෙහිද?” යි කිවූය.
බෝධිසත්ත්වයෝ ඔහු දැක සිතන්නාහු, “මොහු යක්ෂයා විය යුතුය, මොහු විසින් මාගේ මලණුවන් දෙදෙනා අල්ලා ගන්නා ලද්දෝ ය” යි සිතා, “තෝ මාගේ මලණුවන් අල්වා ගත්තෙහිද?” යි ඇසූය.
“එසේය, මම ඇල්ලුවෙමි” යි කී කල්හි, “කවර කාරණයකින්ද?” යි විචාරා, “මම මේ විලට බැසගත් කෙනෙකුන් කන්නට අවසර ලද්දෙමි” යි කී කල්හි, “කිමෙක්ද? තෝ සියල්ලවුන්ම කන්නට ලබන්නෙහිද?” යි විචාළෝය.
“යමෙක් දේව ධර්මය දනී නම් ඔහු හැර සෙස්සවුන් කන්නට ලබමි” යි කී කල්හි, “තට දේව ධර්මයෙන් ප්‍රයෝජන ඇද්ද?” යි විචාළෝය.
“එසේය, දේව ධර්මයෙන් ප්‍රයෝජන ඇත” යි දිය රකුසා කීය.
“එසේ වී නම් මම තට දේව ධර්මය කියමි” යි කිවූය.
එබස් අසා දිය රකුසා, “එසේ වී නම් කිව මැනව, මම දේව ධර්මය අසමි” යි කීය.
බෝධිසත්ත්වයෝ, “මම තට දේව ධර්මය කියමි. නමුත් මම කිලිටුව සිටි හෙයින් මඳක් මැළියෙමි” යි කිවූය. උදක රාක්ෂසයා බෝධිසත්ත්වයන් නහවා, පැන් පොවා, මල් පලඳවා, සුවඳ විලවුන් ගල්වා, සරසන ලද මණ්ඩපයෙහි උතුම් වූ පර්යංකයක් (ආසනයක්) අතුරා දුන්නේය.
මහ බෝසතාණෝ ඒ පණවන ලද ආසන මස්තකයෙහි හිඳ, යක්ෂයා පාමුල වාඩි කරවාගෙන, “එසේ වී නම් තෝ කන් යොමා සකස් කොට අසව” යි කියා දේව ධර්මය දේශනා කරමින් මෙසේ කීවුය.
[බෝධිසත්ත්වයන් වහන්සේ අලංකාර ආසනයක හිඳ යක්ෂයාට දේව ධර්මය දේශනා කරන අයුරු]
“හිරිඔත්තප්ප සම්පන්නා - සුක්කධම්ම සමාහිතා
සන්තෝ සප්පුරිසා ලෝකේ - දේවධම්මාති වුච්චරේ”
“මේ ලෝකයෙහි යම් කෙනෙක් පව් කිරීමට ඇති භයින් (හිරි) හා ලජ්ජාවෙන් (ඔතප්) යුක්තව වාසය කෙරෙද්ද, අකුසල ධර්මයන් නොකරමින් අවශේෂ ලෝක චාරිත්‍රයන් දැන හික්මෙද්ද, කුසල ධර්මයෙහි සැම කල්හිම බලවත් වූ ඇලුම් ඇත්තෝද, උතුම් වූ සත්පුරුෂ ගුණ ඇත්තෝද; එසේ වූ සත්ත්වයන්ගේ පැවැත්ම මේ ලෝකයෙහි ‘දේව ධර්ම’ නම් වෙයි” කියා ධර්ම දේශනා කළෝය.
යක්ෂයා මේ ධර්ම දේශනාව අසා ප්‍රසන්න වූ සිත් ඇතිව බෝධිසත්ත්වයන්ට කියන්නේ, “මම තොප කෙරෙහි ප්‍රසන්නයෙමි. ප්‍රසන්න වූ මම එක් මලණු කෙනෙකු තොපට දෙමි. කවුරුන් ගෙනෙම්ද?” යි කීය.
ඒ අසා බෝධිසත්ත්වයෝ, “බාල මලණුවන් ගෙනෙව” යි කිවූහ.
දිය රකුසා කියන්නේ, “පණ්ඩිතයෙනි, තොපි දේව ධර්මය දන්නා පමණක්මය. එපමණක් විනා ඒ ධර්මයෙහි තොපගේ පැවැත්මක් නැත” යි කීය.
