‘සොභති මච්ඡො ගඞ්ගෙය්යො’ (ගංගෙය්‍ය මත්ස්‍යයා බබළයි) යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි තරුණ භික්ෂූන් දෙනමක් අරභයා දේශනා කළ සේක. සැවැත් නුවරවාසී ඒ කුලපුත්‍රයෝ දෙදෙනෙක් සසුනෙහි පැවිදිව, අසුභ භාවනාවෙහි නොයෙදී, රූපයට ප්‍රශංසා කරන්නන් වී ශරීර රූපය අගයමින් හැසිරුණාහ. ඔවුහු එක් දිනක් “නුඹ ලස්සන නැත, මම ය ලස්සන” කියා රූපය මුල් කරගෙන විවාද වී, නුදුරෙහි වැඩ සිටි එක් මහලු තෙරනමක් දැක “මේ භික්ෂුව අපගේ ලස්සන බව හෝ අවලස්සන බව දන්නේ ය” යි සිතා උන්වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, අප දෙදෙනාගෙන් වඩා ලස්සන කවරෙක් දැ?” යි ඇසූහ. ඒ මහලු භික්ෂුව “ඇවැත්නි, තොපට වඩා මම ම වඩාත් ලස්සන වෙමි” යි කීවේ ය. ඒ තරුණ භික්ෂූහු “මේ මහල්ලා අප ඇසූ දේ නොකියා නොඇසූ දෙයක් කියයි” යි උන්වහන්සේට පරිභව කොට නික්ම ගියහ. ඔවුන්ගේ මේ ක්‍රියාව භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉන්පසු එක් දිනක් දම්සභාවේදී “ඇවැත්නි, අසවල් මහලු තෙරනමක් රූපය ගැන උනන්දු වන අර තරුණ භික්ෂූන් ලජ්ජාවට පත් කළේ ලු” යි කථාවක් මතු කළහ. ශාස්තෘන් වහන්සේ එහි වැඩම කර “මහණෙනි, කවර කථාවකින් යුතුව මේ දැන් සිටියහු ද?” යි විමසා, “මේ නම් කථාවෙනි” යි පැවසූ කල්හි, “මහණෙනි, මේ තරුණ භික්ෂූන් දෙනම රූපයට ප්‍රශංසා කරන්නෝ වූයේ දැන් පමණක් නොවේ, පෙර ද මොවුහු රූපය ම අගයමින් හැසිරුණාහ” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්ත්වයෝ ගංගා නම් නදී තීරයේ රුක් දෙවියෙක් වී උපන්හ. එකල ගංගා හා යමුනා නදී දෙක එක්වන ස්ථානයෙහි ‘ගංගෙය්‍ය’ ද ‘යාමුනේය්‍ය’ ද යන මසුන් දෙදෙනා “මම ලස්සන වෙමි, නුඹ ලස්සන නැත” යි රූපය නිසා විවාද කරමින්, නුදුරෙහි ගං ඉවුරේ වැතිර සිටි කැස්බෑවෙකු දැක “මොහු අපගේ ලස්සන බව හෝ අවලස්සන බව දන්නේ ය” යි සිතා ඔහු වෙත ගොස් “යහළු කැස්බෑව, කිම, ගංගෙය්‍ය ලස්සන ද? නැතහොත් යාමුනේය්‍ය ලස්සන ද?” යි ඇසූහ. කැස්බෑවා “ගංගෙය්‍ය ද ලස්සන ය, යාමුනේය්‍ය ද ලස්සන ය, නමුත් නුඹලා දෙදෙනාට ම වඩා මම ම ඉතාම ලස්සන වෙමි” යි මේ අර්ථය ප්‍රකාශ කරමින් පළමු ගාථාව පැවසීය.
ගංගා සහ යමුනා මත්ස්‍යයන් ඉබ්බාගෙන් ප්‍රශ්න විචාරන අයුරු
“ගංගාවෙහි උපන් මත්ස්‍යයා ද බබළයි. යමුනාවෙහි උපන් මත්ස්‍යයා ද බබළයි. එහෙත් නුග රුකක් මෙන් වට වූ කයක් ඇති, රථයක ඒරියා කඳක් වැනි දිගු බෙල්ලක් ඇති, පා සතරක් ඇති මේ සතා (මම) හැමදෙනාට ම වඩා බබළයි.”
එහි චතුප්පදොයං යනු පා සතරක් ඇති මොහු ය. පුරිසො යනු තමා ගැන කියයි. නිග්‍රෝධපරිමණ්ඩලො යනු මනාව වැඩුණු නුග ගසක් මෙන් වටකුරු වූ ශරීර ඇත්තා ය. ඊසකායතගීවො යනු රථයක ඒරියා කඳ (ධූරය) මෙන් දිග බෙල්ලක් ඇත්තා ය. සබ්බෙව අතිරොචති යනු මෙසේ සටහන්වලින් යුත් කැස්බෑවා වන මම ම තොප සියල්ලන් ඉක්මවා බබළන්නෙමි යි කියයි.
මත්ස්‍යයෝ ඔහුගේ කථාව අසා, “එම්බා පව්කාර කැස්බෑව, අප ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නොදී වෙනත් දෙයක් ම කීවෙහි ය” යි පවසා දෙවන ගාථාව ද කීහ.
“අප යමක් ඇසුවේ ද නුඹ එය නොකීවෙහිය. ඇසූ විට වෙනත් දෙයක් කීවෙහිය. තමා ම වර්ණනා කරගන්නා මේ පුද්ගලයා අපට රුචි නොවේ.”
එහි අත්තප්පසංසකො යනු තමා ම ප්‍රශංසා කරගන්නා සුළු වූ, තමා උසස් කොට කථා කරන පුද්ගලයා ය. නායං අස්මාක රුච්චතී යනු මේ පව්කාර කැස්බෑවා අපට රුචි නො වෙයි, ප්‍රිය නො වෙයි යන අර්ථයි. ඔවුහු කැස්බෑවාගේ පිට මතට ජලය විසි කොට තම තමන්ගේ ස්ථානවලට ම ගියහ.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි මත්ස්‍යයෝ දෙදෙනා වනාහි දැන් මේ තරුණ භික්ෂූන් දෙදෙනා ය. කැස්බෑවා නම් මහලු භික්ෂුව ය. මෙම කරුණ ඇසින් දුටු ගං තෙර උපන් රුක් දෙවියා නම් මම ම වෙමි.
ගංගෙය්‍ය ජාතක වර්ණනාව පස්වැනියි.