“කවර කාරණයකින්ද?” යි කී කල්හි, “වැඩිමහළු තැනැත්තන් තබා බාල තැනැත්තන් ගෙන්වන හෙයින් තොප ‘ජෙට්ඨාපචායන කර්මය’ (වැඩිහිටියන්ට ගරු කිරීමේ පිළිවෙත) නොකරන හෙයිනැ” යි කීය.
එබස් අසා මහ බෝසතාණෝ කියන්නෝ, “එම්බල යක්ෂය, මම දේව ධර්මයත් දනිමි, දේව ධර්මයෙහිත් පවතිමි. අපි මේ වනයට පැමිණියේ මේ බාල මලණුවන් නිසා වන්නෙමු. මොහු පිණිස අපගේ පියාණන් වහන්සේගේ අතින් මොහුගේ මෑණියෝ රාජ්‍යය ඉල්ලූහ. අපගේ පියාණන් වහන්සේ ඒ වරය නොදී අප රැකගනු පිණිස වනයෙහි වසන්නට කී සේක. ඒ බස් ඇසූ බාල මලණුවෝ එහි නොරඳා අප හා සමග මේ වනයට ආවේය.
ඉදින් අපි ‘ඒ කුමාරයන් වනයෙහි එක් යක්ෂයෙක් අනුභව කොට පී ය’ යි කීමෝ නම් අප කී බස් අදහා ගන්නා කෙනෙකු නැත. එසේ හෙයින් මම නින්දාවට භයින් බාල මලණුවන් ගෙන්වමි” යි කිවූය.
එබස් අසා දිය රකුසා සතුටු වී, “සාධු! සාධු!! පණ්ඩිතයෙනි, තොපි දේව ධර්මයත් දන්නෙහිය, දේව ධර්මයෙහිත් පවතින්නෙහිය” යි ප්‍රසන්න වූ සිත් ඇතිව බෝධිසත්ත්වයන්ට සාධුකාර දී දෙබෑයන්වම ගෙනැවිත් භාර දුන්නේය.
එකල්හි බෝධිසත්ත්වයෝ ඔහුට අවවාද කරන්නෝ, “යක්ෂය, තෝ පෙර කළ අකුසල කර්මයෙන් අනුන්ගේ මස් ලේ කන්නා වූ යක්ෂව උපන්නෙහිය; දැන් නැවතත් අකුසල්ම කෙරෙහි නම් තා විසින් කරන ලද අකුසල කර්මය නරකාදී සතර අපායෙන් තා මුදාලිය නොහැක්කේය. එසේ හෙයින් මෙතැන් පටන් අකුසල් හැර කුසල් කරව” යි අවවාද කොට යක්ෂයා දමනය කිරීමට (හික්මවීමට) සමත් වූහ.
මහ බෝසතාණෝ යක්ෂයා දමනය කොට ඔහු විසින් කරන ලද ආරක්ෂා ඇතිව එතැනම වාසය කරන්නාහු, එක් දවසක් නැකැත් තරු බලා පිය රජ්ජුරුවන් කාලක්‍රියා කළ බව දැන, යක්ෂයා ද කැඳවාගෙන බරණැස් නුවරට ගොස් රාජ්‍යය ගෙන, චන්ද්‍ර කුමාරයන්ට යුව රජ තනතුර හා සූර්ය කුමාරයන්ට සෙනවිරත් තනතුර දී, යක්ෂයාට සිත්කළු තැනක දේවාලයක් කරවා එතැන්හි ඔහු වස්වා, නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන් ඔහුට පළමු කොට පුදන පරිද්දෙන් සැලැස්වූහ. ඒ මහ බෝසතාණෝ දැහැමෙන් රාජ්‍යය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.
ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක. මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර ඒ බහු භාණ්ඩික භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටි සේක.
බුදුරජාණන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක්කොට සන්ධි ගළපා මේ ‘දේව ධර්ම ජාතකය’ වදාළ සේක. “එසමයෙහි උදක රාක්ෂසයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය, සූර්ය කුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය, චන්ද්‍ර කුමාරයෝ නම් ශාරීපුත්‍ර ස්ථවිරයෝය, මහිංසාස කුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජ වූ මම්ම වේදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.